Thursday 30 December 2010

මා සමඟින් නුඹත් වරේ..............

වසරක ගෙවුම වසරක ඇරඹුමට හැරේ
වැසි දිය සමඟ නව සිතුවිලි බිමට පෙරේ
අවසන වසරෙ හැම උවදුරු පලව හැරේ
පියවර නගමු මා සමඟින් නුඹත් වරේ

Tuesday 28 December 2010

මා අසලින් ඇදෙනව.............

පොද වැස්සට මල් පිපුනට
සැර වැස්සට මල් හැලෙනව
හිරු කිරණත් උදේ දවල්
එක එක විදිහට දැනෙනව
සුසුම සුසුම එකතුවෙලා
කඳුළු ගඟක් නෙත ගලනව
බැල්ම බැල්ම පිටට දිදී
නුඹ මා අසලින් ඇදෙනව

Wednesday 22 December 2010

බිල්පත් ගොඩ වෙලා

දෙනෙත පියන් ඇඳට උනේ
එළිවෙනකං නිදාගන්න
මුදලාලිල වටේ යනව
බැහැ නොවැ මට නිදාගන්න
චෙක් ලියලා නැහැ නොවැ තව
ඒ අය හට බිල් ගෙවන්න
සංවර්ධනෙ රට නැංවෙයි
බිල්පත් ගොඩ වෙලා මෙන්න

Thursday 16 December 2010

නුඹේ වදන්..........

වැහි පොද පොද එකතුවෙලා
ගඟක් ගලනවා
වැලි කැට කැට එකතුවෙලා
කන්දක් වෙනවා
පැළ එක දෙක එකට වැඩී
කැළයක් වෙනවා
නුඹේ වදන් මගේ හදට
සතුට ගෙනෙනවා.......

Tuesday 14 December 2010

මම බය වෙන් නෑ........

පොල් ගෙඩියට හැට උනාට
පොල් තෙල් තව මිළ උනාට
බඩු මිළ කොතරම් නැග්ගත්
මම බය වෙන් නෑ
මම බය වෙන් නෑ

අපේ පඩිය අඩු උනාට
ලොක්කට පඩි වැඩි උනාට
අපි කරනා මේ සේවය
මිළ කරන්න බෑ
මිළ කරන්න බෑ

මගේ ගෙදර පොඩි උනාට
කාමර එහි අඩු උනාට
රෑ තුන් යම සැපට නිදමි
නුඹට එහෙම බෑ
නුඹට එහෙම බෑ

වෙල් එළියේ නියර දිගේ
සරු ගොටු කොළ දඩු නෙලන්ට
ඇළ අයිනේ සැපට වැවෙන
අල ගස්වල ගොබ කපන්ට
මගේ පැටව් හරි දස්සයි
මම බය වෙන් නෑ
මම බය වෙන් නෑ

Sunday 12 December 2010

දුරින් ඉඳන් පෙම්කරන්ට.........

සඳ පායපු ලස්සන රෑ
ගිය මාසේ පහු උනාට
වළාකුලින් බර අහසේ
බැරිවුණි එය බලාගන්ට
හිත් අසසේ මගේ ලොවේ
මා අසලින් නැතිවුනාට
මං ආසයි ඔබත් එක්ක
දුරින හිඳන් පෙම්කරන්ට

Friday 10 December 2010

ආදර සිත මගේ තවමත් තරුණයි.........

හමුවෙන්නට
පෙරුම් පුරන්නෙමි
යන එන මාවත්වල
හැසිරෙන්නෙමි
ඔබගේ උදව්වට
නිතර බලන්නෙමි
එනමුදු තවමත්
ඔබව සොයන්නෙමි.........

සසරේ පෙර සිට
‍සෙව්වා මතකයි
කොයි මොහොතේ හෝ
හමුවෙනු නිසැකයි
හමුවෙන මොහොතේ
හඳුනාගන්නට
ආදර සිත මගේ
තවමත් තරුණයි...........

Wednesday 8 December 2010

සසර වසනා සැම දිනේ..........

වන සංසිඳවමින් සහජීවනය සදමිනේ
සන යසට වෙමින් හදවතින් පිරිමදිමිනේ
කුමන දනය සපිරිවරවුව මෙමාහ කන් යොමමිනේ
මන අදින සප කරනෙමි සසර වසනා සැම දිනේ

මා අත කාසි නැත එනිසා මම තැවුනා ................

අතකට අතක් පානා
පොඩි දරුවා
වීදිය කොනේ දිව යන සැටි
මම දුටුවා
දැලි කුණු වැකුණු
කලිසම් පොඩියක් අඳවා
ඔබ සිටි ඉරියව්ව ‍
නෙතු කඳුළැලි ඉනුවා

මා අභියසට සපැමිණ
හසරුළි පානා
මැලියම් බැඳුණු දත්
කහ පැහැයෙන් දිලුනා
හසරැළි තුළින්
අවිහිංසක බව දැනුනා
මා අත කාසි නැත
එනිසා මම තැවුනා

Thursday 2 December 2010

මල සහ වට්ටිය.......

ඔබ පහනක් වුවොත්
මුළු ලොවටම එළිය දෙන
මම පෙරුමන් පුරමි
එහි සිළුවක් වන්න
මල් කූඩයක් වුව හොත්
මුනිඳුන් පුදන
මල් ගොමුවක් වෙලා
එමි ඔබ හා යන්න...........

මම සිළුවක් වුනොත්
එක වරකදි පහනේ
නැවතත් වරක්
දැල්වෙන්නට බැහැනේ
උදයට පිපී තිබුණත්
මල් තුරු මුදුනේ
පරවුණු පසුව වට්ටියේ
කොතැනද තිබුනේ.............

Wednesday 1 December 2010

සඳ පායනතුරු බලා හිඳින්නෙමි...........

සමනොල සිරසින්
බැස එන ගඟුලක
සිසිලස වින්දෙමි
හුඟ කලෙකින්.......

මල් පෙති විසිරුණු
නිල් තණ පියසෙක
පහස ලැබූවෙමි
හුඟ කලෙකින්...........

සඳ රැස් නැහැවී
දිලිසෙන කඳුමත
මිහිර දකින්නට
හුඟ කලෙකින්........

සඳ පායනතුරු
බලා හිඳින්නෙමි
වැසි දිය පිරි
මේ කුළු අතරින්...............

‍පායනතුරු හිඳිමි මෙහෙම........

වැඩ ඇරුනත් වෙලාසනින්
මඟට බහින්නට විදිහක් නෑ
අඳුරු වලා අහස පුරා
ගිගුම් දි දී
මහ පොළවට කඩා වදී............

එක දිගටම මේ විදිහට
වහින වැස්සෙ තෙමී ගිහින්
මට හැදෙනා
පොඩි පොඩි ලෙඩ
බැහැ නොවැ දැන් දරාගන්ට............

එදා හිටං මගේ ළඟින්
පිහිටට සිටි නුඹවත් නැහැ
මගේ ළඟින් මුමුණ මුමුණ
මඟ දිගටම හිනාවෙවී
අපි දෙන්නා කී සැරයක්
යන්න එන්න ඇතිද එකට..............

ඇයි නුඹ අද වැඩට නාවේ
මට පාළුයි මට පාළුයි
මේ වැස්සෙ තෙමෙන්ට බැහැ
පායනතුරු හිඳිමි මෙහෙම.............


Monday 29 November 2010

සියවස්කල් දිනේවා........

පොල් ගෙඩියට පනහක්ය
පොල් තෙල් තව මිළය
හාල් හැටට ගත්තත්
මට ඒ මදිය
කන බොන ජාති
මේ තුන හතරට වැඩිය
කඩයට ආවොතින්
මෙහි තතු දත හැකිය.............

දුප්පත්කම නිසා
රස්සාවට ආවේ
දිවි ගැටගහගන්න විය
තව කෙනෙකුගෙ ජීවේ
අත පත් මුදල්
නොදැනිම සුළඟෙහි පාවේ
ඒ දුක දැකලාද
ඔබ හසරැලි පෑවේ............

සියයට පහක් වැඩිවිය
අපෙ සේවයට
බඩු මිළ වැඩිවෙලා මැතිඳුනි
අහසේ උසට
වැඩිවු පඩිය මදි
තුන-පහවත් ගන්ට
ඒකත් තියන් වැඩියෙන්
රට නංවන්ට...........

දුප්පත් අපේ
දුක් ගින්දර නිවන්නට
මතු පරපුරට
රන් අස්වනු නෙලන්නට
රට ජාතිය
සමය ආගම රකින්නට
සියවස්කල් දිනේවා
රට ගොඩ නගන්නට.......

Thursday 25 November 2010

රැයේ නොනිදමි සිහින දකිමින්..........

නිදන්නට ඇඳට
යන්නට එදා විලසට
නොහැකිවූයේ මට
කිමැයි දෙවියනි කියන් සවනට...........

නුඹ දුටු දිනේ පටන්
හද පත්ලෙහි නිපන්
සොඳුරු සිසිලැති වදන්
නෙතඟ දැල්වේ අඳුරු දුරලන්...............

දහවල් කාලයේ
නුඹ ගෙලෙහි ඇති මාලයේ
සිරිය විඳ විඳ ආලයේ
සිහින උතුරති මගෙ ළයේ............

මා ළඟට එන විට
දකිනා නුඹේ මුවගට
නංවන මදහසට
අකුරු අමුණමි එකින් එකපිට...........

කොතරම් වැඩ තිබුණත්
එකම එක මොහොතක්
වෙන් කරගෙන ඉඩක්
එමි නුඹ දකින අටියෙන්...........

මට මෙන්ම නුඹටත්
මා නොදැක එක පැයක්
ගත කෙරුම එක දිනක්
කල්පයක් නොවෙතියිද සැකයක්..........

නුඹෙ දෑත වෙනතකය
වෙන දෑතක්ද මාතය
එනමුදු අපේ හදවත
බැඳි බැමි කෙසේ ලිහමුද..........

මම නුඹට ආදරෙයි
නුඹත් මට ආදරෙයි
මුළු දවස සිහිකරන්
රැයේ නොනිදමි සිහින විඳිමින්.........


Wednesday 24 November 2010

ඉවසිල්ලෙන් අපි බලා හිඳිමු............

බලා හිඳින්නට
වරම් ලැබූවෙමි
සුන්දර ඔබේ
කෙහෙරැල්ලේ...........

ළං වන්නට මට
අවැසි වුවත් එය
අසම්මතලු
අපෙ සමාජයේ............

අසම්මතය වුව
සම්මත නේදෝ
අප දෙදෙනාගේ
සිත් ඇතුලේ.........

ඉවසිල්ලෙන් අපි
කාලය හරිනෙමු
සම්මත වෙනතුරු
මතු සසරේ............

Thursday 18 November 2010

නුඹේ වදන්.........

මුකුලිත සියපතක්
විකසිතවනතුරු
තිමිරය දකින්නට
පෙරුමන් පුරනා
මල් කෙමියක සේ..........

නුඹ හද පතුලෙන්
මෝදු වෙවී මෝදු වෙවි
දැල්වෙමින් නැග ඇවිත්
නෙත් කෙවෙනියෙහි
දිදුලන නමුදු
දෙතොලතරින්
වා තලයට මුසුවී........

වා තලය සිසාරා
මගේ සවන් යුග
සනසාලන
ඒ සුමියුරු
වදන්පෙළ
ගලාහැලෙනතුරු
නොයිවසිල්ලෙන්
බලාහිඳින්නම්.......

බඹර පැතුමක්

ඇඟ මැලි කඩමින්
බමරුන්
උදයෙම නැගිට
ඇවිදින්
කැරකි කැරකී
බලාහිඳී
මල් අසලටවී
උරන්නට රොන් බිඳක්
විකසිත වන
සියක් පෙති
අතරට රිංගා.......

Wednesday 17 November 2010

මගේ දෑතට සුකොමළ දෑතක්.......

හිරු කුමරුනි
මේ පින්බර
උදයෙම ඇයි
හිනැහෙන්නේ...........

ඔබ නාවොත්
මේ දෙරණෙහි
කෙලෙසද මල්
පිබිදෙන්නේ.......

ගණ අඳුරෙන්
මා ගලවා
මගෙ දිවි මග
බැබලෙන්නේ......

සුකොමළ පොඩි
පුංචි දෑත
මගේ දෑතෙහි
පැටලෙන්නේ...........

Monday 15 November 2010

ගෙම්බෙක් ගෙදර ගෙනියන්න හදලා.........

මං පුංචිකාලේ අපේ සීයා ගෙයි පිල උඩින් වාඩිවෙලා මාව ඔඩොක්කුවේ තියාගන්නව. හැමදාම හැන්දෑවට රස කතාවක් මට කියාදෙන්න සීයත් හරිම කැමතියි.ඒ කතන්දර අහගෙන ඉන්න මමත් හරිම ආසයි. අපේ සීය මට කියා දුන්නු ඒ වගේ පුංචි රස කතන්දරයක් මට නිකමට වගේ මතක්වුනා. අනෙක් කාරණය තමයි අපේ සීය වැඩිහරියක්ම කියා දුන්නෙ ඔය ගමේ අහන්න දකින්න තිබුණු සිදුවීම්.ඒ ඉතිං සීයගේ තරුණකාලේ වෙච්චි දේවල් වෙන්නත් ඇති.දැනට මට මතක තියෙන විදිහට මම කතාව ඔබට කියන්නම්.

අපේ ගමේ සමුපකාර ආරම්භ කරපු කාලේවගේ. ගමේ හැමෝම බඩු ගන්නෙ සමුපකාරෙන්. අද කාලේවගේ නෙවෙයිනෙ ගොඩාක් කඩවල් තිබිල නෑ. ගමේ සමුපකාරෙ මැනේජර් විදිහට ඉඳල තියෙන්නෙත් ගමේ උගත් කෙනෙක්මයි.

ගමේ උදවිය හැමදාම වගේ සමුපකාරෙට ඇවිල්ල බඩු අරගෙන යනව. ටික දවසක් යනකොට මැනේජර් මහත්තයට තේරුනා බිල්වලට වඩා බඩු අඩුවෙන බව. ඉතිං සමූපකාරේ උනාට ගොඩාක් බඩුත් නැහැනේ. කොහොමවුනත් බිල්ටික පරීක්ෂා කරල බඩු පරීක්ෂා කරනකොට සමහර බඩු අඩුවෙනව. සමහර වෙලාවට වෙන කාටහරි කිරල තියෙන බඩුත් නැතිවෙනව. මෙහෙම වෙනකොට පොඩි පොඩි ගැටළු ඇතිවෙනවනෙ.මැනේජර් මහත්තයටත් මේක ගැටළුවක්වුනා.

ඇයි මෙහෙම බඩු නැතිවෙන්නෙ......... කියල මැනේජර් මහත්තයත් කල්පනා කළා.
මහ දවල් මීයෝ කන්නයැ කඩේට එන කවුරුහරි හොරකම්කරනව ඇති........... කියල හිතුණු නිසා මැනේජර් මහත්තයට මේ හොරා කවුද කියල අල්ලගන්න ඕනිවුනා.

කොහොමද මේ වැඩේ කරන්නෙ කියල කල්පනාකලා.සමූපකාරෙ බඩු අඩුවෙනව කියල ගමේ අය දන්නෙ නෑ. එහෙම හැමෝම දැනගත්තොත් හොරා අල්ලගන්නත් බැරිවෙනවනේ. ඉතිං මැනේජර් මහත්තය කඩේට එන හැමෝම ගැන හොඳ පරීක්ෂාවෙන් ඉන්න පටන්ගත්තා. කවුරුහරි කඩෙන් බඩු අරගෙන ගියහම මොනවහරි බඩු අඩුවෙලා තියෙනවද කියල හොයල බැලුවා.අද කාලේ වගේ නෙවෙයිනෙ ඒ කාලේ එච්චර සෙනඟත් නෑනේ. ඉතිං වැඩේට ලේසියි. කොහොම හරි දවස් කිහිපයක් යනකොට කඩේ බඩු අඩුවෙන්නෙ කවුරු ඇවිත් ගියාට පස්සෙද කියල අනුමාන කරගන්න මැනේජර් මහත්තයට පුළුවන්වුනා.

මේ වැඩේ කරන්නෙ ගමේ ඉන්න ගැහැණු කෙනෙක්. එයා ටිකක් විතර දුප්පත්. ඒ වුනත් හොරකම හොඳ වැඩක් නෙවෙයිනෙ.මේ ගෑණු කෙනා තමන්ගෙ අතට අහුවෙන ඕනෑම දෙයක් අරගෙන යන්න පුරුදුවෙලා තිබුනේ. සමහර වෙලාවට මේ ගෑණුකෙනා කවුරුත් නැතිවෙලාවට කඩේට ඇවිත් මැනේජර් මහත්තය බඩු කිරන අතරෙ අතට අහුවෙන දේවල් මල්ලට දාගන්නව.මල්ලක් නැත්නම් තමන් ඇඳගෙන ඉන්න චීත්ත පොටහරි හංගගන්නව. චීත්ත පොටට කම්බා පොට කියලත් කියනවනේ.

මේ වැඩේට හොඳ වැඩක් කරන්න ඕනි කියල කල්පනා කරපු මැනේජර් මහත්තය ටිකක් ලොකු ගෙම්බෙක් අල්ලල ලස්සනට පාර්සලයක් විදිහට ඔතල අර ගෑණුකෙනා එන වෙලාවට මේසෙ උඩින් තියල හැංගිල බලාගෙන හිටිය. ඔන්න දැං ඉතින් ටිකක් වෙලා යනකොට අර ගෑණුකෙනා බඩු ගන්න විදිහට සමූපකාරෙට ඇවිල්ල. බැලු බැල්මට මැනේජර් මහත්තයත් නෑනේ. වට පිට බලනකොට දැක්ක මේසෙ උඩ තියෙන පාර්සලේ.ඇතුලෙ ගෙම්බෙක් කියල මෙයා දන්නෙ නෑනේ. ගෑණු කෙනාගෙ අතේ මල්ලක් තිබිල නෑ. ඒත් ඉතිං නිකම්ම ඉන්නෙ නැතුව පුරුද්දට වගේ අර පාර්සලේ අරගෙන චීත්තෙ පොටේ හංගගෙන තියෙනව.

මැනේජර් මහත්තය හැංගිල සිද්ධිය බලාගෙනනෙ හිටියේ.චීත්ත පොටේ ගෙම්බ හංග ගන්නකොටම හැංගිල හිටිය තැනින් එළියට ඇවිල්ල. නිකම්ම නෙවෙයි ලස්සන කවියකුත් කියාගෙනම.

එම්බා සොඳුර කළ දේ නම් බලු නොවටී
හම්බා කරන හැටි ඔහොමද කාලෙ හැටී
කම්බා පොටට යටකරගෙන බැලුව හැටී
ගෙම්බා ගෙදර ගෙනියන්නට හදපු හැටී

ඊට පස්සෙ නම් හොරකම් කළාද කියන්න දන්නෙ නෑ. වැඩේ අහුවුන හිංද හොරකම අතෑරියද දන්නෙත් නෑ.

සේවයට පැමිණීම (කෙටි කතාව)

දෑසට මද නිදිමතක් දැනුනද නින්දට පෙර මගේ දින පොතෙහි සටහනක් තැබීමට මම පුරුදුව සිටියෙමි. බෑගයේ පියන විවිරකළ මම එහි වූ මගේ දින පොත සහ පෑනද අතට ගෙන ඇඳ උඩින් වාඩිවී දින පොත පෙරලා ගත්තෙමි. වමත නළල මතින් තබා ගත් මම දකූණතෙහි පෑන දවටගෙන දවස ආරම්භයේ සිටම සිදුවූ සිදුවීම් පෙළින් පෙළට සිහිපත් කළෙමි.

බදුල්ල බලා දිවෙන පාන්දර බසයට මම ගොඩවූයේ උදෑසන 8.00 පමණ වන විටවත් බළන්ගොඩට යාමට අවශ්‍යවූ බැවින්ය. මම බසයට ගොඩවන විට එහි ආසන සියල්ල මගීන්ගෙන් පිරී තිබූණි. අවිස්සාවේල්ල නගරයට බසය සේන්දුවූ පසු එහි සිටි බොහෝ දෙනෙක් ඉන් බැස ගියේය. එමඟින් කවුළුවක් අසල හිස්වූ අසුනක අසුන් ගැනීමට මට හැකිවිය. ධාවනය වන බසයේ වසා තිබූ වීදුරු කවුළුව අතරින් පිටත බැලූ මට පාන්දර අඳුර නිසා කිසිවක් නොපෙනුනේය. රථයතුළ වූ මන්දාලෝකයද කථාකර කර යාම සඳහා මා අසල සමීපතමයෙකු නොසිටීමද මා ඉතා ඉක්මණින්ම නිදි ලොවකට ගෙන ගියේය.

දැඩි හඩක් නඟාගෙන කන්දක් නගිමින් සිටි බසයේ ඇතිවූ තද ගැස්සීමක් නිසා මම අවදිවුනෙමි. බසය තුළ බොහෝ දෙනෙක් සිටගෙනද සිටියේය. කොපමණ දුරක් බසය ගමන්කර ඇත්දැයි මම සිතා ගැනීමට වෙරදැරුවෙමි. බසයතුළ වුවද ආසනයේ සුව පහසුව නිසා මෙතරම් හොඳින් නින්දයෑම පිළිබඳ මට සුළු පසු තැවිල්ලක්ද ඇතිවිය. බළන්ගොඩ පහුවෙලාවත්දැයි එම පසුතැවිල්ලත් සමඟම මම සිතුවෙමි.

“බළන්ගොඩ පහුවුනාද?... ” යි මම මා සමීපයේ අසුන්ගෙන සිටි අනෙක් මගියා දෙසට හැරී විමසුවෙමි.

“නැහැ.... තවම නැහැ... තව කිලෝමීටර පහක් විතර තියෙනවා..... ” ඔහු මා සමඟ කීවෙිය. ඉන් සැනසුණු මම රථයේ කවුළුව මදක් විවිරකර එතුළින් පිටත බලාගෙන ටික දුරක් ගමන් කළෙමි. මුව තුළ වියැලි බවක් ඇතිවූ නිසා මම බෑගයතුළ වූ වතුර බෝතලය ගෙන ඉන් උගුර තෙමා ගත්තෙමි. පිපාසය මදක් සන්සිඳුණු මම මඟ පසුවන දේ පිළිබඳ විමසිලිමත් වෙමින් කවුළුවෙන් පිටත බලාගෙන නැවතත් ගමන් කලෙමි. කඳු ගැටය නගිමින් තිබූ බසය ගමන් කළේ තරමක් සෙමෙන්ය. ගස් වැලින් නිල් පාට වූ මාවත අයිනේ අතරින් පතර ගෙවල් නොතිබුණේද නොවේ.

වංගුවකින් රථය හැරෙන විට ඈතින් දිස්වුණු කඳු පංතිය සොඳුරු දසුනක් මතුකලේය. පැහැසර වූ අහස් තලයේ කඳු පංතිය ඇඳි සිතුවම සින්නරෙකුට නම් අමතක කළ නොහැකි සිතුවමක් විය. මෙම කඳු මුදුන් දෙස බලාගෙන යන මට එක් උස කඳු මුදුනකින් මතුවී නිසසලව වැඩ සිටින සුදු බුදු පිළිමයක් පෙනුනේය. බුදු රුවට පසුබිමෙන් හිරු නොපෙනී හිරු රැස් පමණක් විහිදීම නිසා එය හරියට බුදු රුවින් රැස් විහිදෙන්නාසේ පෙනුනේය. වීදාගම හාමුදුරුවන් හෝ තොටගමුවේ හාමුදුරුවන් හෝ මෙම දර්ශනය දුටුවේ නම් ඔවුන්ගේ කාව්‍ය සංකල්පනා තුළින් කෙබඳු නිර්මාණයක් බිහිවිය හැකිදැයි මම කල්පනා කලෙමි.

“ඔය බළන්ගොඩ බහින අය ඉස්සරහට එන්න...ස්ටෑන්ඩ් එහෙම යන්නෙ නෑ...” යි බසයේ කොන්දොස්තරවරයා බසයතුළට පමණක් නොව ගමටම ඇසෙන සේ දෙවරක්ම හඩගා කීවේය. එම හඩින් කලබලවූ කිහිප දෙනෙක්ම තම තමන්ගේ බෑග් මළු ගනිමින් ඒවා අතින් කරින් එල්ලාගෙන එම කලබලයෙන් බසයේ ඉදිරි දොර වෙත ගමන් කිරීමෙහි යුහුසුළු විය. මමද ඒ පිරිසට එක්වී බසයේ ඉදිරියට ගමන් කලෙමි. ඉදිරියට එන අයට ඉඩදී බසයේ කොන්දොස්තර වරයා රියදුරු අසුන අසල පසෙකටවී සිටියේය.

“බළන්ගොඩ නගරසභාව තියෙන්නෙ කොතැනද?.....”යි මම කොන්දොස්තරවරයාගෙන් විමසුවෙමි.

“ආ... මහත්තයෝ අපි එතැනින් තමයි යන්නෙ ඉන්න..... එතැනින් ඉස්සවන්නම්..... ”යි ඔහු මා වෙත සිනහවකද පාමින් කීවේය. එය මට මහත් අස්වැසිල්ලක්වූවේය. ඔරලෝසු කණුවක් සහිත සතරමං සන්ධියකින් වම් පැත්තට හරවන ලද බස් රථය තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් බස් නැවතුමක නතරකලේය. සුපිරි වෙළඳ සංකීර්ණයක් වන කාර්ගිල්ස් වෙළඳ සැලක් පුළුල් මාර්ගයට ඉදිරියෙන් පෙනුනේය. මේ වෙලාවට වෙනත් නගරයක නම් පාරේ තැනින් තැන ගොඩ ගසා ඇති කුණු ගොඩවල් ඉවත් කිරීම සුලභ දසුනකි. හොඳ ඇඳුමක් හැඳ පැළඳ නගරයට පැමිණෙන කෙනෙක් එතැනින් ඉවත් වන්නේ නාසය අතින් වසාගෙන මහත් පිළිකුලින්ය. සමහර කම්කරුවන් කිසිම හෙවීමක් බැලීමක් නැතිව අතු පතු ගෑම කසල විසි කිරීම නිසා පාරේ යන අයගේ ඇඟේද ගෑවෙන අවස්ථා බොහෝය. මම මෙම නගරයේ මට පෙණුනු සෑම දෙසටම හැරි හැරී බැලුවෙමි. පාරෙහි තැන තැන දමන ලද කසල ගොඩවල් එහි නොවීය. මේ වගේ නගර ලංකාවේ තිබේදැයි සිතා ගැනීමට පවා මට නොහැකිය. මම අද සේවයට වාර්තා කරන්න යන්නේ මෙවන්වූ තැනකටදැයි මගේ සිත උද්දාමයට පත්වූවේය.

“ඔය ගොඩවුණු අය ඔතන ඉන්නෙ නැතුව පස්සට යන්න...... පස්සහ ඉඩ තියෙනවා..... ” යි කොන්දොස්තර මහතා බසයට ගොඩවුණු අයට කීවේය. බොනටුව මත තබා තිබූ ටිකට් පොතද රැගෙන ඔහු පිටුපයට යාමට සැරසුනේය.

“මේ මහත්තය ඉස්සරහ නගර සභාව ළඟින් දාල යං..... ” යි ඔහු බස් රථයේ රියදුරුට පැවසුවේය. මදෙස බැලූ රියදුරු මහතා මද සිනහවකින් මට සංග්‍රහකලේය. ඔහුට සිනහවකින් සංග්‍රහකළ මම නගරයේ අවට අසිරිය නැරඹීමි. රියදුරු මහතා රථය මාවතට ගෙන ගියරය මාරු කර වේගය වැඩි කලේය. මම රියදුරු අසුන ළඟටම වී වට පිට බලමින් සිටියෙමි. මාවත හරිම පිරිසිදුය.

“මහත්තය ඔය ඉස්සරහින් බැහැගන්න.... අර තියෙන්නෙ නගර සභාව තමයි..... ” යි රියදුරු මහතා රථයේ වේගය අඩු කරමින් කීවේය. ඔහුට ස්තූති කළ මම බසයෙන් බැස්සෙමි.

එක දිගට පිහිටි කඩ කිහිපයක් මාර්ගය දෙපස පිහිටා තිබුණේය. මාර්ගයේ තිබුණු පිරිසිදු බව මා පුදුමයට පත් කළේය. ටොෆී කොලයක තරම් දෙයක් මම මාර්ගයේ දමා තිබෙනු නුදුටුවෙමි. වෙනත් නගරවලට ගොස් පුරුදු මට එම නගර සහ මෙම නගරයේ වෙනස හොඳින් පෙනුනි. කුණු කාණුවලින් නික්මෙන අප්‍රසන්න දුගඳක් මෙහි නොවීය. සීතල මිශ්‍රව හමන උදෑසන මදනළෙහි ආශ්වාදය ඒ අයුරින්ම විඳගැනීමට හැකිවීම මොනතරම් භාග්‍යක්දැයි මම කල්පනා කළෙමි. රැකියාවන් කරා උදෑසන පිය මනින තරුණ තරුණියන් මෙන්ම නොයෙකුත් තරාතිරමේ පුද්ගලයන්ට ප්‍රබොධමත් සිතින් තම තමන්ගේ කටයුතුවලට යාමට හැකිය. මාර්ගයේ එක් පසෙක පෙළට නතරකර තිබූ ත්‍රීරෝද රථ පෙළකි. මා බසයෙන් බසින විට මම රැගෙන යා යුත්තෙ කොතැනටදැයි විමසන්නාක් මෙන් ඔවුන් මද සිනහවකින් මවෙත බලා සිටියේය.

“බළන්ගොඩ නගර සභාවට යන්නෙ කොතැනින්ද?.....” යි මගේ මුවඟ වූ පැනය මම ත්‍රී රෝද රථයක සිටි තරුණයෙක්ගෙන් විමසුවෙමි.

“අර තියෙන්නෙ නගර සභාව තමයි.... අතන උඩ පැත්තෙන් ගේට්ටුව තියෙන්නෙ..... ” යි එම තරුණයා අත දිග හැර පෙන්වමින් කීවේය. එම අත ඔස්සේ මම හිස හරවා බැලීමි. බළන්ගාඩ නගර සභාව ලෙස සටහන්වූ තැඹිලි පාට පසුබිමේ කළුපාටින් ලියන ලද විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් මනෙතට ගැටුණි. එය මට බුද්ධ කාලයේ අසිත නම්වූ තාපසයාට මෙන් ප්‍රීතියක් සහ කණගාටුවට කරුණක් වූයේය. මට ප්‍රීතිය වූයේ මම සේවය සඳහා වාර්තා කරනු ලබන ආයතනය හමුවීමයි. මගේ කණගාටුදායක කාරණයවූයේ මෙතරම් විශාල පුවරුවක් තිබියදී පුවරු පිළිබඳ කිසිම පරීක්‍ෂාවකින් තොරව කටයුතු කිරීම පිළිබඳවයි. තරුණයාට ස්තූතිකළ මම ඔහුගේ මඟ පෙන්වීම ඔස්සේ පා නැඟුවෙමි. ප්‍රධාන මාර්ගයෙන් හැරුණු මම ආරම්භයේ සිටම කඳු ගැටයකට දිවෙන අතුරු පාරක් දිගේ අඩි විස්සක් පමණ ගමන් කළෙමි. එහි වම් පසට වන්නට වු කහ පාටකට හුරු සුදු පාටකින් තීන්ත ආලේප කරන ලද විශාල ප්‍රමාණයේ ගේට්ටුවෙහි එක් පියනක් පමණක් විවරකර තිබුණේය.

මම ඒ සුවිසල් ගේට්ටුව අභියසට පැමිණියෙමි. ඉදිරියෙහි වූ ගොඩ නැඟිල්ලෙහි පියස්සක බළන්ගොඩ නගර සභාව වශයෙන් සටහන් කරන ලද තවත් දැන්වීම් පුවරුවක් තිබුනේය. මා ඉදිරියෙන් තිබූ මාර්ගය ගේට්ටුව ළඟ සිට ඇතුළට දෙකට බෙදා තිබුණේ කහ පාට කඩ ඉරි සිතුවමිනි. බෙදන ලද එම කොටස්වල ගමන් කළ යුතු ආකාරය දක්වමින් ඊතල ද සිතුවම්කර තිබුණේය. මම මගේ දකුණත පැත්තෙන් පියවර කිහිපයක් ඉදිරියට පැමිණියෙමි.

මුර කුටියතුළ සිටි මුරකරු මදෙස බලා හිස මදක් පැත්තට ඇලකර සිනහවක් පෑවේය. මමද ඔහුට සිනහවකින් සංග්‍රහ කලෙමි. ඔහු සිටි මුර කුටිය පිහිටා තිබුනේ මගේ දකුණු අත පැත්තෙහිය. මුර කුටිය අසලම මල් කිහිපයක් පිපිණු ජේබරා වර්ගයේ මල් පාත්තියක් තිබුණේය. ප්‍රවේශ මාර්ගයට මදක් දුරින් මුර කුටිය අසල සිට පෙළට සිටුවන ලද විවිධ වර්ගයේ රෝස පඳුරුවල මල් පිපී ලෙල දුන්නේය. මා සිටි තැන සිට වම් පැත්තට හිස හරවා බැලූ මට ගේට්ටුවට තරමක් ඇතුළතින් ප්‍රවේශ මාර්ගයේ අනෙක් පැත්තේ සිටුවා තිබුණු කතුරු මුරුංගා ගසෙහි මල් පිපී තිබෙනු දුටුවේමි. එම සුදු පාටැති මල් හිරු එළිය වැටීම නිසා විදුලි බලය හීන වූ විට මද විදුලි බලයෙන් ක්‍රියාත්මක වීමට වෙර දරන විදුලි බුබුළු වැලක විදුලි බුබුළු මෙන් පෙනුනේය. එතැන් සිට ඉදිරියටද ළඟ ළඟ සිටුවන ලද විවිධ මල් පඳුරුවල මල් පිපී අලංකාර වී තිබුනේය.

තවත් පියවර කිහිපයක් ඉදිරියට පැමිණි මට රෝස පඳුරුවල කෙළවරින් තරමක් විශාල පෝච්චියක සිටුවා තිබුණු අඹරැල්ල ගසෙක් දැක්කෙමි. අඩි හයක් පමණ උස් වූ මෙම ගසෙහි එක් එක් මට්ටමේ පොකුරු කිහිපයකින්ම ඵල දරා තිබුනේය. කාර්යාලයට ඇතුළුවීමට ඇති විවෘත පියස්සෙහි කුළුණු යට බෝගන්විලා පඳුරු කිහිපයක් තිබුණේය. එම පියස්සේ වම් පස සිට කාර්යාලයේ ඉදිරිපස අයින දිගටම පෝච්චිවල සිටුවන ලද බෝගන්විලා මල් පඳුරු විවිධ වර්ණයන්ගෙන් අලංකාර මලින් පිරී තිබුණේය. මම පියස්ස තුළට ඇතුළු නොවී මදක් වට පිට බැලිවෙමි. මා නැවතුණු තැනට ඉදිරියෙන් ආවරණයක් යට පෝච්චිවල සිටුවන ලද ඇන්තූරියම් මල් යායක් මලින් පිරීතිබෙනු දුටුවෙමි. එම ඇන්තූරියම් මල් යාය වසා වැඩී තිබුණු විශාල නෙල්ලි ගසෙහි සෑම අත්තක්ම පිරී ඉතිරී ඵලදරා තිබුණේය. නෙල්ලි ගසට එපිටින් දිස්වූ අලංකාර ශාඛ වැටිය අතරින් මා නගරයට ඇතුළුවන විට දුටු නිසසල සුදු බුදු රුව පෙණුනේය. කඳු මුදුනේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මේ කාර්යාලය දෙස බලා සිටිනවායැයි මට සිතුනේය.

“සාදු.... සාදු.... සාදු....... ” යන ලයාන්විත හඩ පැමිණි දෙස මම දෙනෙත් විහිදවීමි. ඵල බර තැඹිලි ගස් දෙකක් අතර පිහිටුවාතිබූ බුදු කුටියක් අසල පෙර පාසැල් දරුවන්ට එහි ගුරුවරු කිහිප දෙනෙක් ආගමික වතාවත්හි නියැලීමට පුරුදු කරවනු මම දුටුවෙමි. නිල ඇඳුමින් සැරසී මිදුලෙහි පෙළට සිටි දරුවන් ලයාන්විතව ගැයූ ගාථාවන් මගේ බුද්ධාලම්බන ප්‍රීතියද තියුණු කලේය. මිදුලෙහි කෙළවර ඉදිකර තිබුණු ළමා උද්‍යානය සහිත පෙර පාසැල් ගොඩනැගිල්ලේ වූ සිතුවම් මමද ළමා ලෝකයකට රැගෙන ගියේය.

මා ඉදිරියෙන් පැමිණි නිලධාරිණියක් මා පසු කරගෙන ගොස් කාර්යාලයේ ප්‍රධාන දොරටුවට යා බදව බිත්තියේ සවිකර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් තම පැමිණීම සටහන් කළාය. මවෙතට බැල්මක් හෙළු ඇය මඳ සිනහවක් පා කඩිසර ගමණින් කාර්යාලයතුළට යනයුරු මම බලා සිටියෙමි. ඇයව අනුකරණය කරමින් මමද ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වුනෙමි.

“සාදරයෙන් පිළිගනිමු” දෙපසෙහි පුන් කලස් දෙකක සිතුවම්ද සහිතව සටහන් කර ඇති තරමක් විශාල තීරු පුවරුවක් ප්‍රධාන දොරටුවට ඉහළින් සුළඟට පැද්දෙමින් තිබුනේ මට ආචාර සමාචාර කරන්නා සේය.

“2020 දී සැමට සුව පහසු දිවියකට තිරසාර පුරවරයක්” යන දැක්ම සඳහා කළයුතු මෙහෙවෙර ප්‍රකාශය නිල් මහනෙල් මලක පසුබිම්ව තරම් විශාල අලංකාර කැටයමින් යුතු පුවරුවක ඉදිරියෙන්ම දක්වා තිබුනේය. ඒ අසලම කාර්යාලයේ සංවිධාන සැළැස්ම සහිත පුවරුවක් තම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා කෙනෙකුට යා යුතු තැන පෙන්වා දුන්නේය. කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිණිය දුරකථන සංවාදයකට යොමුවී සිටියාය. මහජනයා වෙනුවෙන් පනවා තිබුණු ඉදිරියේ වූ අසුනක අසුන් ගන්නා ලෙසට ඉඟිකරමින් ඇය මට අතින් සංඥාවක් කලාය. එක් අසුනක අසුන් ගත් මම මගේ බෑගයද උකුල මතින් තබා ගත්තෙමි. මා ඉදිරියෙන් වූ විසිතුරු මසුන් සහිත තරමක් විශාල ටැංකියේ සිටි මසුන් සදහා එක් නිලධාරියෙක් ආහාර දමමින් සිටියේය. ආහාර වැටෙන විට මෙතෙක් නිරාහාරව සිටියාක් මෙන් සියළු මසුන් එක පොදියට එතැනට පිහිනා එන දෙස මම බලා සිටියෙමි.

“මේ මහත්තය කවුරු හම්බවෙන්නද දන්නෙ නෑ නේද?..... ”යි මවෙතට පැමිණි පිළිගැනීමේ නිලධාරිණිය විමසුවේය. මම ඇයට මම පැමිණි කාරණය කීවෙමි.

“එහෙනං සී සී මිස් හරි ලේකම්තුමා හරි එනකං ඉන්න වෙනව... මහත්තය වාඩිවෙලා ඉන්න මම ආපුවහම කියන්නම්..... ” යි පැවසූ ඇය තම අසුනවෙතට ගියාය. මා ඉදිරියෙන් බිත්තියේ සවිකර තිබූ රූපවාහිනී යන්ත්‍රයේ උදෑසන විකාශනයවන සංවාදාත්මක වැඩ සටහනට සිත යොමුකළ මම එය නැරඹීමි. සුළු සේවක මහත්ම මහත්මීන් යුහුසුළුව කාර්යාලය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටිනු ඒ අතර මම දුටුවෙමි. කාර්යාලයට පැමිණියා වේලාසන වැඩිදැයි මම කල්පනා කලෙමි.

එක දිගටම වෙළඳ දැන්වීම් කිහිපයක් ප්‍රචාරයවීම නිසා මම මගේ දෑස් රූපවාහිනී තිරයෙන් ඉවතට ගත්තෙමි. සභාපතිවරයාගේ සිට කම්කරුවා දක්වා බලයවිහිදී යන කාර්යාල ව්‍යුහය දැක්වෙන සුදු පැහැති පසුබිමක් සහිත පුවරුවක් පුරා දක්වා තිබුණේය. අනෙක් පස වූ කොරිඩෝව දිගේ ඒ ඒ අංශයන් සඳහා වෙන්කරන ලද කාමර නම්කර තිබුනේය. රූපවාහිනී සංවාදය නැවත ආරම්භකළ බැවින් මම එයට යොමුවුනෙමි. මමත් රූපවාහිනියත් අතරින් කාර්යාලයට ප්‍රවේශය යෙදී තිබුණු බැවින් වරින් වර කාර්යාලයතුළට පැමිණෙන අය මට පෙනුනේය. ඒ අතර සමහරු මා කෙරෙහි විමසිලිමත් වන ආකාරයද දිස්විය. තවත් සමහරෙක් මදෙස බලා සිනහවකින්ද සංග්‍රහකළේය. ඔවුන්ට ප්‍රතිචාර දක්වමින් මම එතැනම සිටියෙමි.

“මේ... මහත්තය සී සී මිස් නම් ආවා..... ”යි මා ඇමතූ පිළිගැනීමේ නිලධාරිණිය පැවසුවාය.

“මේ .... මෙතැනින් ආයතන අංශයට යන්න..... ”යි මගේ චකිතය දුටු ඇය පැවසුවාය. එක අතකින් බෑගයද එල්ලා ගත් මම ආයතන අංශයට ඇතුළුවුනෙමි. පෙළට තබන ලද භාග කබඩ් පෙළක් මත තබන ලද මල් පෝච්චියකට උදෑසනම නෙලා ගෙනෙන ලද නිල් මනෙල් සහ ඕලු මල් දමමින් එක් නිලධාරිණියක් පසුවූවාය. මට ඉදිරියෙන්වූ බිත්තියෙහි සවිකරන ලද විශාල පුවරුවක මහ ජනයා දැනුවත් කිරීමේ උපදෙස් දක්වා තිබුනේය. තිර රෙදි දෙපසට කර විවිරකර තිබූ ජනේල සිහිත බිත්තියේ ඉහළින් විසිතුරු සිතුවම් යොදා අලංකාරකර තිබුණි. පැතලි තිරක් සහිත පරිගණකය ක්‍රියාත්මක කරමින් තවත් නිලධාරිණියක් සිටි අතර පැමිණීමේ ලේඛනයේ අත්සන් කිරීමට පැමිණි කිහිපදෙනෙක්ද එහි සිටියේය.

“වාඩිවෙන්න....” යි මා දෙස බැලූ ප්‍රධාන කළමනාකරණ සහකාරවරිය පැවසුවාය. ඇයගේ මේසයට ඉදිරියෙහි වූ අසුනෙහි මම අසුන් ගත්තෙමි. මා අත වූ පත්වීම් ලිපිය සහ කාර්යාලයට අනුයුක්ත කිරීමේ ලිපිය මම ඇයගේ අතෙහි තැබුවෙමි. මගේ ලිපි පරීක්‍ෂාකළ ඇය මට පොතෙහි අත්සන යොදා පැමිණීම සටහන් කරන ලෙස දැන්වූවාය. කාර්යාල සේවයේ නියුතු ඇය තවත් නිලධාරිණියකට ආමන්ත්‍රණයකොට මා වෙනුවෙන් සේවයට වාර්තා කිරීමේ ලිපියක් පරිගණකයෙන් සකසා දෙන ලෙසද දැන්වූවාය. මගේ නම සහ ලිපිනය විමසාගෙන ගිය ඇයද නොබෝ වේලාවකින් ලිපියක් සකස්කරගෙන ආවාය. උදෑසන 8.30 කණිසම වදිනවාත් සමඟම ජාතික ගීතයේ වාදනය ආරම්භවූ බැවින් අපි සියළු දෙනාම නැඟී සිටියෙමු.

“මහත්තය..... මේ ලියුමේ මෙතැනින් අත්සන් කරල අපේ ලේකම්තුමාට දෙන්න..... ”යි ජාතික ගී වාදනය අවසන්වූ පසු මා ඇමතූ ඇය කීවාය. ඒ අනුව නියමිත ස්ථානයේ මගේ අත්සන යොදා එම ලිපියද රැගෙන මම ලේකම්තුමාගේ නිල කාමරය වෙතට ගියෙමි.

කාර්යාලයට ඇතුළුවන ප්‍රධාන දොරටුවට වම් පත්තෙන් වු කාමරය ඔහුගේ නිල කාමරයවූවේය. වසා තිබුණු වීදුරු දොර අතරින් ඔහු යම් වැඩක නිරතව සිටිනු දුටු මම දොරට පිටතින් නතරවුනෙමි. මද වේලාවකින් හිස ඔසවා බැලූ ඔහු මාව ඇතුළට කැඳවීය. වසා තිබූ වීදුරු දොර අතින් තල්ලුකරමින් මම ඔහුගේ කාමරයට පිවිසුනෙමි. තරමක විශාල කාමරයක්වූ එහි ඉංග්‍රීසි එල් අකුරේ හැඩය ගත් මේසයක් ඔහුගේ රාජකාරී සඳහා යොදාගෙන තිබුණේය. කුඩා ප්‍රමාණයේ මල් පොකුරක් මේසයේ ඉදිරියෙන්ම තබා තිබුනේය. ඒ අසලම කුඩා ප්‍රමාණයේ ජාතික කොඩියකුත් ලිපි හා පෑන් බහාලනයකුත් විය. දෙපස වූ ලිපිගොණු බන්දේසියක් ලිපි ගොණු වලින් පිරීගොසින්ය. ඔහු එහිවූ ලිපි ගොණු එකින් එක ගෙන පරීක්‍ෂා කරමින් සිටියේය. ඔහුගේ මේසයේ එක් පසෙක පැතලි තිරයක් සහිත පරිගණකයක් විවිධ සිතුවම්වලට මාරු වෙමින් තිබුණේය. කාමරයේ එක් පසෙක තබා තිබූ නවීන පන්නයේ ඡායා පිටපත් යන්ත්‍රයෙන් ඡායා පිටපත් ගනිමින් සිටි නිලධාරියා ඇමතූ ඔහු ගොණුවකින් පරීක්‍ෂාකළ ලිපියක අත්සන යොදා එය ෆැක්ස් කරන ලෙස දැන්වූවේය.

“වාඩිවෙන්න....” යි මදෙස බැලූ ඔහු මට ඔහු ඉදිරියේ වූ අසුනක් පෙන්වීය. මම එතැනින් අසුන් ගත්තෙමි. පරීක්‍ෂාකරමින් සිටි ගොණුවක යම් සටහනක් යෙදූ ඔහු එය වසා මේසයේ අනෙක් පස වූ ලිපිගොණු බන්දේසියට දැමුවේය.

“ඉතින් මහත්මයා.... කියන්න.....” යි ඔහු මා පැමිණි කාරණය විමසීය. මම ඔහුට මගේ නව පත්වීමේ ලිපිය සමඟ අනෙකුත් ලිපි ඉදිරිපත් කලෙමි. ඒ සියල්ල එකින් එක පරීක්‍ෂාකළ ඔහු මගේ පත්වීමේ ලිපියේ සහ කාර්යාලයට අනුයුක්ත කිරීමේ ලිපි වල ඡායා පිටපත් දෙකක් ගෙන එහි සටහනක් යෙදුවේය. ලිපිවල මුල් පිටපත් දෙක පරිස්සම්කර තබාගන්නා ලෙසට උපදෙස් දෙමින් මා අතට දුන්නේය.

“පොතේ අත්සන් කළාද?.....” යි ඔහු මගෙන් විමසුවේය. මම පොත අත්සන් කළ බව ඔහුට පැවසුවෙමි. කාර්යාලයේ ආයතන කටයුතු විෂයභාර නිලාරිණිය කැඳවූ ඔහු දැනට පුරප්පාඩුවී ඇති විෂයක රාජකාරි මා වෙත පවරන ලෙසට උපදෙස් දුන්නේය. ඔහුගෙන් සමුගත් මම ආයතන විෂය භාර නිලධාරිණිය සමඟ පැමිණියෙමි. දැනට ආදායම් අංශයේ විෂයක් පුරප්පාඩුව ඇති බැවින් මට එහි රාජකාරී භාරගන්නා ලෙස ඇය උපදෙස් දුන්නීය. ඇය මා එම අංශය වෙත කැඳවාගෙන ගියාය. කොරිඩෝවක් දිගේ අඩි කිහිපයක් ගිය අපි ආදායම් අංශය වෙතට හැරුනෙමු.

කළු පැහති පසුබිමේ රත්තරං පාටින් සිතුවම් කරන ලද රුවල් නැවක සිතුවම මගේ සිත ගත්තේය. එයට ආලෝකය වැදීම නිසා දිදුලමින් තිබුනේය. එහි තවත් පැති බිත්තියක පැත්තෙන් පැත්තට වෙනස්වන ආකාරයේ දර්ශණයක සිතුවමක්ද එල්ලා තිබූ අතර අනෙක් බින්නියේ වූයේ මහජනතාව දැනුවත් කරන විශාල පුවරුවක්ය. අනෙක් අංශයන්ට වඩා වෙනස් ආකාරයට මෙහි මේස තබා තිබුනේය. සෑම මේසයක් ඉදිරිපිටම මහජනයා වෙනුවෙන් ආසනයක් තබා තිබුනේය. මම එහි ඇතුළු වන විට වරිපණම් ගෙවීම සඳහා පැමිණි කිහිපදෙනෙක් තම කටයුතු ඉටු කරගෙන පිටව ගියේය.

“මේ ඉන්නේ මේ අංශයට අළුතෙන් ආපු මහත්තය ඔන්න අඳුන ගන්න.....”යි මා කැඳවාගෙන පැමිණි නිලධාරිණිය අංශයේ අයට මම හඳුන්වා දුන්නාය. එහි සිටි සියළුම දෙනා සුහද සිනහවකින් මට සංග්‍රහ කලෙන් මමද ඔවුන්ට ප්‍රතිචාර දැක්වුවෙමි. ඉන් පසු හිස්වූ අසුනක් පෙන්වූ ඔවුන් මට සේවය කිරීමට ඇත්තේ එහි බවද පැවසීය. මා අත වූ බෑගය මේසය මතින් තැබූවෙමි.

“මල්ලී සභාපතිතුමාට කතා කලේ නැද්ද?.....” යි එහි වූ නිලධාරිණියක් මගෙන් විමසුවේය.

“නැහැ අක්කේ.....”යි මම ඇයට පිළිතුරු දුන්නෙමි.

“සභාපතිතුමා දැන් ආවා. මල්ලි ගිහිං කතා කරල එන්න.....”යි ඇය නැවත කීවාය. කාමරයෙන් පිටවූ මම කොරිඩෝව දිගේ සභාපතිවරයාගේ කාමරයට යන්නටවුනෙමි. දෙපස ඇති කාමරවල අංශයන් දැක්වෙන පුවරු එම කොරිඩෝවේ ඉහළින් එල්ලා තිබුණි. එම පුවරු සුළඟට සෙලවුනේ ඒ අසලින් යන කවුරුන්ට හෝ සේවය සැලසීම සඳහා ආරාධනා කරන්නා සේය. කොරිඩෝව දිගේ මම කෙළවරටම ගියෙමි. එක් පසෙකින් සභා ශාලාවද අනෙක් පසින් සභාපතිවරයාගේ නිල කාමරයද පිහිටා තිබුනේය. එම කාමර ඉදිරියෙන් බිත්තියේ ඉහළින් එල්ලා ප්‍රදර්ශනය කරමින් තිබුනේ මෙහි පෙර සේවය කරන ලද සභාපති වරුන්ගේ ඡායා රූපයන්ය. මගේ වම් අත පැත්තට වූ සභාපති වරයාගේ නිල කාමරය දෙසට මම හැරුනෙමි. වීදුරු දොර තුළින් මම ඇතුළත බලන විට සභාපතිවරයා මා ඇතුළට කැඳවීය. මම වීදුරු දොර තල්ලුකරගෙන ඇතුළට ගියෙමි. කාමරයතුළ බිමට එලන ලද බුමුතුරුණුවලින් හා බිත්ති විනිවිද පෙනෙන තිර රෙදිවලින් අලංකාර කර තිබුණි. සභාපතිවරයාගේ මේසය දෙපසින් තබන ලද තරමක් උසැති එකම ආකාරයේ තට්ටු කිහිපයකින් යුතු අල්මාරි දෙකකි. එහි එකකට වීදුරු ආවරණයක් සකසා තිබූ අතර එය මෙම සභාව විවිධ තරඟවලින් දිනා ගන්නා ලද විවිධ ප්‍රමාණයේ කුසලානයන්ගෙන් පිරී තිබුණි. තවත් කුසලාන තැබීමට එහි ඉඩක් මට නොපෙනුනි. අනෙක් පස වූ අල්මාරියේ ඉහළින් වත්මන් සභාපත්ිතුමා සහ වත්මන් ජනාධිපතිවරයා එකට සිට ගන්නා ලද රාමුකරන ලද ඡායාරූපයක් තිබුණු අතර එහි පහළින් විවිධ ඡායාරූප තැන්පත්කර තිබුණි. කාමරයේ එක් පසෙක සුව පහසු ආසන කට්ටලයක් මෙන්ම මහ ජනතාව හෝ වෙනත් අය පැමිණි විට අසුන් ගැනීම සඳහා තවත් ආසනද පනවා තිබුණි. මට වාඩිවීම සඳහා ආසනයක් පෙන්වූ ඔහු මම වාඩි වූ පසු මගේ පැමිණි කාරණය විමසුවේය.

මම අද දිනයේ සිට මෙම කාර්යාලයේ සෙවයට පැමිණි බව ඔහුට පැවසුවෙමි. අතට අත දී ඉතාමත් සුහද ලෙස මා පිළිගත් ඔහු මගේන් තව තවත් තොරතුරු විමසුවේය. ඒ අවස්ථාවේ සභාපතිතුමාගේ කාමරයට ඇතුළුවූ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද මා හඳුන්වා දුන් පසු මම මගේ මේසය වෙතට පැමිණියෙමි. ඒ එන අතරද කාර්යාලයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුද මට හඳුනාගත හැකිවිය. මම මට වෙන්කරන ලද මේසයට පැමිණෙන විට මගේ රාජකාරී ලැයිස්තුවද සපයා තිබුණි. එහි පිටපතක අත්සන යොදා මුල් පිටපත භාරගත් මම මට සේවය කළයුතු ලිපි ගොණු හඳුනා ගත්තෙමි.

ඔරලෝසුවේ නාද වූ කණිසම සිතින් ගණන්කළ මම රාත්‍රී එකොළයි තිහ වැදුනු බව දැන ගතිමි. හෙට පාන්දරම නැවත සේවයට යා යුතුය. බෝඩිමේ අය පමණක් නොව මා සිතන අයුරින් මේ මොහොතේ අවදිව සිටින්නේ ඉතා සුළු පිරිසක් විය හැකිය. නෙතට නින්ද අවශ්‍ය බව පවසමින් වරින් වර කිරාවැටෙන්නට විය. දින පොතේ පිටු කිහිපයක්ම පිරී තිබුනේ අද දිනයේ සිදුවූ සියළු සිදුවීම මගේ දිවියේ වැදගත්කමක් ඉසිලූ නිසාය. දින පොතතුළට පෑන දැමූ මම දින පොත බෑගයට දමා නින්දට ගියෙමි.

Friday 12 November 2010

බලාපොරොත්තුව........

යතුරු පැදිය මතට නැගී
රූං ගාලා පියෑඹුවා
මං එනකං
කෙලි පොඩිත්ත
බලාන ඇති
පුංචි පැලේ.........

දහස් ගණන්
රස සිතුවිලි
තෙරපෙන විට
ළය මැද්දේ..
ගත වූයේ නිමේෂයකි
මම දැන්
රෝහල ඇතුළේ........

Thursday 11 November 2010

පිපාසය (කෙටි කතාව)

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මම කාර්යාල කාර්ය සහයකයෙක් වශයෙන් ටික කාලයක් සේවය කළෙමි. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපය අතරින් එකක් වූ මෙය බළන්ගොඩ නගරයට තරමක් නුදුරු අළුත්නුවර නම් ග්‍රාමයේ පිහිටා තිබුනේය.

මෙම ප්‍රදේශයට තිබුණු ප්‍රධානම දුෂ්කරතාවය ජල සම්පතයි. සමහර ඉඩම්වල අඩි හැටක් හැත්තෑවක් පමණ ගැඹුරු ළිං කපා තිබුණද යන්තම් ඉඩෝරයකට පවා ඒවා සිඳී ගියේය. ඉඩෝරය තදින්ම ප්‍රදේශයට බලපාන විට වතුර රැඳී තිබුණේ මුළු ගමටම ස්වල්ප ස්ථාන කිහිපයක පමණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති ළිඳද එබඳුම එක් ස්ථානයකි. එහි ජලය බොහෝවිට සාමාන්‍ය ග්‍රීෂ්ම කාලවලවල සිඳී නොගියේය. අවුරුදු කිහිපයකට වරක් එළැඹෙන දරුණුම නියඟයකදී මෙම ළිඳෙහි වතුර බාල්දියක ආධාරයෙන් ගැනීමට පමණක් වන සේ අඩුවී ගියේය. සාමාන්‍යයෙන් මෙහි වතුර ගනු ලබන්නේ විදුලි මෝටරයක ආධාරයෙන්ය. කාර්යාල භූමියේ ඉහළක තනා ඇති ටැංකියකට මෙම මෝටරයෙන් ජලය ගෙන යයි. එතැන් සිට එලා ඇති ජල නළ පද්ධතියක් මඟින් සම්පූර්ණ කාර්යාල භූමියම ආවරණය වන පරිදි ජල සැපයුම සකස්කර ඇත.

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබුණද මෙම කාර්යාල භූමිය ඇත්තටම සුන්දරය. වර්ෂයේ එක් කාලයක ග්‍රීෂ්මය උදාවීමෙන් පීඩාවකට පත්වුවද අනෙක් කාලය පුරාවට සුන්දරත්වයෙන් අඩුවක් නොවුනේය. කාර්යාලයට ඇතුළුවන ගේට්ටුව අසලට පැමිණ කාර්යාලයට ඉහලින් බලන විට එයට පසුබිමින් හාගල සහ පරෙයියන්ගල කඳුවැටියේ රමණීය දර්ශණයක් දැකගත හැකිය. කාර්යාලය ඉදිරියෙන් කාර්යාලය දෙසට මුහුණ ලා වැඩ සිටින නිසසල බුදු රුවට සිසිලස සැලසීමට කාර්යාල භූමියේ පෙළින් පෙළට සිටුවා ඇති විවිධ ශාඛ වර්ග නිතැතින්ම ඔබගේද දාහය නිවාලනු නොඅනුමානය. කාර්යාලයේ ඉදිරියෙන්ම මිදුලෙහි සිටුවා ඇති අඹ ගසේ ඵල රස විඳීමට පුරුදුව සිටින අහිංසක සතුන් එහි සුන්දර බව තවත් සුන්දර කරන්නේය. කාර්යාලයේ පිටුපසින් පෙළට සිටුවා ඇති කටු අනෝදා ගස් පෙළ වර්ෂයේ සෑම දිනයකම ඵලබරවී තිබීම සැබවින්ම අරුමයක්මය. එහි රස විඳීමට පැමිණෙන කුරුළු වර්ග අපමණය.

කාර්යාලයේ ඉදිරියේ තනා ඇති වෘත්තාකාර පොකුණ නිතරම ජලයෙන් පිරී පැවතුණේය. සෑම දිනකම එහි නිල් මහනෙල් මල් පපී සුවඳ හැමුවේය. මෙම ජල පොකුණ සතුන්ට පාරාදීසයක් විය. කාර්යාලය ඉදිරියට වී අවට සිරි නරඹන්නෙකුට මෙම පොකුණෙහි ජල ක්‍රීඩා කරන විවිධ කුරුල්ලන් දැකගත හැකිය. ප්‍රදේශයේ ජල හිඟය උග්‍රවන විට අනෙක් සිවුපාවුන්ද මෙම පොකුණෙන් ජල පානයට පැමිණෙන්නේය.

සතියේ වැඩකරන දිනවලදී කාර්යාල වේලාව තුළ ගේට්ටුව විවෘතව තබන්නේය. එම වේලාව තුළ මෙම පොකුණෙන් ජලය පානය කිරීම සඳහා පැමිණීමට ප්‍රදේශයේ ගව රැළක්ද පුරුදුව සිටියේය. මෙම ගව රැළ ගවයින් හැත්තෑපහක පමණ ප්‍රමාණයකින් යුක්තය. මෙම ගවයින් රාත්‍රිය ගත කරන්නේ උග්ගල් අළුත්නුවර කතරගම දේවාල භූමියේය. බිම් කළුවර පහව යමින් යන්තම් ආලෝකය මෝදුවත්ම නැඟී සිටින මෙම ගව රැළ එක රැළට ගම පුරා ඇවිදීම ආරම්භ කරන්නේය. හදිසියේවත් මෙම ගව රැළට පිටුපසින් ප්‍රධාන මාර්ගයට යාමට සිදුවුවහොත් ඒ ගව රැළ පසුකරගෙන යාම නම් සිහිනයක්ම වන්නේය. මෙසේ ගම වටේ යන මෙම ගවයින් ටික ටික දහවල් වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේය. ඒ රාජකාරී කටයුත්තක් ඉටුකර ගැනීමට නම් නොවේ. එය හුදෙක්ම උන්ගේ පිපාසය සන්සිඳවා ගැනීමටය.

එකා දෙන්නා බැගින් කාර්යාලය ඉදිරි පිට ඇති පොකුණට පැමිණෙන මෙම ගවයින් විනාඩි කිහිපයක් යනතුරුම හිස ඔසොවන්නේ නැත. ඇතිවෙන්නට වතුර බොන උන් ඉන් පසු කාර්යාල භූමියේ තැන තැන වැතිර විඩා නිවාගන්නටද පුරුදුව සිටියේය. වැසිකිළි යාමට පුරුදුවී නොමැති මෙම ගවයින් කාර්යාල භූමියේ තැනින් තැන තම ශරීර කෘත්‍ය කිරීම කාර්යාල භූමිය ශුද්ධ පවිත්‍ර කරන කම්කරුවන්ට නම් පුදුම වදයක්විය. සේවය සඳහා කාර්යාලයට පැමිණෙන සමහර නිලධාරීන් තම යතුරු පැදි කාර්යාල මිදුලෙහි වූ ගස් සෙවනෙහි නතර කිරීමද සිරිතක්ය. සමහර ගවයින් මෙම යතුරු පැදිවල ඇති රබර් මිශ්‍රිත කොටස් සපා කෑම කරති. තවත් සමහරෙක් එම යතුරු පැදිවල තම ගෙළ අතුල්ලති. එක් ආධාරකයක් මත රඳවා ඇති මෙම යතුරු පැදි මෙම ක්‍රියාවලියේදී බොහෝ අවස්ථාවල පෙරැළී යන්නේය.

සමහර දිනවල සේවය නිමා වී නිවෙසට යාම සඳහා යතුරු පැදිය ගැනීමට කාර්යාලය ඉදිරියට පැමිණෙන විට යතුරු පැදිය පෙරැළී එහි යම් යම් කොටස් කැඩීගොසින්ය. තවත් විටෙක එහි ටැංකියේ තිබූ ඉන්ධනද කාන්දුවී ගොසින්ය. හදිසියේ ප්‍රාදේශීය ලේකම්තුමාට කාර්යාලයෙන් පිටව යාමට සිදුවුවහොත් තැන තැන ලැග සිටින ගවයින් මඟහරවමින් නිල රථය මාවතට ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ අවස්ථා එමටය. කාර්යාල භූමියට ගවයන්ගේ පැමිණීම මේ නිසා විශාල ගැටළුවක් බවට පත් විය.

“අයාලේ යන ගවයින් කාර්යාල භූමියට පැමිණෙත බැවින් ගේට්ටුව වසා යාමට කාරුණික වන්න” යනුවෙන් සටහන් කරන ලද පුවරුවක් ගේට්ටුවේ එල්ලා කාර්යාල වේලාව තුළද ගේට්ටුව වසා තැබීමට ප්‍රාදේශීය ලේකම්තුමා පියවර ගත්තේය. පසු කලෙක මෙම ගේට්ටුවේ පියන් දෙකෙන් එක් පියනක භාගයක් පමණක් විවෘතකර පුද්ගයයෙක්ට පමණක් ඇතුළුවීමට හැකිවන පරිදි සකස්කලේය. සිව්පා සතුන්ට වතුර බීමට හැකිවන පරිදි කුඩා ප්‍රමාණයේ නව පොකුණක් කාර්යාලයේ ගේට්ටුව අසලින් ඉදි කළේය.

එක කාලයක කාර්යාලයේ මුර සේවයේ යෙදී සිටි මුරකරුගේ අක්‍රමිකතාවයක් නිසා ඔහුගේ සේවය අත්හිටෙවූවේය. මුර සේවයේ ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් නව බඳවා ගැනීමක් සිදුවන තෙක් කණිෂ්ඨ සේවක නිලධාරීන් වන අපව සතියෙන් සතියට මුර රාජකාරී ආවරණය සඳහා යොදවන ලදී.

එක් දිනෙක මම රාත්‍රී මුර සේවයේ රාජකාරී ආවරණය සඳහා කාර්යාලයට පැමිණියෙමි. මා සේවයට පැමිණෙන විට අනෙක් සියළුම නිලධාරී මහත්ම මහත්මීන් තම තමන්ගේ සේවාවන් නිමා කර ගොසින්ය. යතුරේ රාජකාරී කටයුතු ඉටු කරන නිලධාරියා මා සේවයට පැමිණෙනතෙක් කාර්යාල භූමියේ රැඳී සිටියයුතුවූ බැවින් ඔහු පමණක් මා එනතුරු මඟ බලමින් නොඉවසිල්ලෙන් සිටියේය. කාර්යාල භූමියට පැමිණි මා පැමිණීමේ ලේඛණයේ මගේ පැමිණීම සටහන් කලෙමි. ඉන් පසු කාර්යාලයේ සියළු දොර ජනේල නිසි පරිදි අගුළු ලා වසා ඇතිදැයි පරීක්‍ෂා කරමින් කාර්යාලය වටේට රවුමක් ගියෙමි. කාර්යාල භූමියේ ඇති විශේෂ දේවල් පිළිබඳවද විමසිලිමත් වුනෙමි. මගේ එම මූලික පරීක්‍ෂාවන් සිදුකරන තෙක් යතුරේ රාජකාරී ආවරණය කරමින් මා පැඹිණෙන තෙක් රැඳී සිටින නිලධාරියා අනිවාර්යයෙන්ම සිටිය යුතුය. මම සියල්ල පරීක්‍ෂාකර බලා භාරගත් විට ඔහුට කාර්යාලභූමියෙන් පිටවීමට හැකිය. ඔහු පිටව ගිය පසු මම මුර කුටියටවී මුර කරුගේ සටහන් පොත සම්පූර්ණ කරමින් සිටියෙමි. නිකම්ම සිටින විට ඇතිවන කම්මැලි කම මඟහැරීම සඳහා මම පොත් කියවීමි. සමහර දිනවල මම චිත්‍ර ඇන්දෙමි.

මෙදිනද මම නව කතා පොතක් කියවමින් සිටියෙමි. රාත්‍රිය උදාවීමට ඉඩ සලසමින් හිරු අවරගිරෙන් බැස යමින් තිබුණේය. සඳ මෝදුවී නොතිබුණද මෙම වේලාවේ තරමක ආලෝකයක් පැවතුණේය. ගේට්ටුව අසලින් කිසියම් ශබ්ධයක් ඇසුණු නමුත් එය නොසලකා මම පොත කියෙව්වෙමි.

“පාරේ යන කෙනෙක් වෙන්න ඇති.....”යි මම පොත කියවන අතරම සිතුවෙමි. පොතෙහි පේළි කිහිපයක් මම කියවන්නට ඇත. පෙර ශබ්ධය නැවතත් ඇසුණේය.

“ඩක්..... ටක්..... ටක්.....ඩක්....”

“මොකක්ද දන්නෑ ඒ සද්දෙ.....”යි සිතූ මම පොත වසා මේසය මත තිබෙද්දී මුර කුටිය ඉදිරිපිටට පැමිණ ගේට්ටුව දෙස බැලුවෙමි.

“මේ හරක් රංචුවක්නේ....” යැයි මටම කියාගත් මම කාමරය ඇතුළට යන්නට සැරසුනෙමි.

“ඩක්..... ඩක්ස්..... ඩක්..... ඩක්....” වඩා තදින් ගේටුටුව අසලින් ඇසුණු මෙම හඬ නිසා මම නැවතත් ඒ හඩ නැගෙන්නේ කෙසේදැයි බැලුවෙමි. ගේට්ටුව සමීපයටම පැමිණ සිටි ගවයෙක් උගේ එක් පාදයකින් බිමට ගැසීම නිසා මෙම හඬ නැගෙන බව මට පෙනුනේය. මම එදෙස බලනවිට උගේ ඒ ක්‍රියාව නතර වෙයි. මම ඉවත බලා සිටින විට ඌ නැවතත් ශබ්ධ නගයි.

“මේ වෙලාවේදී මුන්ගෙන් ඇති වදයක් .....” යැයි සිතමින් මම කුටිය තුළට යාමට සැරසුනෙමි. මා ආපසු හැරෙත්ම අර ශබ්ධය නැවතත් ඇසුණේය.

“ඩක්.....ඩක්.....ඩක්.....ඩක්....”

“මුන් ටික එළවල දාන්න ඕනි.....” සිතූ මම මුර කුටියේ සිට ගේට්ටුව දක්වා ඉදිරියට ගමන් කලෙමි. අඩි හප්පමින් ගමන් කලෙමි. වේගයෙන් ගමන්කලෙමි. මම මිදුලට බසින විට ශබ්ධකළ ගවයා උගේ හිස හරවා මා දෙස බලා සිටියේය. මම සිතුවේ මා හයියෙන් හයියෙන් ඉදිරියට යන විට උන් බයවී ආපසු යයි කියාය. එය එසේ සිදු නොවුනේය. මගේ මුහුණ දෙසම බලා සිටි ගවයාගේ දෑසට මගේ දෑස යොමු විය. උගේ දෙකන් මා වෙතටම යොමුවී තිබුණේය. ඌ මා දෙස බලාගෙනම උගේ දිවගින් නාසය කිහිප වරක්ම ලෙවකෑවේය. උගේ දෑසෙහි පතුලේම වූ අසරණ බවක් මගේ ඇසට පෙනුනේය. අනෙක් ගවයින්ද ඉවතට යනවා වෙනුවට ගේට්ටුව අසලටමවී සිටියේය.

“මුන්ට වතුර තිබහ වෙලාවත්ද? .....” යි සිතූ මම තව තවත් ඉදිරියට ගියෙමි. මුලින්ම සිටි ගවයා මා දෙසම බලාගෙන සිටියේය. ගේට්ටුව අසලටම ගිය මට ආපසු හැරී ඒමට නොහැකි විය. ගේට්ටුව අරිනවා හැර වෙනත් කළ යුතු දෙයක්ද නැතිවිය.

“මුන් වත්ත පුරාම ගියත් කමක් නැහැ..... ගේට්ටුව අරින්න ඕනි බලන්න .....”යි සිතූ මම මගේ අත ගේට්ටුවේ කොක්ක මතින් තැබුවෙමි. මම ගේට්ටු කොක්ක ඔසවන විට මගේ අත දෙසට ගවයා හිස හරවමින් බැලුවේය. එය හරියට කිරි ඉල්ලා හඩන දරුවෙක්ට කිරි වීදුරුවක් දෙන විට එම කිරි වීදුරුව දෙසම බලන බැල්මක් බඳුවිය. මම සෙමෙන් සෙමෙන් ගේට්ටුව විවර කළෙමි. පාදයක් බිමට අනිමින් ශබ්ධ කරමින් සිටි ගවයා මුලින්ම කාර්යාල භූමියට ඇතුල්වුනේය. මම ඌ දෙස බලා සිටියෙමි. ඌ කෙළින්ම ගියේ පොකුණ අසලටය. මගේ හද පත්ලෙන්ම මතුවී ආ කම්පණය සුසුමක් විය.

“දෙයියනේ මුන්ට හොඳටම වතුර පිපාසේ තිබිල.....මං මුන්ව එළෙව්වනං..... උන් කොහෙන් වතුර ඩිංගක් බොන්නද?.....” නෙතඟෙහිවූ කඳුළ පිසලමින් මම කල්පනා කළෙමි. මුලින් පැමිණි ගවයාව අනුකරණය කරමින් අනෙක් ගවයින් සියළුම දෙනාද පොකුණ අසලට රොක්වුනේය. විනාඩි කිහිපයක්ම එක දිගටම පොකූණතුළට හොම්බ දමාගෙන වතුර බොන උන් ඉඳ හිට හෝ හිස ඔසොවන්නේ කොන්දෙහි වසන මැස්සන් පලවා හැරීමටය. පිපාසය සංසිඳෙනතුරු කුස පිරෙන්නට ජලපානය කරන ගවයෙක් තම පසුපෙළෙහිවූ ගවයෙක්ට ඉඩ දෙමින් මඳක් ඉවතට යන්නේය. ඌ පසෙකටවී උගේ ඇඟ ලෙවකමින් සිටින අයුරු මම බලා සිටියෙමි.

“මුන් වත්ත පුරාම දුවයිද දන්නේ නෑ .....”යි සිතමින් මම කිසියම් බයකින්ද පෙළුනෙමි. මුන් ටික වත්ත පුරා දිව ගියහොත් තනි මට උන් එළවා දැමීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවෙන බව මට සිහි විය. මම ගේට්ටුව විවර කර මුන්ටික ගේට්ටුව ඇතුළට ගැනීම පිළිබඳවද කල්පනා කළෙමි.

“නැත..... මෙහි වරදක් නැත.... මම කරන ලද්දේ පිපාසයෙන් පෙළෙන අහිංසක ගව රැළකට උන්ගේ පිපාසය සංසිඳවා ගැනීමය උපකාරයකි..... එනිසා මගේ වරදක් නැත....” මෙසේ කල්පනා කරමින් මම ගේට්ටුවද හැර දමා මුර කුටියේ ඉදිරිපසටම වී ගව රැළගේ හැසිරීමද නිරීක්‍ෂණය කරමින් සිටියෙමි.

මුලින්ම වතුර බීමට පැමිණි ගවයා සෙමෙන් සෙමෙන් ගේට්ටුව දෙසට ගියේ මම පුදුමයට පත් කරවමින්ය. ගේට්ටුව අසලටම ගිය ඌ ආපසු ගව රැළ දෙස බලා මා දෙසට හැරී ටික වේලාවක් බලා සිටියේය. එය හරියට මට ස්තූති කිරීමක් වැනියැයි මම සිතුවෙමි. ගේට්ටුවෙන් එළියට ගිය ඌ මඳ වේලාවක් එසේ සිට නැවතද සෙමෙන් සෙමෙන් පාර දිගේ යන්නට ගියේය. ඌ එම ගව රැලේ නායකයාවත්දැයි මම කල්පනා කලෙමි. ඌ ගේට්ටුවෙන් එළියට ගිය පසු වතුර බී අවසන්කරන සෑම ගවයෙක්ම සෙමෙන් සෙමෙන් පිටවී ගියේය.

උන් සියළු දෙනාම පිපාසය සංසිදෙනතුරු වතුර බී පිටත්ව ගිය පසු මම ගේට්ටු පියන වසා ඊට කොක්ක දැමුවෙමි. සතෙකුගේ පවා අවශ්‍යතාවය තේරුම් ගැනීමට හැකිවීම පිළිබඳව මම සැබවින්ම ආඩම්බරවූවෙමි.

මම එනවා පිටුපස්සෙන්..........

උදයටත් දකින්නෙමි
සවසටත් දකින්නෙමි
ඒ අතර කාලයේ
වරින් වර
දකින්නෙමි...........

නා දල්ලේ පාට වැටුනු
සිහින් දෙතොල්
එහෙට මෙහෙට
සොලව සොලව
මගෙ සවනට
වදන් ගෙනෙන
සිහින් සිරුරැති පුංචි
යුවතිය........

සාරියකින්
ගත සැරසී
තාලයකට
නැලවි නැලවි
ඔබ යන විට
ඉදිරිපසින්

මම එනවා
ඔබට හොරෙන්
ඔබෙ ගමනේ
සිරි විඳිමින්


නැතිවූ යතුර (කෙටි කතාව)

සීමා සහිත ජනතා සන්තක ප්‍රවාහන සේවා සමාගමකට අයත් බළන්ගොඩ ඩිපෝවේ පුහුණුවන ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පියෙක් වශයෙන් සේවය කළ මම සවස 5.00 ට පමණ සේවය නිමාකළෙමි. මිරිස්වත්තේ පිහිටි ඩිපෝවේ සිට බළන්ගොඩ බස් නැවතුම්පළ දක්වා පැමිණි බසයක නැගී මම බස් නැවතුම්පළට පැමිණියෙමි.

බස් නැවතුම්පලේ සිට ඌව තැන්න දක්වා ධාවනය වන බස් රථය සවස 5.15 ට ගමනාරම්භ කිරීමට නියමිතව තිබුණද ඩිපෝවේ සේවය නිමාකර පැමිණෙන කිහිප දෙනෙක්ම පැමිණීමට සිටි බැවින් ඔවුන් පැමිණෙනතුරු විනාඩි කිහිපයක් සිටියේය. බසයට ගොඩවුණු මම එහි මධ්‍යයට ගියෙමි. මා පැමිණෙනවිට රථයේ අසුන් සියල්ලම මගීන්ගෙන් පිරීගොස් තිබුනේය. මම අසුන් දෙකක ඇඳි දෙඅතින් අල්ලාගෙන සමබරවූයෙමි. බස් රථය සෙමෙන් සෙමෙන් බස් නැවතුමෙන් මාවතට ගනිමින් තිබුනේය. බස් නැවතුමේ කොහේදෝ කෙළවරක සිට දිව ආ වයස අවුරුදු දහයක පමණ වයසැති කුඩා ළමයෙක් කිසිදු අවදානමක් පිළිබඳ නොසිතා මාවතට ගනිමින් තිබූ බසයට ගොඩවුනේය. ඔහුගේ දෑතෙහිම තරමක් දුරට පිරීගිය මළු දෙකක් විය. පිටුපසින් ඔහු බසයට ගොඩවනු දුටුවද එම සිද්ධිය එසැනින් මසිතින් ගිලිහුනේ මාවතෙහි වූ වෙනත් දේවල් කෙරෙහි මගේ අවධානය යොමුවූ බැවිනි.

මාවතට ගත් බසය වෙිගය වැඩි කරමින් ඉදිරියට ඇදී ගියේය. මමද මඟ විසිතුරු නරඹමින් සිටියෙමි. එක පාරටම මාව පසෙකට තල්ලුකරමින් කිසිවකු ඉදිරියට යනු දැණුනු බැවින් සමබරතාවය අනපේක්‍ෂිත ලෙෂ බිඳී යාම නිසා කෝපවූ මම එදෙසට හැරී බැලුවෙමි.

“කවුද මේ තල්ලු කරන්නෙ....” යි මම කෝපය මැඩ ගනිමින් කිවෙමි. මුහුණ පුරා නාවර පෙරාගත් වසය අවුරුදු දහයක් පමණ වූ කුඩා ළමයා දෑතින්ම බෑග් දෙකත් රැගෙන තල්ලූවී ඇවිත් මාවද තල්ලුකරමින් ගොස් ඉදිරියේවූ අසුනක ඇන්දක එල්ලී නතරවිය. ඔහු දෙස බැලූවන්ට කිසිදු ප්‍රසන්න භාවයක් ඇති නොවුනේ ඔහුගේ අපිරිසිදු භාවය නිසාය. ඔහු හැඳ සිටි තැනින් තැන ඉරී ගිය කොළ පැහැති ටී ෂර්ටය කූණු ගෑවීම නිසාම දුර්වර්ණව පෙනුනේය. නිල් පැහැති පාසැල්යාම සඳහා ඇඳීමට ගන්නා ලද කොට කලිසමද එයට වඩා දුර්වර්ණය. දින කිහිපයක සිට මුහුණ සෝදා නොතිබූ අතර අත් පා ද එලෙසම කිළිටි වී තිබුණේය.

අසුනෙහි ඇන්ද අල්ලාගෙන සිටි ඔහු තම දෙපා අසල තබාගෙන සිටි බෑගයන් කෙළින් තබා ගැනීමට වරින් වර බොහෝ උත්සාහයක යෙදුනේය. රථය වංගුවකින් හැරෙන විට ඇතිවන වේගයේ අඩු වැඩිවීම නිසා ඔහුගේ බෑගයන් බිම පෙරළී විසිවී ගියේය. එවිට ඔහු පහත්වී එම බෑගයන් ළඟට ගෙන කෙළින් තබාගන්නේය. එම බෑගයන් අතින් මුදාහල විට නැවතත් පෙරළි යන්නේය. ඔහු බසයෙන් බසිනතුරුම මෙසේ වූ අතර ළඟ සිටි කාන්තාව මුහුණ ඉවතට හරවාගෙන සිටියා විනා ළමයා දෙස හොරැහින්වත් නොබැලුවේය. සමහරවිට සිටගෙන සිටි මට වඩා ඇයට ළමයාගෙන් ගන්ධයක් වහනය වූවාද විය හැකිය.

විනාඩි පහළොවක පමණ කාලයක් ගෙවා දමමින් රථය තුඹගොඩ බස් නැවතුමට පැමිණියේය. බසය නතරකළ සැණින් බෑග් දෙක අතට ගත් ළමයා මිටින් හළ කුරුල්ලෙක් මෙන් රථයේ ඉදිරි දොරටුවෙන් බැස ගියේය. ඔහු බස් නැවතුමේ කෙළවරකට ගොස් බෑග් දෙක තබනයුරු මම බලා සිටියෙමි. කමීසයේ සාක්කුව අතගා බැලූවෙය. ඇඳ සිටි කලිසමේ සාක්කුවකට අත දැමූ ඔහු එහිවූ පොඩිවී ගිය ලේන්සුවක් ද ගසා බලා නැවතත් සාක්කුවට දමා ගත්තේය. ඉන් පසු අනෙක් සාක්කුවටද අත දමා එය එළියටම ඇද බැලුවේය. නැවතත් කල බලයෙන් මෙන් අනෙක් සාක්කුවද බැලුවේය. බෑග් දෙක විවිරකළ ඔහු ඒවාද අවුස්සා බැලුවේය. බෑග් දෙක එතැනම තිබියදී බසයේ පිටුපස දොර අසලට ඔහු දිව ආවත් මගීන් කිහිප දෙනෙක්ම බසයට ගොඩවෙමින් තිබුණු බැවින් ඔහුට එහි ගොඩවීමට නොහැකිවිය. ඔහු නැවතත් තම බෑගයන් වෙත ගොස් ඒවා අවුස්සන්නටවූවේය. ඔහු සොයන්නේ කුමක්දැයි සිතූ මම බසය තුළ ඔහු සිටි තැන බිම බැලූවෙමි මටද එහි එකවරම කිසිවක් නොපෙනුනේය. මම එදෙස පරීක්‍ෂාවෙන් බලා සිටියෙමි. මඟීන් කිහිප දෙනා එහාට මෙහාට යන විට ඔවුන්ගේ පාදයන්හි ගැටෙමින් එහෙට මෙහෙට ඇදී යන කළු පැහැති පැතලි යමක් මා නෙත ගැටුණි.

“ය...තු...ර....ක්....” මොහොතක් බලා සිටි මම එය හඳුනා ගත්තෙමි. මම වහා දරුවා දෙස බැලුවෙමි. බසය මාවතට ගනිමින් තිබුනේය. මම කවුළුව තුළින් ඔහු දෙස බැලුවෙමි.

“අඬ අඬා බස් එක පස්සෙන් දුවනව නේද....” යි මටම සිනුණි. සැබවින්ම ඔහු ටික දුරක් බසය පස්සෙන් දිව ආවේය. බසයේ වේගය වැඩිවුනේය.

“ අනේ අර දරුවෙක් බස් එක පස්සේ දුවගෙන එනවා නේද?....” යි පැවසීමට පවා කිසිවෙක් එම ළමයා කෙරේ අවධානයකින් පසු නොවුණි. එසේ දරුවා හඩන්නේ මන්දැයි විමසීමට පවා කෙනෙකු ඉදිරිපත් නොවීම කොතරම් අභාග්‍යයක්දැයි මම කල්පනා කලෙමි.

“මේ යතුර දරුවාගේ නිවසට ඇති එකම යතුර වෙන්නඇති....” යි මම මටම කීවෙමි. බසය මාවත දිගේ ඉදිරියටම ඇදී යයි. වෙන කළ යුතු කිසිම දෙයක් නැත. මම ඉක්මණින් යතුර අහුලා ගතිමි. ඉක්මණින් රථයේ ඉදිරි දොරටුව වෙතට ගියෙමි. රථය නතරකරනු ලබන ඊළඟ නැවතුමද පසුවිය.

“අයියේ... පොඩ්ඩක් මාව දාල යන්න....” යි මම රියදුරු අමතා කීවෙමි. මදෙස බැලූ ඔහු බසය නතරකලේ විශ්මයාර්ථයක් මුහුණට ආදේශ කරගනිමිනි. ඒ මම වෙනත් දිනවල එම ස්ථානායෙන් නොබැසීමවිය හැකිය. උදාවී ඇති තත්ත්වය ඔහුට පැහැදිලි කිරීමට වේලාවක් නොවීය. කුඩා ළමයා වෙනත් කොහේට හෝ ගිය හොත් මගේ මහන්සිය අපතේ යන්නේය. රථයේ වේගය අඩු වෙත්ම මම පැන ගතිමි.

“පොඩි එකාව ඉන්නවද දන්නෙත් නැහැ....”යි සිතමින් මම යුහුසුළු ගමණින් තුඹගොඩ බස් නැවතුම දෙසට එන්නටවුනෙමි. මගේ කලබලය නිසා මම මඟදී හමුවන කිහිප දෙනෙකුගේ ඇඟේද හැප්පෙන්නටගියේය. ඔවුන්ගෙන් සමාව අයැදීමට පවා මට වේලාවක් නොතිබුණි. සමහරු නොරුස්සනා බැල්මක්ද හෙලනු මම දුටුවෙමි. කිරිඳගල පල්ලිය අසල සිට තුඹගොඩ බස් නැවතුමට සැතපුම් කාලක පමණ දුරක් ඇත. මම විනාඩි කිහිපයක් ඇතුළත එම දුර ගෙවාගෙන පැමිණියෙමි. බස් නැවතුමට පැමිණෙන ගමන්ම මම කුඩා ළමයා සිටී දැයි ඈත සිටම විමසිලිමත් වුනෙමි. ඔහු පෙර සිටි ස්ථානයේ පෙනෙන්නට නොසිටියේය. මගේ උත්සාහය අසාර්ථකදැයි මම කල්පනා කළෙමි. මම බස්නැවතුමටම පැමිණියෙමි.

“අර දැන් පොඩ්ඩකට කලින් මෙතන නවත්වල ගිය බස් එකෙන් බැහැපු පොඩි ළමය කොයි පැත්තටද ගියේ.......”යැයි මම බස්රථයක් එනතුරු එහි රැඳී සිටි මගියෙකු අසලට ගොස් විමසුවෙමි. මා බසයතුළ සිට ළමයාගේ ක්‍රීයාවන් නීරීක්‍ෂණය කරද්දී ඔහුද එහි සිටිනු මම දැක තිබුණෙමි.

“අර බෑග් දෙකුත් අත්දෙකෙන් එල්ලගෙන හිටිය ළමයනේද?....” යි ඔහු මගෙන් විමසුවේය.

“ඔව්.....ඔව්.....එයා තමයි...” යි මම දැඩි උනන්දුවෙන් යුතුව කීවෙමි.

“මහිතේ එයා බොහෝම අමාරුවෙන් වගේ මෙන්න මේ පැත්තට ගියා..... වැඩි දුරක් යන්න නම් නැහැ....”යි පැවසු ඔහුද බස් නැවතුමට පැමිණි බසයකට නැඟීම පිණිස ගියේය. ළමයා ගමන්කළ දෙසට මමද ගමන් කළෙමි. මාවත ඉදිරියෙන් දෙකකට බෙදෙන මංසන්ධියක් විය. මම ගමන්කළ මාර්ගයට වඩා ඉහළින් කඳුගැටයක් මතින් එම අනෙක් මාර්ගය විහිදී තිබුණේය. මා ගමන්කළ මාර්ගයේ ඉදිරියෙන් කුඩා ළමයා ගමන් කරනු ඇත්දැයි මම ඈතටම දෑස යොමුකරමින් බැලුවෙමි. ඔහු එම මාර්ගයේ ඉදිරියේ නොසිටියේය.

“එහෙනම් ඔහු උඩ පාරට යන්න ඇති....”යි සිතූ මම උඩ පාරට ගියෙමි. එම මාර්ගය දිගේ ඉදිරියටද බැලුවේ බෑග් දෙකක් දෑතින් ගෙන ඇවිද යන කුඩා ළමයෙක් දකින රිසියෙන්ය. එවන් දසුනක් මගේ නෙතට හසු නොවුණි. මම එක තැන නැවතී තවත් විපරමින් එම මාර්ගය දෙසම බලා සිටියෙමි. මාර්ගයේ මඳක් ඈතින් පිහිටි විදුලි කණුවක් අසල බෑගයක් තිබෙනු දුටු මම එතැනට ගියෙමි. කුඩා ළමයා ඔහුගේ බෑග් දෙකද බිමින් තබාගෙන එම කණුවට පිටදී සිටියේය. මම ඔහු අසලටම ගියෙමි. ඔහු අඬමින් සිටියේය. නාවර පෙරුණු කම්මුල් දිගේ කඳුළුධාරාවන් ගලා ආවේය. බොර පැහැති දෙනෙත් තවත් බොරපැහැවී ගොසින් තිබුණේය. කම්මුල්වල කඳුළු ගලා යාම නිසා ඇතිවූ තෙත පාරවල් එහි ඇඳි ඉරි දෙකක් මෙන් පෙණුනේය.

“මේ..... ඇයි ඔයා අඬන්නේ.......” යි මම හෙමිහිට බොහෝම සෙමෙන් මුත් ළයාන්විතව ඔහුට ඇසෙන සේ විමසුවෙමි. මගේ හඬ ඔහුට ඇසුණේය. ඔහු සෙමෙන් සෙමෙන් දෑස් විවිර කර මදෙස බැලුවේය.

“ඇයි ඔයා ඔතනට වෙලා අඬන්නේ....” යි මම නැවතත් ඔහුගෙන් විමසුවේ මද සිනහවකින් මගේ මුවග සරසාගෙනය.

“මගේ යතුර නැතිවෙලා..... මට ගෙදර යන්න විදිහක් නෑ......”යි ඔහු කෙඳුරුමක හඬින් මා සමඟ කීවේය.

“ඔයා කොහේද යතුර තියාගෙන හිටියේ.....” යි මම ඔහුගෙන් නැවත ඇසුවෙමි. එකපාරටම යතුර නොදී ඔහුගේ විස්තර ටිකක් හෝ අසා ගැනීමට මම සිතුවෙම්.

“මගේ මේ සාක්කුවේ තමයි දාගෙන හිටියේ....” යි ඔහු ඔහුගේ ටී ෂර්ටයේ වූ සාක්කුව මට පෙන්වමින් කීවේය. බසයතුළ සිට ඔහු ඔහුගේ සාක්කු පිරික්සන අයුරු මම නිරීක්‍ෂණය කළෙමි. මෙසේ ඔහුගෙන් ප්‍රශ්ණ කිහිපයක් ඇසීමට පෙළඹුනේ මන්දැයි මමම නොදන්නෙමි.

“ඉතින් ඔයා හොඳට බැලුවද?....” යි මම නිකමට මෙන් තවත් පැණයක් ඇසුවෙමි. ඒ වෙලාවේ මගේ හිතට අසන්නට වෙනත් ප්‍රශ්ණයක්ද නොආවේය.

“ඔවි මං හොඳට බැලුවා.... මගේ කලිසමේ සාක්කුත් බැලුවා.... මගේ බෑග් දෙකත් බැලුවා.... ඒ කොහේවත් තිබුනෙ නෑ......” යි ඔහු නැවතද හැඬුම් ස්වරයෙන් කීවේය. මේ වන විට ඔහු පිළිබඳ ඇතිවී තිබුණු අනුකම්පාව දෙගුණ තෙගුණ වනු දැනුනේය.

“ඔයාගෙ ගෙවල් කොහෙද තියෙන්නේ....” යි මම තවත් ටිකක් ඔහුට සමීපවෙමින් ඇසුවේය.

“මේ ළඟ කිවුලෙවෙලේ තමයි අපේ ගේ තියෙන්නෙ....”යි ඔහු මගේ ප්‍රශ්ණයට නොපැකිලව පිළිතුරු දුන්නේය. කිවුලේ වෙල යනු මේ ප්‍රදේශයේ ඇති ඉතා දිළිඳු පවුල් කිහිපයක් පමණක් වෙසෙන කුඩා ගම්මානයකි. එහි වාසය කරන අය පහත් යැයි සමාජය විසින් සම්මත කරන ලද පිරිසක් වූ අතර ඔවුන්ගේ ජීවන වෘත්තීන්ද ඒ අනුවම හැඩගැසී තිබුණේය. පිරිසිදුකම යන්න ඔවුන්ට සිහිනයක් බවට පත්වී තිබුණේ ඒ නිසා වෙන්නට ඇත.

“ඔයත් එක්ක ගෙදර තව කවුද ඉන්නේ....”යි මම ඔහුගේ පවුල් පසුබිම දැනගනු රිසින් ඇසුවෙමි.

“තාත්තයි මමයි විතරයි ඉන්නෙ....”

“ඇයි අම්ම....”

“තාත්ත මට කිව්වෙ අම්ම වෙන මාමා කෙනෙක්ගේ ගෙදරක ඉන්නව කියල. මං අම්මව දැකල නෑ එයා අපේ දිහා එන්නෙ නෑ....” යි ඔහු කියාගෙන ගියේය. එම කාන්තාව මේ පොඩි දරුවා සහ ස්වාමියා හැරගොස් වෙන විවාහයක් කරගෙන ඇති බවට මම අනුමාන කළෙමි. දරුවාට තම මව නැති ශෝකය කෙබඳු විය හැකිද? නමුත් ඒ පිළිබඳව තවදුරටත් විමසා ඔහු අපහසුතාවයට පත් කිරීමට මම නොසිතුවෙමි.

“ඉතිං දැන් කෝ තාත්තා....”යි මම ඔහුගේ අදහස් වෙනතක යොමු කරන අදහසින් ඇසුවෙමි. දැන් ඔහුගේ ඇඩුම නැවතී ඇත. එනමුත් ඉඳහිට නැගෙන ඉකිබිඳුමක් පමණක් ශේෂව ඇත. මා අසන ප්‍රශ්ණවලට ඔහු කැමැත්තෙන් මෙන් පිළිතුරු දුන්නේ වෙනත් කිසිවෙක් මේ අයුරින් ඔහු සමඟ සුහදව කතා නොකරන නිසා වියහැකියැයි මම අනුමාන කළෙමි.

“තාත්ත අර ටවුමෙ ගෙදරක කාණුවක් කපනවා..... ඒ ගෙදර මහත්තය කිව්ව තාත්තට ඒක කපල ඉවරවෙලාම යන්න කියලා..... තාත්තා එන්න තව වෙලා යන හින්ද මට ගෙදර යතුර දුන්නා.... ගෙදර ගිහිං පාං කන්න සම්බෝලයකුත් හදන්න කියලා තාත්තා මට කිව්වා..... මට පොත් පාඩංකරන්නත් තියෙනවා..... දැං යතුර නැතුව මං ගෙට යන්නෙ කොහොමද?....” යි පැවසූ ඔහු නැවත හඬන්නටවූවේය.

“කොහේද පුතේ ඔයාගෙ යතුර වැටෙන්න ඇත්තෙ....”

“මං ආපු බස් එකේ තමයි වැටෙන්න ඇත්තෙ....”

“කෝ ඒ බස් එක...”

“ඒක ගියා....” යි ඉකි බිඳිමින්ම ඔහු කීවේය. තරමක් බොර පැහැකි දෙඇස සැනෙකින් රතු වූ අතර ලොකු කඳුළු ගුලි දෙකක් මතුවෙමින් වියැලී තිබුණු කම්මුල් තෙමාගෙන ගලා ගියේය. මම යතුර තියාගෙන තවදුරටත් මේ දරුවා හැඬවිය යුතු නොවේයැයි සිතුවෙමි. ඔහු සිතනුයේ යතුර නැතීවි ඇති බවය. නිවසෙහි දොර කැඩීමටද ඔහුට නොහැකිවනු ඇත. ගත රුහිරු වගුරමින් බොහෝ වෙහෙසවී නිවසට පැමිණෙන පියාට ආහාර ගැනීම සඳහා යමක් පිළියෙල කිරීමට මේ දරුවාට නොහැකිවනු ඇත. වෙහෙසවී නිවසට පැමිණෙන පියා නිවසෙහි යතුර නැතිවූ බව දැනගත් විට දරුවාට පහරදීමටද බැරිකමක් නැත. විඩාපත් ශරීරය ඔහුව ඒ තත්ත්වයට පත් කරනු නොඅනුමානය. බසයේ බිම වැටී තිබුණු යතුර දැක දැකත් අනෙක් මිනිසුන් මෙන් මමද මගේ ගමන ගියේ නම් අද මේ දරුවාට එම සියළු දුක් ගැහැට විඳීමට සිදුවන්නේය. මම ගනු ලැබූ තීරණය නිවැරදි බව පසක්කර ගත්තෙමි. කිසිවකුගේ අවධානයට ලක් නොවුණු මේ අසරණ දරුවාට පිහිටක්වීමට හැකිවීම පිළිබඳ මම හදවතින්ම සතුටුවුනෙමි. මට ගෙදර යාමට ප්‍රමාද වීම පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් මගේ සිතේ ඇති නොවීය.

“මේ..... මේකද පුතේ ඔයාගෙ යතුර....”යි මම මෙතෙක් වේලා මගේ සුරතේ ගුලිකරගෙන තිබූ යතුර ඔහුවෙත පාමින් ඇසුවෙමි. දරුවාගේ මුහුණෙහි පැතිරීගිය ප්‍රභාවය මගේ හදවතෙහි තවම නිදන්ගතව ඇත.

“ඔව්... ඔව්..... මේක තමයි....” ඔහු මා අතෙහිවූ යතුර දෙස හොඳින් බලා සිට කීවේය.

“එහෙනං ගන්න....”යි මම ඔහුට යතුර දුන්නෙමි. මගේ මුහුණ දෙස අපිරිමිත සෙනෙහසකින් බැලූ ඔහු රටක රාජ්‍යයක අයිතිය ලැබූවකු මෙන් දෑතින්ම එම යතුර ගත්තේය. මගේ හදවතද දෙදරන්නට මෙන් වූවේය. වෙව්ලන හදින් යුතුව මම ඔහුගේ ලේන්සුව ගෙන එහි කොනත යතුර ගැටගහා දුන්නෙමි. එය කලිසම් සාක්කුවේ දමාගත් ඔහු මගේ මුහුණ දෙස බලා සිනා සුනේය. මුව පුරාම සිනාසුනේය. හදවතින්ම සිනාසුනේය. දත්වල කහට බැඳී තිබුණද එම සිනහව අතිශ්‍යයින්ම සුන්දරවිය. ඒ හදපත්ලෙන්ම නැඟුණු ඒ සිනහවේ පියකරුබව කහට බැඳි කිලිටි දතින් අසුන්දර නොවීය.

“පුතේ දැං පරිස්සමින් ගෙදර යන්න... තාත්ත එන්නත් ළඟ ඇති... නේද?....” යි මම ඔහුට කීවෙමි.

“ඔව්....ඔව්... තාත්තත් එනව ඇති....”යි ඔළුව හොල්ලමින් කී ඔහු බෑග් දෙක දෙඅතට ගනිමින්ම කීවේය. වටින් ගොඩින් සැඳෑ අඳුරද මෝදුවේගෙන පැමිණෙන බැවින් මමද ඔහුගෙන් සමුගෙන බස් නැවතුම දෙසට ආවෙමි. ඒ එන අතර මම ආපසු හැරී ඔහු දෙස බැලුවෙමි. ඔහු තවමත් මා දෙස බලා සිටියේය. මම ඔහුට අත වැනුවෙමි. ඔහුද පෙරළා මට අත වැනුවේය. ඉන් පසු ඔහුට නිවසට යන ලෙසට මම අතින්ම සංඥා කළෙමි. මා බස් නැවතුමට පැමිණෙන විට බදුල්ල බලා ධාවනය වන බසයක් පැමිණියේය. ළමයා තවමත් එතැන ඇත්දැයි බැලූ මට ඔහු එතැනින් නික්මී බෑග් දෙකද දෑතින් ගෙන සෙමෙන් සෙමෙන් ඉදිරියට යන බව පෙනුනේය. උදාර කටයුත්තක නියැළුණු කෙනෙක් තුළ පමණක් ඇතිවන ආත්ම තෘප්තියක් සහිත සිතකින් මම නිවට යාම සඳහා නතර කරන ලද බසයට ගොඩවීමි.

Tuesday 9 November 2010

දහස්වරක් සමාවෙන්න.....

වෑ කණ්ඩියේ ඉස්මත්තේ
සෙවන සදන පුංචි පැලේ
කිරි පොවනා මගෙ පැටියට
දෙතනට තව කිරි වඩන්ට
ගුණ කෑමක් ඇගේ කුසට
කොහොමද මං
හොයා දෙන්නෙ.......

බිලී පිත්ත
අතට අරං
ඔරු කඳ මත්තෙහි පාවී
වැව මැද්දේ දඟ කරනා
මාළුන් එක එක බාගමි
බුදු හිමියන්
දෙසුව නමුත්
හොඳ නැහැ
පර පණ නසන්ට
මසුන් මරල මම රැකෙන්නෙ
දහස්වරක් සමාවෙන්න....
දහස්වරක් සමාවෙන්න.....


Monday 8 November 2010

ස්ථානමාරුව...........

ලිපියක් අරං
පිළිවෙලකට
ගොනු කරලා.......
එහි කවරයේ
ගැලපෙන්නට
නම අලවා........
ගොනුවේ යොමුව
නව පන්නෙට
සරි කරලා..........
ඵලදායීතාවයට
සැරසුනි
දෑතම විදලා..............

කබඩ් එකක්තුළ
ලිපි ගොනු
එක්කරලා.......
පිළිවෙල
දැකුම්කළු ලෙස
සුන්දර කරලා......
වසරක් පුරාවට
මගෙ දහදිය
හෙලලා....
සැරසූ විෂය
යන්නට සිදුවුණි
දමලා...............

මගෙ වැඩ හොඳලු
විෂයෙහි අඩුවක් නැත්තේ......
සුළු සුළු අඩු පාඩු
කොයි කාගෙද නැත්තේ......
ලැබෙනා ලිපිවලට
මෙනවත් තව කර නැත්තේ.........
ඒවා කරන්නට
මට කල්යල් නැත්තේ.............

Sunday 7 November 2010

කිරි කැටියගේ ටිකිරි සිනා පුදනෙමි තුති මල් විලසට.............

නින්ද නේන රෑ මැදියම
ගත සිසිලස දැවටෙනවා
එළිය ගෙනෙන ලන්තෑරුම
හදේ අඳුර දුරලනවා
රැල්ල ඇවිත් මගේ ළඟට
ඔරුව වටේ රඟ දෙනවා
දරු පැටවුන් සිහිවන විට
මුළු පපුවම පිච්චෙනවා.................

සවස ආවේ මහ සයුරට
දළ රළ අතරින් පාවී
මා එනු දුටු මාළු රෑන්
මාගෙන් ඈතට යාවී
ළය ඇවිලෙන දුක් ගිනි දුටු
මාළුන් මා වෙත ඒවී
ඔරු කඳ පිරෙනා විට උන්ගෙන්
හිරු කුමරුත් එයි පේවී................

උදෑසනම හබල අරන්
එන විට ගොඩ බිම පෙදෙසට
දෑතම මගෙ රිදුම් දෙවයි
දරා ගන්න බැහැනේ මට
පස්සෙන් විත් රළ පහරින්
සයුරෙන් දුන් සහයෝගෙට
කිරි කැටියගේ ටිකිරි සිනා
පුදනෙමි තුති මල් විලසට.............

Wednesday 3 November 2010

කිකිළියකගේ විලාපය

කල් යල් බලලා
බිත්තර දැමුවෙමි
වරිගෙ තනන්තට
කෙකර ගගා...........

බිත්තර රකිනා
කාලය එන විට
බිත්තර නැත
මා හට ලැබිලා........

මගේ කෙකර හඩ
සවන් වැකෙද්දී
සිත් පිත් නැති
මිනිසුන් වැදිලා...........

මල්ලක දාගෙන
අරගෙන යන්නේ
කොයිබටදෝ
බැලුවෙමි හැරිලා.................

වැන්දඹුවකගේ විලාපය.........

වියපත් නැත ගත
රූසිරු
කෝමළ සියොලඟ
ඇත රැඳිලා............

හිමි සඳ කොයිබද
නොදනිමි දෙවියනි
ඔහුගෙ සොහොන් පල
වල් වැදිලා.........

දරුවන් තිදෙනෙකි
උන්ගේ
කර දඩු
උස් කරලා..............

ගන්නට වෑයම්
කරනෙමි මම අද
සයනෙට
වෙන හිමියන් පතලා.........

පතිදම් රැක්කෙමි
හිමි සඳ සමඟින්
එකවහලක් යට
හිඳින කලේ.............

හිමියන් දැන් නැත
අසරණ මා අත
කොහිද බලේ..........

කුසගිනි ඇති විට
දරුවන් වැලපෙයි
ඒ ගිනි නිවනා
ලෙසින් ළයේ...........

කැමැත්තකින් නොව
අකමැත්තෙන්වුව
ගෙවෙන තරුණ කය
මිළක්කලේ...............

Monday 1 November 2010

මියැදෙනතුරු මේ මිහි මඩලේ

ඉන්න නැතක් නෑ
යන්න තැනක් නෑ
දරු පැටවුන්
දෙදෙනා සමඟින්

එනිසයි මහතුනි
ගෙ පැළක් තැනුවේ
ඉඩ ඇති
ළඳු කැළයක් අසලින්

මේ මිහි මඩලේ
උපතක් ලැබුවෙමි
අත් පා හිමි
මිනිසකු විලසින්

මියැදෙන තුරුවත්
ජීවත්වෙන්නට
බිමක් නොමැතිදෝ
මේ පොළොවෙන්



Friday 29 October 2010

පුළුවන් විදිහට උඹනං ඉගෙන ගන්න ඕනෑමයි.......

හෝටලයක
පිටිපස්සේ
කරාමයක් ළඟ
ඉඳගෙන
ගොඩට තියෙන
ඉඳුල් පිඟන්
ඉක්මනටම
හෝදනවා..........

මං වගේම
තවත් ළමෙක්
පාසැල වෙත
යන්නෙ නැතුව
සැරින් සැරේ
පිඟන් ගෙනත්
මගේ ළඟින්
ගොඩ කරනව..........

බිම් කලුවර වැඩි වෙද්දී
තුනටිය මගෙ කකියද්දී
ගොඩක් පිඟන් හේදුව පසු
කුස්සිය පැත්තට පැනගෙන
තියෙන දෙයින් කුස පුරවන්
මුදලාලි දෙන සොච්චම
අම්මට ගෙනිහිං දෙනවා.......

කුලී වැඩක්
නැති දවසට
අම්මත් මොනවා කන්ද?
කාල බීල ඉන්න එපැයි
ඉගෙන ගන්න කවද බැරිද?

තාත්තවත් හිටියානං
මෙහෙම වෙන්නෙ නෑනේ පුතේ
පුළුවං විදිහට උඹනං
ඉගෙන ගන්න ඕනෑමයි......




Thursday 28 October 2010

වඩේ දෙකක්වත් කන්නකො...........

පාසැල් ගොස්
ගෙදර ඇවිත්
අම්මට මම උදව්කලා........

ලිප ගාවම
වේලි වේලි
තෙල් හැළියක්
රත්කරගෙන
අම්ම බදින
වඩේ පොඩිය
විකුණන්නට
අරං එන්නෙ මං.........

තැබෑරුමෙන්
එළියට විත්
කට දෙපැත්ත
පිහදාගෙන
මං ගෙනාපු
වඩේ නොකා
අහක බලන්
යන්න එපා.......

හෙටට වඩේ
ගෙන එන්නට
පරිප්පු ඩිංගක්
අරගෙන
තෙල් පොඩ්ඩක්
තව අරගෙන
අම්මාගෙයි
මගෙයි කුසේ
දුක් ගින්දර
නිවා ගන්න...........

අරක්කු චුට්ටක්
බීගෙන
වඩේ දෙකක්වත්
කන්නකො.........

ඉක්මණටම මම යනවා අම්මයි මල්ලියි ගාවට.......

වෙල් එළියේ නියර දිගේ
සරු ගොටුකොල
දඩු නෙලලා
මගේ අතින්
බැන්ද මිටිය
කුඩා වැඩිද
කුඩා වැඩිද............?

මල්ලි පැටිය
බඩගින්නේ
මම නැහැ
පාසැල් යන්නේ
අම්ම ගිහින්
කුලී වැඩට
ඇය එනතුරු
මගෙ මල්ලිව
ඇස් දෙක වගේ
බලා ගන්න
වෙන කවුරුත්
නැහැනෙ ඉතිං.....................

අම්මා ආ විට
ගෙපැළට
මම යනවා
වෙල පැත්තට
නියර දිගේ
දොළ අයිනේ
දළුලන පොඩි
ගොටුකොළ දඩු
නෙලාගන්න
නොලාගන්න.................


ඒව අරං වෙලට ගිහිං
මගේ අතින් සෝදාගෙන
මිටි බැඳලා පොඩි පොඩියට
පිරිසිදුවට මම ගෙනාවා
නෝන මහතුනේ ඔබලට
නෝන මහතුනේ ඔබලට..............

ගොඩක් වෙලා
ඉන්නට බැහැ
බිම් කළුවර
ගිලියි මාව
ඉක්මණටම මමයනවා
අම්මයි මල්ලියි ගාවට........


Tuesday 26 October 2010

උරුම වූ තිළිණය..............

වෑ කණ්ඩියේ දොළ අයිනේ නියර දිගේ
දළු ලන පලා මිටි වෙයි වට්ටියෙහි ඇගේ
මහමෙර දරාගෙන ඈ යන ගමන් මගේ
දහදිය වැගිරුනා සුන්දර පබළු වගේ

වේලී ගස මතින් ගිලිහෙන පොල් අත්ත
ගස මුල තිබෙන වග මොහොතෙම දැනගත්ත
ඇය පිය නගන්නී කෙළවර සිට වත්ත
ගෙපැලෙහි පියස්සට වියලා බැඳ ගත්ත

බිම් කළුවර සමඟ උදයෙම නැගිටින්න
පුච්චන ආප්පය කඩයට ගෙනයන්න
මිටි බැඳි පලා අරගෙන ගොස් විකුණන්න
අය කඩිසර උනා ඇගෙ පැටියත් සුරකින්න

ඉර මුදුනට නැගෙන විට දහවලට
ඇය ගොස් හමාරය ගම්මානය වටට
පුතුගෙත් ඇගෙත් කුස ගින්දර නිවන්නට
යන්තම් හැකි උණා ඇය උපැයූ දෙයට

කොතරම් අඩු පාඩු තිබුණත් ඇගෙ ගෙපැලේ
ඇය නැහැ දරුවාට ඒවා උරුමකලේ
ගත දහදිය හෙලා පොඩි කර දඩු යදගු කලේ
වැඩිහිටි නිවසෙදී ඇය ඒ හැම මෙනෙහිකලේ

Monday 25 October 2010

සංවර්ධනය

වන මල් පිපෙන
සුන්දර ගම් පියස්සක
හිරු රැස් පෙරා
ගලනා මෘදු වළාමත
සැඟවී බලා ඉන්නෙමි
සිමෙන්ති වැලි
ගල් මතින්
වන පියස
තුරන්වී
උදාවන සැටි
සංවර්ධනය.............


Thursday 14 October 2010

පිං ඇත රත්තියේ.....

මවගේ ඇකයේ
උණුසුම විඳිමින්
ඇගේ තනයෙන්
කිරි බිඳක් උරන්නට.......

දරු සෙනෙහස
ඉහ වහා ගිහිල්ලා
සුදට හැරෙන
රත් පැහැති
රුධිරයෙන්
බිඳක් පෙරා
මා කුසට පොවන්නට
අවසර දුන්නට
පිං ඇත රත්තියෙ
අම්මා නැති මං
ජීවත් කෙරුවට.......

ඉගෙන ගනිං පැටවුනේ..........

දැනුම ලබන්නට
පියවර ඔසොවමි
පාසැල් මෑණියගේ
තුරුල්ලට.....

එනමුදු සොයනා
දැනුම ඒ ලෙසින්
ලැබෙන්වාද
පවසමිද කෙලෙසකට.........

ගුරුකම මුදලට
යටවී පෑගී
අන්ත අසරණව
මිය යමින් තිබෙනවිට............

කාසි පණම්
අත ඇත්නම් දරුවෙනි
ටියුෂන් කඩ ඇත
මුළු රට වටකොට...........

ඒවට නොගිහින්
විභාග ගත්තට
කිසිම වැඩක් නැහැ
කියනු බලා........

වතු පිටි ගේ දොර
උකසට තියලා
දෙමව්පියෝ
දහ දුක් විඳලා........

කන‍ බොන දේවල්
පවා ඉවතලා
පොත් පත් ටික
අරගෙන දීලා.........

නුඹලා එවනා
නිසාම පැටවුනි
ඉගෙන ගනිං
මුළු වැර යොදලා.................

Wednesday 13 October 2010

විලෙන් විලට ගොස මල් නෙලමී..........

පෙරඹර අහසින්
ලොවම එළියකර
හිරු කුමරුන් ලොව
පුබුදන මොහොතේ
ඒ හිරු කුමරුගේ
තෙදවන් පහසට
විල් තෙර පුබුදින
තඹුරු නෙලන්නට
මම යන්නේ........
උතුම් බුදුන්
තෛ ලෝක නාථයන්
දෙපා පුදන්නට
නොවේ....නොවේ......
විහාර මාවත
පියමංකර යන
බැතිමතුනගෙ
බැති සිතු පහදා
මල් මිට අරගෙන
දෙන තුටු පඩුරින්
මගේ පැටියගෙ
කුස පුරවාලන්නෙමි
විලෙන් විලට ගොස්
මල් නෙලලා.........

Monday 11 October 2010

කෙටි කතාව (ඔහුද මමමය.........)

ජීවිතය කොතරම් සුන්දරදැයි රාමේශ්වරීට සිතෙන්නේ දැන්ය. තම කුසින් මෙලොවට බිහිකළ පුංචි දරු පැටියා කෙළිදෙලෙන් ගෙමිදුලෙහි සෙල්ලම් කරනු ඇයට පෙනෙන්නීය. පනිට්ටුව වසා තිබූ තල් කොළවලින් වියන ලද වට්ටිය ඉවත්කළ ඇය ඉන් වතුර ටිකක් වත්කර සෝදාගත් කෝප්පයකට කහට වතුර ටිකක් වත්කර පසෙකින් තැබූවාය. ලී පටි ගසා සකසන ලද රාක්කය අසලට ගිය ඇය සීනි බෝතලය අතට ගෙන එහි පියන ඉවත්කළාය. හැඳගෙන සිටි ඇඳුමෙහි අත්ල පිස දැමූ ඇය තම අත්ලට සීනි පුපුරක් දමාගෙන බෝතලයේ පියන වසා ආපසු එය රාක්කයෙන් තැබුවාය. ඉන් පසු කහට කොප්පය අනෙක් අතට ගෙන කුස්සියේ වූ එළිපත්තත මතින් දෙපා දිගහැර වාඩිවූවාය. තමන්ගේ එක් අතකවූ සීනි බිඳෙන් බිඳක් දිවගට ගත් ඇය එය සෙමෙන් සපන්නටවූවාය. කට පුරාම පැණි රස විහිදී මුළු ගතම ප්‍රබෝධමත්වෙද්දී ඇය කහට උගුරක් දෙකක් පානය කළාය. ඇගේ දෑස රැඳී තිබුණේ නිදහසේ සෙල්ලම් කරන තම කොළු පැටියා දෙසටය.

රාමේශ්වරී ජීවත්වූයේ මඩකලපුවට නුදුරු දමිළ ගම්මානයකය. ඇයගේ ස්වාමියාවූයේ සින්නයියාය. ඔහු ගොවිතැන්බත් කරමින් තම බිරිදත් දරුවාත් පෝෂණය කලේය. එක් කන්නයක ඔහු තම කුඹුරෙහි වී වගාකළේය. ඊළඟ කන්නයේ එළවළු වගා කළේය. වැසි සමය එළැඹෙනවිට තම නිවස අවටද ඔහු විවිධ භෝග වර්ග වගා කළේය. රජයෙන් ලැබුණු ආධාර හා සහනයන්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මේ යුවළ හැම මොහොතකම උත්සාහකළේය. රාමේශ්වරීගෙත් සින්නයියාගෙත් ජීවිත වගේම ඔවුන්ගේ පුංචි ගෙපැල නිරන්තරයෙන් ආලෝකමත් කළ පුංචි පහන් සිළුව වූයේ කුඩා සන්දනම්ය. ඒ ඔවුන්ගේ එකම දරුවාය. එකම වස්තුවය.

,අම්මා මං මේක ගන්නවා, යි කුඩා සන්දනම් පොල්කටුවක් අතට ගනිමින් කීවේය.

කල්පනා ලොවක පැටලී සිටි ඇය ඉන් මිදී තම දරුවා දෙස බලා හිස වැනුවාය. වචනයෙන් හෝ කිසිදු හඩකින් තමන්ට අනුමැතියක් නොලත් පුංචි සන්දනම්, ඇයගේ පිළිතුර කුමක්දැයි දැන ගැනීමට තමා යන ගමන අතරමඟ නතරකර ආපසු රාමේශ්වරී දෙස බැලුවේය. එවෙලෙහි ඔහු, ඇය අත්ලට දමාගෙන, ඩිංගෙන් ඩිංග දිවගෙහි සීනි තවරගන්නා සැටි දුටුවේය. සීනිවල රස දැනුනු කුඩා සන්දනම්ට තම මවතින් සීනි ඩිංගක් ගෙන කෑමට සිත්වූවේය. අතට ගත් පොල් කටුවද අතෙහි තබාගෙන තමන් කරා දිව එන දරුවා දෙස රාමේශ්වරී හැඟීමකින් තොරව හිස් බැල්මෙන් මෙන් බලා සිටියාය.

රාමේශ්වරීගේ ළගටම පැමිණි කුඩා සන්දනම් ඇයගේ මුහුණ දෙස මොහොතක් බලා සිට වහා පහත්වී ඇගේ අත්ලෙහි ඉතිරිවී තිබූ සීනි ස්වල්පය දිවගට ගෙන සපන්නට වූයේය. සිදුවන සිදුවීම කුමක්දැයි වටහා ගන්නට නොහැකිවූ රාමේශ්වරී ඒ සිදුවීමත් සමඟ සිහිනෙන් අවදිවූවක මෙන් කල්පනා ලොවින් ආපසු පියවි ලොවට පිවිසියාය.

,මොක්කද අප්පා .......
මයේ පැටියට තේති ඕනෙද?..., යි ඇය තම දරුවාගේ හිස සෙනෙහසින් පිරිමදිමින් ඇසුවාය.

මුවතුළ ඉතිරිව ඇති පැණි රස නිසා තවත් සීනි ඩිංගක් දිවගෑමට සිතූ දරුවා හිස ඉහලටත් පහලටත් වනා ඊට එකඟවූයේය. අතෙහි වූ නිවීගිය කහට කෝප්පයද අතැතිව එළිපත්තෙන් නැගී සිටි රාමේශ්වරී මිදුලේ කොනකට ගොස් නිවීගිය කහට වතුරටික ඉවතට විසිකර දැමුවාය.

,ආ..... එන්න..... එන්න.....
තේ ටිකක් බොන්න එන්න, යි ඇය තම දරුවාද කුස්සියට කැඳවාගෙන ගියාය. දරුවාගේ කෝප්පය සෝදා ඊට තේ කහට ටිකක් වත්කළ ඇය එයට බාගෙට තලන ලද ඉඟුරු කැබැල්ලක්ද දැමුවාය. සීනි දියකර බොනවාට වඩා සීනි සපමින් කහට බීමට දරුවා කැමති බව සිහිවීමෙන් ඇය කෝප්පයට දමන්නට ගිය සීනි හැන්ද තම දරුවාගේ අත්ලට දැම්මාය.

,මෙන්න තේ කෝප්පය...
ඇඟේ හලාගන්න එහෙම එපා හොදද?...,

තම අත්ලට දිව යොමු කළ දරුවා දිවගට සීනි ඩිංගක් ගෙන රස කරමින් සපන අයුරු බලා සිටි රාමේශ්වරී තමන් අතට ගත් සීනි අත්ලෙන් ටිකක්ද දරුවාගේ අතට දැම්මාය. දරුවාගේ අත්ලෙහි සීනි ප්‍රමාණය වැඩිවීමත් සමග ඔහුගේ මුහුණ මලක් මෙන් පිපෙන අයුරු ඇය තම නෙතගින් දුටුවාය.

,හෙමිහිට බොන්න....
වැඩියෙ සීනි කන්නත් හොඳ නෑ...., යි රාමේශ්වරී දරුවාට කීවේ තමන්ද නැවත වත්කර ගත් කහට කෝප්පය අතට ගන්නා ගමන්ය. දරුවා මහත් ප්‍රබෝධයෙන් සීනි ඇට එකින් එක සපමින් තේ වතුර බොන්නේය. ඔහු සීනි සපන විට සියුම් හඩක් ඊට අනුගතව ඔහුගේ මුවගින් නැගෙන්නේය. මුවගට කෝප්පය ළං කර දෙතොල උල්කරමින් තේ උගුරක් මුව තුළට ගත් කුඩා දරුවා එය උගුරෙන් පහළට ගිලින විට ඔහුගේ බෙල්ලෙහිවූ කුඩා උගුරු ඇටය ඉහල පහල යන සැටි ඇය දෑස නොසොල්වා බලා සිටියාය.

,මේ දරුවා නිසා අපි කොච්චර දුක් වින්දද?..
ඒ තරම් දුකක් වෙන කිසිම අම්මෙක් අප්පෙක් විඳින්න නැතිව ඇති, යි ඇය කල්පනා කළාය. තමන් ළඟ අද මෙසේ සතුටින් සිටින මේ දරුවා තමන්ට අහිමි වෙන්නටම ගියේ ය. ඒ වෙනුවෙන් තමන් එතෙක් උපයාගෙන සිටි සියළුම ධනය වැය කිරීමට සිදුවූවේය. ඒ කුමක් නැති වුවත් අද මේ දරුවා තමන්ගෙම දරුවෙක් ලෙස තමන්ගේ ජීවිත ආලෝකමත් කරමින් හිඳීම ගැන ඇය හදවතින්ම සතුටුවූවාය. තමන්ට උදව් උපකාරකළ සියළු දෙනාම සිහිවීමෙන්දෝ ඇගේ දෙනෙතින් ගිලිහුණු කඳුළක් දෙකොපුල දිගේ මිහිකත සොයා රූරා ගියේය. ඇයටත් නොදැනිම ඇය දරුවා දෙස බලාගෙන ඒ අතීතයට පියවර මැන්නාය.

දරුවාගේ වයස අවුරුදු තුන හමාරක් හතරක් තරම් වෙද්දී බෝහෝ කෙළිදෙලෙන් පසුවූ දරුවා එක දිනෙක හදිසියේම වෙනස්වූවේය. දරුවා කෙරෙහිවූ සෙනෙහස නිසාම සෑම අවස්ථාවකම ඇය තමන් අතින්ම දරුවාට බත් කැවුවාය. එක් දිනෙක ඇය දහවල් දරුවාට බත් කවන අදහසින් පිඟානකට බත් බෙදාගෙන තම දරුවාට කතාකළාය.

,පුතේ...... පුතේ.......
පුතේ..... පුතේ......
එන්න මං ඔයාට බත් කවන්න........... , යි ඇය කුස්සියේ සිටම තම දරුවාට නැවත නැවතත් කථා කළාය. ඒත් දරුවා ඇය කරා පැමිණියේ නැත්තේය. වෙනදා ඇයට තම දරුවාට මෙතරම් කතා කළයුතු නැත්තේය. වරක් හෝ දෙවරක් කථා කළ සැණින් ඔහු තමා අභියසට දිව එන්නට පුරුදුව සිටියේය. ඒත් මෙදින තමන් මේතරම් වේලා කතා කරද්දීත් මේ දරු පැටියා තමන් කරා නොඑන්නේ මන්දැයි ඇය සිතුවාය. ඒ සමගම හදවතට නැගී ආ බියකින් ඇගේ මුළු සිරුරම ගැහෙන්නට වූවාය. ක්ෂණිකව මුළු සිරුරම වෙලාගත් බියකින් ඕ ඒ මේ අත දිව ගියාය.

ෂාමි කඩවිලේ.....
කෝ......මගේ දරුවා....
ඇයි මෙච්චර කතා කරත් බත් කන්න එන්නෙ නැත්තේ....෿ ඇය වහා තම දරුවා සොයා ගෙ තුළ හා ගෙවත්තේ සැම තැනටම දිවගියාය. ඇයගේ සිතට දැනුණු බිය සිතින් අතුරුදහන් වූයේ දරුවා සිටින බව දැනගත් පසුවය. මේ වන විට පුංචි සන්දනම් මිදුලේ කොනක තිබුණු මල් පඳුරක් යටටවී කල්පනා කරන ඉරියව්වකින් සිටියේය. තම මවවත් තමන් කරා එනු ඔහු නොදුටුවේය. ඔහුට නොදැණුනේය. රාමේශ්වරීගේ හඩ නොඇසෙන්නට තරම් කල්පනා සාගරයක දරුවා අතරමංවී සිටියේය. දරුවා දුටු විගස රාමේශ්වරී සිටි තැනම නතරවූවාය. දරුවා කරන්නේ කුමක්දැයි ඕ බලා සිටියාය. සෙවනට හිඳගෙන සිටි මල් පඳුරේ අත්තක් අල්ලාගෙන හිස් අහස දෙස බලාගෙන දරුවා සිටියේය. දරුවාගේ මුහුණේ බැරෑරුම් බවක් දිස්වූවේය.
ර්‍ණමේ තරම් පුංචි දරුවෙක්ට මොනවද මේ තරම් කල්පනා කරන්නට තියෙන්නේ.....෿ යි රාමේශ්වරී තම දරුවා දෙස බලාගෙන සිතුවාය.

පුතේ.........පුතේ......
මයෙ කොලු පැටිය මොනවද මෙතෙන්ට වෙලා මේ කල්පනා කරන්නේ......
එන්න බත් ඩිංගක් කවන්න.....
කෝ.... එන්න එන්න....෿ යි කියමින් රාමේශ්වරී කුඩා දරුවා ළඟට ගියාය.

කිසිම හැල හොල්මනක් නැතිව කල්පනා ලොවේ අතරමංව සිටි සන්දනම් රාමෙස්ශ්වරීගේ හඩින් ගැස්සුනේය. හඩ ආ දෙස බැලූ ඔහු රාමේශ්වරී දෙසට හෙලුවේ කිසි දිනෙක දැක නොමැති අයෙක් දෙස බලන ආකාරයේ නුපුරුදුම බැල්මකි. ඇයට සන්දනම්ගේ ඒ බැල්ම දරාගත නොහැකිවූවාය. කිසි දිනෙක දැක නොමැති දෙයක් දෙස බලන ආකාරයෙන් විශ්මිත දෑසින් සන්දනම් රාමේශ්වරීගේ මුහුණ දෙස බලා සිටියේය. මෙතෙක් දිනක් තම ඇකයෙහි සුරතල්වූ දරුවාගේ මුවගෙහි වෙනදා තිබූ කෙළිලොල් බව තුරන්වී තිබුණේය. ඒත් ඒ වෙනස නොහැඟුව ඇය තව ටිකක් දරුවා ළඟට ආවාය.

පුතේ.......
එන්න බත් කවන්න෿. යි නැවතත් කීවාය. මෙතෙක් වෙලා ඔවුන් කථාකළේ දමිළ භාෂාවෙනි. ඒ ඔවුන්ගේ උපන් භාෂාවය. ප්‍රදේශයේ පැවති යුධමය වාතාවරණය නිසා රාමේශ්වරීට පාසැල් අධ්‍යාපනයක් සඳහා යාමට නොහැකිවූවාය. ඒ නිසා උපන් දා පටන් දෙමාපියන්ගෙන් දායාදවූ භාෂාව හැර වෙනත් භාෂාවක් පිළිබඳ ඉගෙන ගැනීමට ඇයට මෙන්ම ඒ ප්‍රදේශයේ අනෙකුත් දරුවන්ටද නොහැකිවූවේය. එනමුදු මේ මොහොතේ රාමේශ්වරී සන්දනම්ට බත් කන්න කථාකළ පසු ඔහු රාමේශ්වරීට නොතේරෙන භාෂාවෙන් මොනවදෝ කියෙව්වේය. රාමේශ්වරීට එය නොතේරුනාය. ඒ නිසා රාමේශ්වරී සන්දනම්ගේ මුහුණ දෙස බලාසිටියේ ඇගේ මුහුණට නැගුණු ප්‍රශ්ණාර්ථයත් සමගින්ය. පුංචි සන්දනම් කථා කළේ සිංහල භාෂාවෙන්ය. රාමේශ්වරී සන්දනම් ඉදිරියේ කියන ලද දෙය නොවැටහුනු මේ දරුවා රාමේශ්වරීගෙන් මෙසේ ප්‍රශ්ණයක් ඇසුවේය.

කෝ...... මගේ අම්මා....෿

අම්මා යන්න තේරුණ නිසා රාමේශ්වරී සිතුවේ දරුවා තමාට ළඟට කතාකරනු කියාය. ඒ නිසා ඇය දරුවා වඩාගැනීමට ළඟට යාමට සැරසුනාය. නිවසේ සිටින විට හැඳගෙන සිටින සාරි පොටෙහි දෑත පිසදැමූ ඇය අඩියක් දෙකක් පෙරට ගොස් ඇගේ දෙ අත් දරුවාගේ කිහිලි අතරින් යැවීමට සූදානම්වූවාය. ඒ සමඟම දරුවා පස්සටවූවේය. තමා මේ දරුවා වඩානොගන්නා ලද අවස්තාවල් වලදී වඩාගන්නා ලෙසට තමාට ඇවිටිලි කරමින් තමා පසුපස දිව එන්නට පුරුදුව සිටි දරුවා මේ මොහොතේ ඊට එරෙහිව ඇත්තේය. ඒ නිසා ඇය පෙරට තැබූ පය ආපස්සට ගත්තාය. දරුවා වඩා ගැනීම සඳහා ඉදිරියට දික්කරනලද දෑත පසුපසට ආවේ ඉබේටමය. ආපස්සට ආ දෑත ඇගේ ඉනෙහි රැඳුනේද නිරායාසයකින්ය. රාමේශ්වරී තවත් මොහොතක් දරුවා දෙස බලා සිට, ඔහුගේ අතකින් අල්ලාගෙන ගෙතුළට කැඳවාගෙන ගියාය. ඒ යන අතර ද සන්දනම් කථා කළේ සිංහලය. ඔහු තව බොහෝ ප්‍රශ්ණ ඇගෙන් ඇසුවේය.

මේ කොහෙද.....?
ඔයා කවුද.........?
මේ කොහෙද මම ඉන්නේ..........?෿

සන්දනම් කියන ලද මේ කිසිම වදනක් රාමේශ්වරීට නොතේරුණාය. ඇය කළේ දරුවා කුස්සියට එක්කරගෙන ඇවිත් කුඩා බංකුවක් මත වාඩිකරවා තමන්ට හැකි පරිදි දරුවාගේ කුස පිරෙන තෙක් බත් කැවීමය. බත් කවන අතරතුරත් මේ දරුවා තමන්ට නොතේරෙන දේවල් කියවන බව ඇයට වැටහුනාය. ඇය තමන් ඉගෙන ගෙන ඇති භාෂාවෙන් දරුවාට කථා කළාය. මෙතරම් දිනක් ඇය දරුවා සමඟ කතා කළේ මේ භාෂාවෙන්ය.

ඇයි පුතේ......
ඔයා මොනවද මේ කියවන්නේ.....
මට මොකුත් තේරෙන්නෙ නෑනේ....෿ මේ වෙලාවෙදී රාමේශ්වරී කියන දේවල් දරුවාට නොතේරුනේය. ඔහු ඇගේ මුහුණ දෙස බැලුවේද ප්‍රශ්ණාර්ථයෙනි. ඉන් පසු ඔහු නැවතත් ඉහත අසන ලද ප්‍රශ්ණම ඇගෙන් ඇසුවේය. රාමේශ්වරීට මෙය සිතාගත නොහැකි ගැටළුවක්වූවාය. ඇය කියන දෙය දරුවාට නොතේරුනේය. දරුවාගේ මුවගින් ගිලිහෙන වදන් ඇයට නොතේරුණාය. මීට පැය කිහිපයකට පෙර මේ දෙදෙනාම කතා කළේ එකම භාෂාවය. දෙදෙනාගේම අදහස් දෙදෙනාටම හොඳින් තේරුණේය.
දෙයියනේ...
මේ දරුවට මොකක්ද අප්පා වෙලා තියෙන්නේ......෿ දරුවා තමන් හා විහිළුවට සෙල්ලමට හෝ හුරතලයට මෙසේ කරනු ඇතැයි ඇය මුලින් මුලින් සිතුවාය. ඒත් දැන් දැන් වනවිට එය විහිළුවක් නොවන බව ඇයට සිතෙන්නීය.

හිටිගමන් මේ දරුවට මොකද අප්පා උනේ ...
මොනවද මේ දරුව මගෙන් අහන්නෙ......
මොනවද මේ දරුවා මේ තරම් කියවන්නේ.෿ යි ඇය දස අතේ කල්පනා කලාය. තමන්ට තේරෙන ලෙස හැම අතින්ම කල්පනා කළාය. ඒත් ඇයට කිසිම අයුරකින් ඊට විසඳුම සිතාගත නොහැකිවූවාය.

උදෑසනම වත්තේ වැඩට ගිය සින්නයියා දහවල් කෑමට ගෙතුළට පැමිණියේ මේ වේලාවේදීය. පුතාගේ වෙනස්වීම පිළිබද දස අතේ කල්පනා කරමින් සිටි රාමේශ්වරීට තම සැමියා ගෙතුලට එනතුරුත් දැනගැනීමට නොහැකිවූවාය. වත්තෙ පිටියේ වැඩ පළවල නිරතව වෙහෙස මහන්සිවී කුසගින්නේ ගෙතුළට පැමිණි සැමියාට එක පාරටම දරුවාගේ වෙනස්වීම පිළිබඳ නොපැවසූ ඇය දරුවාට බත් කවමින් සිටි පිඟානද අතැතිව හිඳසිටි තැනින් නැඟී සිටියාය. අතෙහි වූ පිඟාන පසෙකින් තැබූ ඇය රාක්කයෙන් බෙලෙක් කොප්පයක් ගෙන ඊට කළෙන් වතුර එකක් වත්කළාය. සින්නයියා වෙනුවෙන් බෙදන ලද බත් පිඟාන අනෙක් අතට ගත් ඇය සින්නයියා ළගට පායුග එසෙව්වාය.

,අත සෝදාගන්න....෿ යි ඇය මුලින්ම වතුර කෝප්පය සින්නයියා වෙතට පිළිගැන්නුවාය. සින්නයියාද මහත් සෙනෙහසින් ඇයගේ මුහුණ දෙස බලා වතුර කෝප්පය දෑතින්ම ගෙන තම දකුණත සෝදාගෙන ඉතිරි වතුර ටිකෙන් වතුර උගුරක් කටටගෙන කිහිප වරක් සොලවා කට ද සෝදා දැම්මේය. ඉන් පසු වතුර උගුරු කිහිපයක් බීගෙන බීගෙන ගියේය.

හරිම මහන්සියි....෿ කියමින් රාමේශ්වරී වෙත පැමිණි ඔහු හිස් කෝප්පය ඇයගේ වමතෙහි තබන ගමන් ඇයගේ සුරතෙහි වූ බත් පිඟාන ඔහුගේ සුරතට ගත්තේය.

ගෙතුළට නොගිහින් ගෙපිලෙහිම වාඩිවී බත්පත කමින් සිටින සින්නයියා ළඟින් තවත් වතුර කෝප්පයක් තැබූ රාමේශ්වරී නැවතත් දරුවාට බත් කවන්නටවූවාය. වෙනදා මෙන් සෙනෙහසින් දරුවා තමන් අතින් බත් නොකන බව ඒ මොහොතේ ඇයට වැටහුනාය. දරුවාට කුමක් හෝ අසනීපයක් ඇති බවට ඇය සැක කළාය. සින්නයියා බත් කා අවසන් වන තුරු ඇඟිලි ගනිමින් බලා සිටි ඇය, ඔහු බත් කා අවසන් වන විටම ළඟට පැමිණියාය.
තව බත්ටිකක් බෙදන්නද?...෿ යි අසමින් ඇය ඔහුවෙත නැඹුරුවූවාය. හිස දෙපසට වනමින් එය ප්‍රතිකේෂ්ප කළ ඔහු, තමා විසින් බත් කා අවසන් කරන ලද ඉඳුල් සහිත පිඟාන ඇය අතට දුන්නේය. සින්නයියා විසින් දෙන ලද ඉඳුල් සහිත පිඟාන අතට ගත් ඇය ආපසුහැරී නිවසේ කුස්සිය දෙසට ගියාය. තමන් බත් කන අතර තම බිරිඳ දරුවාට කථා කරමින් බත් කවනු ඇසුණු දෙසට දෙසවන යොමා සිටි සින්නයියාටද දරුවා කියවන දේවල් කිසිවක් නොතේරුණේය. දරුවා සහ බිරිඳ අතරවූ කතා බහට දෙසවන් යොමු නොකළ සින්නයියා කුස ගින්න අධිකවූ බැවින් ආහාරගෙන නිමකළේය. ගෙතුළට ගෙනගිය පිඟාන සෝදා රාක්කයේහි තබා ආපසු තමන් ළගට පැමිණි බිරිඳගේ මුහුණ දෙස බැලූ ඔහුට ඇගේ මුහුණෙහි යම් වෙනසක් ඇති බව වැටහුනේය. ඒ දෑස තුළ විශාල ගැටළුවක සේයාවක් මතුවී තිබුණේය.

ඇයි.......... ?
කෝ.... පුතා......පේන්න නැත්තෙ මොකද?....
දැන් කොහෙද පුතා ඉන්නේ.....෿ යි අසමින් ගෙ තුළ බැලුවේය.

පුතා.....
අනේ ෂාමි......෿ ඇය මෙතෙක් වෙලා සිතේ සිරකර සිටි සියල්ල එකවරම ඇයගේ මුව තුළින් එළියට දමන්නට සැරසුනාය. ඒ නිසා ඇය කියන්න හදන කිසිවක් සින්නයියාට නොතේරුනේය.

ර්‍ණඇයි මොකද.....?
මොනවද අපේ දරුවට වෙලා තියෙන්නේ.........෿ යි හිඳගෙන සිටි තැනින් නැගිටිමින් වඩාත් විමසිලිමත්ව ඔහු රාමේශ්වරීගෙන් ඇසුවේය. එසේ අසන විට ඔහුගේ යුගත් රාමේශ්වරීගේ දෙවුර තරයේ අල්ලාගෙන සිටියේය.

පුතා දැං කියන කිසිම දෙයක් මට තෙරෙන්නෙ නෑනේ.......෿
අනේ ඔයාවත් කථා කරන්න බලන්න.....෿ යි ඇය සින්නයියා ඉදිරියේ පිංසෙන්ඩු වූවාය. ඇය කියන්නේ කුමක්දැයි සින්නයියාටද සිතාගත නොහැකි කරුණක්ය. ඒ නිසා තමන්ම දරුවා ළඟට ගොස් කථාකළ යුතුයැයි ඔහු සිතුවේය. සිතිවිල්ලත් සමඟ දෙපයට දැණුනු ශක්තියෙන් යන්ත්‍රයක් මෙන් ඔහු ගෙතුළට ගියේය. වෙනදා තමන් කෑමට ගෙදරට එන වේලාවට පෙරමඟ බලා සිටින පුතු තමන් දුටු සැණින් සිනහවකින් මුව පොඩිත්ත සරසා ගන්නා දරුවා තුළ හිටි ගමන් කුමක් හෝ වෙනසක් සිදුවී ඇති බව දරුවා දැකීමෙන් ඔහුට දැනුනේය. ඒ නිසා දරුවාට පියවර කිහිපයක් ඈතින් ඔහු නතරවුණේය. ටිකක් හෙමින් විපරමින් දරුවාගේ ළඟට ගියේය.
මගෙ පුංචි පැටියෝ ඔයා බත් කෑවද?...
කෝ බලන්න....෿ යි කියමින් සින්නයියා දරුවා තම දෑතට ගත්තේය. තමන් දෑතට ඔසොවාගත් මේ නුහුරු පුද්ගලයා දෙස නුහුරුම නුපුරුදුම බැල්මෙන් බලා සිටි පුංචි සන්දනම්,

ඔයා කවුද?....෿ යි සින්නයියාගෙන් ඇසුවේය.

කෝ මගේ අම්මා......
මං මේ කොහෙද ඉන්නේ.....෿ යි සින්නයියාගේ මුහුණ බලාගෙන ඇසුවේය. රාමේශ්වරීට මෙන් සින්නයියටද අම්මා යන්න වැටහුනද අනෙක් කිසිදු වචනයක් නොතේරුණේය. තම සුරතට වඩාගත් මේ දරු පැටියා කියවන්නේ මොනවාදැයි සින්නයියාද කල්පනාකළේය. උදේ තමන් වත්තේ වැඩට යද්දී තමන්ගේ මේ දරු පැටියා ඉතා හොඳින් තමන් සමඟ කතා කරමින් සිටියේය. දරුවා බහ තෝරන අවධියේ පවා තතන තතනා පවසන ලද වදන් තේරුම් ගැනීමට තමන්ට හැකිවූ බව ඔහු සිහිකළේය. ඔහුගේ දෙතොල් වියලී ගියේය. තමන්ට කිසිදු ආකාරයෙකින් වටහාගැනීමට නොහැකි වදන් මාලාවක් දරුවාගේ මවගින් ගිලිහෙන්නේය. ඒ කිසිම වදනක් තේරුම් ගැනීමට හෝ සිතා ගැනීමට පවා ඔහුට නොහැකිය. රාමේශ්වරී තමන්ට කියන්නට තැතනුවේ කුමක්දැයි ඔහුට දැන් හොඳහැටි තේරෙන්නේය. තම ළයට දරුවා තුරුළුකරගෙනම ඔහු තම බිරිඳ දෙසට හැරුණේය.

මොකද අප්පා මයේ දරුවට මේ වෙලා තියෙන්නෙ......෿යි රාමේශ්වරී තම දෙකම්මුල් දිගේ රූරා හැලෙන කඳුළු වැලින් යුතුව සින්නයියාගෙන් විමසුවේය.

ර්‍ණදන්නෙ නෑ......
කොයිකටත් දොස්තර කෙනෙක් ළගට යමුද?...෿ යි ඔහු රාමේශ්වරීගේ මුහුණ බලා ඇසුවේය.

හා.... අපි දෙන්නම යමු....෿ යි ඇය කීවාය.
ර්‍ණඔයා දරුවව ලෑස්ති කර ගන්න....෿ යි ඔහු තම අත වූ දරුවා ඇය අතට දෙමින් කීවේය. දරුවා තම අතට ගත් රාමේශ්වරී වතුර පනිට්ටුවක් මිදුලෙහි කෙළවරකට ගෙන ගොසු දරුවාගේ මුහුණ, අත්, පා හොඳින් සේදුවාය. ඒ අතරම ඇයත් මුහුණ අත් පා සෝදා ගත්තාය. ඉන් පසු ගෙතුළට ගිය ඇය අලුත් ඇඳුමක් බෑගයක් තුළින් ගෙන එය හොඳපිට පෙරලා දරුවාට ඇන්දවූවාය. පුයර ටින්එකේ උඩු පියන ඉවත් කළ ඈ ඉන් ටිකක් තම අත්ලට ගෙන දරුවාගේ මුහුණෙහි ඇතිල්ලුවාය. දරුවා ඇඳ මතින් වාඩිකරවූ ඇයද වෙනත් ඇඳුමක් බෑගය තුළින් ගෙන තමන් ඇඳසිටි ඇඳුම ගලවා දමා බෑගයතුළින් ගත් ඇඳුම ඇඟලා ගත්තාය. ඉන් පසු වෛද්‍ය වරයෙක් හමුවට නගරයට යාම සඳහා දරුවාගේ අතින් අල්ලාගෙන ගෙතුළින් එළියට පැමිණියාය. මේ වන විට සින්නයියාද ගමනට සූදානම්ව සිටියේය. රාමේශ්වරී මිදුලට පැමිණි විට සින්නයියා නිවසේ දොර හොඳින් වැසුවේය. ඉන් පසු දොරෙහි වූ යතුර ගෙන තම බඳපටියෙහි දවටාගත්තෙය. ඉස්තෝප්පු පඩියේ සිට සරම පිට පොට ගසා හැඳගත් ඔහු පහත්වී දරුවාද සුරතට වඩාගෙන රාමේශ්වරීද පෙරටුකොටගෙන වෛද්‍ය මධ්‍යස්ථානයකරා පා ගමණින්ම යන්නටවූවේය. ඔවුන් එහි යන විට වෛද්‍යවරයා පැමිණ සිටියේ නැත. එබැවින් වෛද්‍යවරයා පැමිණෙන තෙක් රැඳී සිටීමට ඔවුන්ට සිදුවිය. රෝගීන් කිහිප දෙනෙක් වාඩිවී සිටි බංකුවේ කොණක ඔවුන් වාඩිවූවෝය. කතා බහකින් තොරව ටික වේලාවක් සිටිනවිට වෛද්‍යවරයා පැමිණි බව සේවිකාවක් කීවාය. ඔවුන්ට පෙර පැමිණ සිටි අය බෙහෙත් ගන්නාතුරු පෝලිමේ සිටින්නට ඔවුන්ට සිදුවිය. බිත්තියේ ගසා තිබූ විවිධ වූ දැන්වීම් සියල්ලම කිහිපවාරය බැගින් සින්නයියා කියෙව්වේය. බිත්තියෙහිවූ ඔරලෝසුවෙන් වේලාව බැලූ වාර ගණනද අමතකය. බොහෝ වේලාවක් පෝලිමේ සිටි පසු ඔවුන්ගේ වාරය පැමිණියේය. දැන් තමන් ඉදිරියේ ඇත්තේ කොළ පාට ඝණ රෙද්දකින් ආවරණය කරන ලද දොරටුවයි.

ඇතුළට එන්න....෿යි වෛද්‍යවරයා අසල සිටි සේවිකාව කතා කළේය. රාමේශ්වරීද සමඟින් ඔහු දරුවා වඩාගෙනම වෛද්‍යවරයාගේ කාමරයතුළට ගියේය.

වාඩිවෙන්න..෿යී වෛද්‍යවරයා පුටුවක් දක්වමින් කීවේය. සින්නයියා පුටුවෙහි වාඩිවූයේ දරුවා තම ඔඩොක්කුවට ගනිමින්ය. සින්නයියා දෙසත් අතෙහිවූ දරුවා දෙසත් බැලූ වෛද්‍යවරයා,

බෙහෙත් ගන්නෙ කාටද?...෿යි ඇසුවේය.

අනේ දොස්තර මහත්තයෝ මේ දරුවා කථා කරන්නෙ නෑ....
ලෙඩක්ද දන්නෙ නෑ..෿ යි සින්නයියා කීවේය. ඒ අනුව වෛද්‍ය වරයාද තමන්ට හැකි උපරිම අයුරින් දරුවා හොදින් පරීක්ෂා කළේය.

මේ දරුවට එහෙම අසනීපයක් නෑනේ.... මොකකටහරි බයවුනාද දන්නෙනෑ.... කම්පනයක් වෙන්නත් පුළුවන් කොහොමඋනත් ටිකදවසක් යනකොට හරියයි... ළමයගැන ටිකක් විපරමෙන් ඉන්න දැනට බෙහෙත් ඕනිනෑ...෿ යි වෛද්‍යවරයා දරුවාගේ දෙමාපියන්ට කීවේය.

නෑ.... නෑ.... අද දවල් ඉඳන් දරුව කියන කිසිම දෙයක් අපිට තේරෙන්නෙ නෑ...෿ යි ඔවුන් නැවතත් කීවේය.
මේ පොඩි දරුවනේ පස්සෙ හරියයි. ටිකක් ඉවසන්නවෙයි....෿ වෛද්‍ය වරයා කීවේ තමන්ට තව බොහෝ රාජකාරී ඇති බැවිනි. වෙනත් කළයුතු දෙයක් නොමැති බැවින් සින්නයියත් රාමේශ්වරීත් තම දරුවා රැගෙන ආපසු නිවසට ආවෝය. වෛද්‍යවරයා ඉදිරියේ දරුවා කිසිම වචනයක් කථාකළේ නැත. ඔහු කියන කිසි දෙයක් සින්නයියටවත් රාමේශ්වරීටවත් තේරුනේ නැත. ඔවුන් කියන කිසි දෙයක් සන්දනම්ට තේරුනේද නැත. මේ නිසා දෝ සන්දනම් කිසිදු කථාවකින් තොරව නිහඩව කාලය ගත කිරීමට පෙළඹුනේය. දරුවාගේ මෙම නිහඩ බව රෝගයක් සේ සැලකූ සින්නයියත් රාමේශ්වරීත් තමන් සතු හැම මුදලක්ම වියදම් කරමින් අසන අසන හැම දෙනාම හොඳයි හොඳයි කියන හැම වෛද්‍ය වරයෙක් කරාම දරුවා රැගෙන ගියෝය. ඔවුන්ට කළ හැකිව තිබුණේ එපමණකි.

මේ දරුවට කිසිම කථනාබාධයක් නෑනේ....
කිසිම ලෙඩක් නෑ.....
කථා කරන්න බැරිවෙන්න කිසිම හේතුවක් නෑ...
සමහරවිට ලොකු කම්පනයක් ඇතිවෙලා වෙන්න පුළුවං....
ඒක ටික කාලයක් යනවිට හරියන්න පුළුවං....
බොරුවට බෙහෙත් දීල වෙන ලෙඩක් හැදෙයි .......෿ සෑම වෛද්‍යවරයෙක්ම පාහේ එසේ කීවේය. දැන් සින්නයියටත් රාමේශ්වරීටත් තම දරුවා වෙනුවෙන් කළයුතු දෙයක් නැත. ඉඳ හිට හෝ දරුවා කථා කරනු ඇසෙන්නේය. ඒත් ඒ කිසිවක් තමන්ටවත් තම ස්වාමියාටවත් තේරුම් ගැනීමට නොහැකිය. දරුවා කථා නොකරම හැරියේය. ගොළුවන්සේ මුළු දවසම ගත කිරීමට රාමේශ්වරීට සිදුවූවාය. අතමිටෙහි මුදල් හිඟ වන නිසා සින්නයියාද යමක් හම්බකරන් එන්නට නිවසින් පිටව යන්නේය. දරුවා මොනවා හෝ කියවන්නේනම් හිතට දුකක් නැත්තේය. නොතේරෙන දෙයක් වූවාට කමක්නැත. පාළුව කාංසිය හෝ එමගින් දුරුකරගත හැකිය. දරුවා දෙස බලන බලන මොහොතක් පාසා හදවතට නැගෙන්නේ අපිරිමිත දුකකි. ත්‍රස්තවාදයෙන් නැගෙනහිර පළාත මුදාගත් පසු සින්නයියත් රාමේශ්වරිත් එකම වහලක් යට අළුත් ජීවිතයක් ආරම්භ කළේ නිදහසේ අරුනැල්ල සමගිනි. තම ගේ පැල එළිය කල මේ පුංචි දරුවා රාමේශ්වරීගේ කුසට පැමිණි බව දැනගත් මොහොතේ සින්නයියට රටක් රාජ්‍යක් පහලවුනා හා සමවූවේය.

මගේ පැටියා හොඳට බලාගන්න ඕනි... හොඳද...
මොනවද ඔයාට කන්න එහෙම ඕනි කියන්න.... කියන්න....
මං ගෙනත් දෙන්නම්....෿ ඔහු තමා දෙස මහත් සෙනෙහසින් බලමින් පැවසූ හැටි ඇයට සිහිවූවාය.

හා..... හා...... ඔය වගේ බර වැඩ එහෙම කරන්නෙ නෑ ආයෙත්.....
ඒ වගේ වැඩ තියෙන වෙලාවට මට කියන්න ඕනි හොඳද ?.....
මට කතා කරන්න.....෿

සින්නයියා එහෙම කියමින් සෑම වෙලාවෙම රාමේශ්වරීව පරෙස්සම් කළේය. නූපන් දරුවාටත් තමන්ටත් අපමණ ආදරයක් දැක්වූ සින්නයියා ඒ ආදරය නිසාම තමන්ව රැකගැනීමට ඉතා ආදරණීය සැරවැර කිරීම් කරන බව ඇය දැන හුන්නාය. සින්නයියාට පමණක් නොව තමන්ද මේ දරුවාට කොතරම් සෙනෙහසක් දැක්වූවාදැයි ඇය කල්පනා කළාය. ඇය දිනක් දෙකක් පමණක් නොව ඉඩ ලද හැම මොහොතෙම දරුවාට වැළඳුණු මේ අමුතු අසනීපය පිළිබඳ කල්පනා කළාය. දරුවා ඇගේ කුසට පැමිණි පසු ඇය සෑම විටම දරුවා කෙරෙහි සිතුවාය. තමාට වඩා දරුවාගේ පෝෂණයට අවශ්‍ය දේවල් සකස්කරගෙන කෑමට පටන් ගත්තාය. තමන්ට අවශ්‍යයයි හැඟුණු හැම දෙයක්ම සින්නයියා තමන්ට පුළුවන් ආකාරයට ගෙනැවිත් දුන් බවද ඇය අපරිමිත දයාවකින් යුතුව සිහිපත්කළාය. ටිකෙන් ටික කුස ඉදිරියට නෙරා එද්දී දරුවා පිළිබඳ සෙනෙහසද පුර පසෙහි සඳ මෙන් හදවතෙහි මෝරන්නට වූවාය. තම දරුවා පුතෙක් වුවද දියණියක් වුවද කවුරු වුවද මේ කුසේ දරාසිටින්නේ තමන්ගේ දරුවාය. ඒ දරුවා තම පණ මෙන් ආරක්ෂාකිරීමට ඇය හැම විටම කල්පනාකළාය. ඒ තමන්ගේ මෙන්ම සින්නයියාගේද ප්‍රාණය වූ බැවිනි. මොහොතින් මොහොත ඇය තම අතින් කුස පිරිමදින්නේ දරුවාගේ දැඟලිල්ලක් ඇත්දැයි දැනගැනීමටය. වරක් දෙකක් ඉහලටත් පහලටත් කුස පිරිමදින විට තම කුස තුළ සිටින දරුවා බඹරයක් වගේ රවුමට කර කැවෙන හැටි ඇයට දැනෙන්නීය. සමහරවිට සියුම් වේදනාවක්ද නොදැනුනා නොවේ. එනමුදු ඒ වේදනාව දරුවා කෙරෙහි ඇතිවූ සෙනෙහසින්ම දියවී යනු ඇයටද නොදැනුනාය.

ලෝකයේ ඕනෑම කාන්තාවක් පමණක් නොව තිරිසන් සතකු පවා දරුවෙක් මේ ලෝකයට බිහි කිරීමේදී විඳිනු ලබන වේදනාව විඳිමින් රාමේශ්වරීද තම දරුපැටියා මේ ලෝකයට බිහිකළාය. ඒ මොහොතේ ඇගේ දෙනෙතින් ගලා ගිය කඳුලැලි මහා සාගරය තරම්වූවාය. මහමෙර නුහුලනා තරම් වූ වේදනාවක් විඳිමින් දරුවා බිහිකළ පසු ඒ වේදනාව අමතක වන්නේ දරුවාගේ මුහුණ දැකීමෙන් පසුව පමණක්ය. ඇය තමන් මේ දරු පැටියා බිහි කිරීමේ දී ලත් ඒ අත්දැකීමද සිහිපත්කළාය. තම ළයට තුරුළුකර ගත් අසරණ කිරිකැටියාට තම තන පුඩුවෙන් කිරි උරා බීමට හැකියාවක් නොතිබුණේය. දකුණතින් දරුවා තුරුළුකරගෙන වමතින් තනපුඩුව සිඟිති මුවට තබා බින්දුවෙන් බින්දුව කිරිපොවන්නට ඇය මහත් වෙහෙසක් දැරුවාය. තම උත්සාහය සාර්ථක වූ බව ඇය දැන ගත්තේ දරුවාගේ මුව පොඩිත්තෙන් තම තන පුඩුව උරා බීමට පටන්ගත් පසුවය. කිරි රස මුවට දැණුනු පොඩිත්තා හරිම කඩිසර කමෙන් යුතුව කිරි උරා බොන දෙස රාමේශ්වරී මහත් සෙනෙහසින් යුතුව බලා සිටියාය. එක් අතක් තම පපුවට තබාගෙන සිඟිති දෙනෙත පියාගෙන කිරි උරා බොන තම සිගිත්තා ඇගේ අනාගතයම වූවේය. මේ දරුවා තමන්ගේත් තම ස්වාමියාගේත් අනාගතය ආලෝකමත් කරනු ඇත. තම නිවසේ පහන් සිළුව ඔහුය. ඒ නිසා ඔහු වෙනුවෙන් කළයුතු හැම දෙයක්ම කිරීමට ඇය අදිටන් කර ගත්තීය. එනමුදු දැන් ඒ සියල්ල ගලක හැපුණු වීදුරු පාත්තරයක් මෙන් සුනු විසුණු වී යන සෙයක පෙර ලකුණු පෙනෙන්නේය. ළඟක් වනතුරුම තමන් හා දොඩමලුවී කෙළිදෙලෙන් කථාකරමින් සුරතල් වූ තම එකම වස්තුව හිටිහැටියේම තමන්ටත් සින්නයියටත් නොතේරෙන වදන් තෙපලන්නේය. ඒ කිසිවක් තමන්ටවත් තම ස්වාමියාටවත් අසල්වැසියන්ටවත් අඩුම තරමේ මේ තම දරුවාගේ අසනීපයක් විය හැකියැයි සිතා දරුවා පෙන්වන ලද වෛද්‍යවරුන්ටවත් තේරුම්ගැනීමට නොහැකිවිය. වෛද්‍යවරු කිහිපදෙනෙක් ළගටම රැගෙන ගියත් දරුවාට අසනීපයක් නැතැයි ඔවූහූ පැවසුවෝය. දැන් දරුවා තමන් හා කථා කරන්නේම නැත. සින්නයියා සමග බථා බහ කරන්නේද නැත. දරුවා කතාකරවීමට කළ හැකි යමක් වේදැයි රාමේශ්වරීත් සින්නයියත් හැම විටම කල්පනා කළේය.

අපි පුතාව අරගෙන කෝවිලට යමුද?....෿යි එක දිනෙක සින්නයියා ගෙදරට ආ පසු රාමේශ්වරී කීවාය. තමන්ගේ එකම දරුවාගේ අසනීපය වෙනුවෙන් මේ දෙදෙනාටම කළ හැකිව තිබෙන කිරීමට ඉතිරිව ඇති එකම පිළියමද මෙය පමණක්ය. ඒ බව සින්නයියාටද වැටහුනේය.

කවද්ද අපි යන්නේ.....෿ යි ඔහු රාමේශ්වරීගෙන් පෙරළා ඇසුවේය.

හෙට බදාදා, අපි හෙට උදේම යමු.....෿ යි ඇය සින්නයියා අමතා කීවාය.

මොනවද ගෙනියන්න තියෙන්නෙ මල් එහෙම ඕනි නේද?....෿යි මිඳුල දෙස බලමින් සින්නයියා රාමේශ්වරීගෙන් විමසුවේය.

මල් ටිකක් නම් හොයා ගන්න පුළුවන්..
ඔයා ගමේ ඇවිදල පළතුරු ටිකක් හොයාගෙන එනවද?.....෿

හ්ම්....෿ යැයි කී සින්නයියා ඇඳ විට්ටමේ තබා තිබූ තම තුවාය ගෙන ගෙල වටා දමා ගනිමින් නැගී සිටියේය. ගෙපිලට පැමිණ අහස දෙස බැලූ ඔහු මොහොතක් නතරව සිට මිදුලට බැස පිටත්ව ගියේය.

කැවිලි ටිකක් හැදුවනම් හොඳයි....෿ තමාටම කියා ගත් රාමේශ්වරී ගේ ලඟ හන්දියේ තිබූ කඩයට දිව ගියාය. කඩයට ගොඩවූ ඇය කැවිලි වර්ග කිහිපයක් සෑදීමට අවශ්‍ය පිටි සීනි හා තෙල් මිළදී ගත්තාය. කඩයේ සිට ආපසු නිවසට එන අතර අසල්වැසි කාන්තාවන් කිහිප දෙනෙක්ද තමන්ගේ අත්උදව්වට නිවසට කැඳවාගෙන ආවාය. හනි හනිකට කැවිලි වර්ග කිහිපයක් සාදා ගත්තාය. ඉන්පසු ඇය තම නිවෙස අවට නිවෙස් වලින් මල් වර්ග කිහිපයක්ද කවරයකට එකතුකර ගත්තාය.

අර තැඹිලි ගහෙන් ගෙඩියකුත් කඩා ගත්තනම් හොඳයි නේද?....෿ යි ඇය කීවේ සින්නයියා නිවසට පැමිණි පසුවය.

ර්‍ණඑකක් ඇතිද?....෿ යි ඇසූ ඔහු වහා ගසට නැඟ තැඹිලි ගෙඩියක්ද බොහෝ පරෙස්සමින් කඩා ගෙන ආවේය. තමා කඩාගෙන ආ තැඹිලි ගෙඩිය රාමේශ්වරී අතට දුන් ඔහු,

බුලතුත් ඕනි නේද?....෿ යි ඇයගෙන් ඇසුවේය.
හරි ..... හරි මම බුලත් ටිකක් වත්ත පහලින් කඩාගෙන එන්නම්....෿ පැවසූ සින්නයියා ගෙමිදුලට බසින ගමන්,

කපුරු හඳුන්කූරු එහෙමත් ඕනිද?....෿ යි ඇසුවේ බුලත් කඩාගෙන ආපසු එන ගමන් කඩයටද ගොඩවැදී අනෙක් අඩුපාඩුද ගෙනඑන්නටය.

ඔව්.... ඔව් පහන් තිර පැකට් එකකුත් ගේන්න.....෿ යි ඇය කුස්සියේ සිටම සින්නයියාට ඇසෙන සේ හඩගා කීවාය. පසුදා පාන්දරම දෙන්න දෙමාල්ලෝ තම ආදරණීය දරුවාද රැගෙන නගරය සමීපයේ වූ පුල්ලෙයාර් කෝවිලට ගියෝය.

මේ.... අර වට්ටියක් ගත්තනම් හරි.....
මේක ඇතිද?.....
ඇති ..... ඇති ..... කෝ දෙන්න.....
අර වතුර බේසමට කහ කුඩු ටිකක් දාල කලවම් කරන්නකො.....
කෝ දෙන්න.... මං ඔය ටික කහ වතුරෙන් සෝදල දෙන්නම්.....
හරි ..... හරි ඔයා සෝදල දෙන්න....
මම ඒ ටික වට්ටියේ අහුරන්නම්.....
ආ... මේ බුලත් ටික ඉස්සෙල්ල අහුරල ඉන්න...
වට්ටිය වටෙිට නැටි එන විදිහට අහුරන්න අන්න හරි.....
කෝ.... පළතුරුටික දෙන්න...... එක එක දෙන්න.....
ඔය කෙසෙල් ඇවරියේ උඩින් පෙත්තක් කපන්න.....
ඔය කලුපාට ටික කපපුවහම ඇති....
අනේ ඔයාම කපල දෙන්න......අනේ පුතා කොහෙද?......
පුතා අතන ඉන්නව.... මම පුතා දිහා බලාගෙන ඉන්නේ......
ආ... එහෙනම් මේ තැඹිලි ගෙඩිය අල්ලගන්න.....
නෑ........ නෑ..... ඕකේ ඇස්ස කපලම දෙන්න...
එතකොට ඒක වට්ටියේ තියන්න පුළුවන්නේ...
ආ..... මේක තියන්න.... කෝ කෙසෙල් ඇවරිය මට දෙන්න.....
මේ... මේ පළතුරු ටික තියපුවහම වට්ටිය හරි....
ඇයි පඩුරු තියන්නෙ නැද්ද ?
හා.....නේ අමතක උනා අනේ ඒ ටිකත් සෝදල දෙන්න...
නෑ..... නෑ..... ඔයාම මෙතනින් තියන්න.....
කෝ... දරුවත් එක්කරගෙන යමු කෝවිල ඇතුළට.....
හරි ඔයා පළතුරු වට්ටිය අතට ගන්න.....
හරි මං වට්ටිය ගන්නම් ඔයා ඉස්සරවෙන්නකෝ.....෿

තිදෙනාම කෝවිලතුළට ගියෝය. කුමන දේවතාවෙක් ඉදිරියට යන්නේ දැයි ඔවුන්ට සිතාගත නොහැකිය. කෝවිල වටේටම එක එක දේවතාවන්ගේ ප්‍රතිමාවන් සිත්තම්කර තිබුණේය. ඉදිරියෙන් ගිය රාමේශ්වරී ආපසු හැරී සින්නයියා දෙස බැලුවාය. ඒ බැල්මේ වූයේ කොයි දේවතාවා ළගට යන්නදැයි විමසීමය. සින්නයියාද පළතුරු වට්ටිය අතේ තබාගෙන වට පිට බැලුවේය.

කෝ...... ඔය කට්ටිය මෙහෙට එන්න....෿ යි කෝවිලේ කෙළවරකට වී සිටි පූජකවරයා පැවසූවෙන් ඔවුන් යාන්ත්‍රිකව මෙන් ඒ පූජකවරයා සිටි දෙසට ගියෝය.

කාටද? ඇයි මේ පූජාව තියන්නේ......෿ පූජකවරයා සින්නයියා දෙසත්, රාමේශ්වරී දෙසත් බලමින් ඇසුවේය.

මේ අපේ පුතාට......
ඇයි?.... පුතාට මොකද? අපල තියනවද?.....
අනේ..... කපු මහත්තයෝ මේ පුතා කථා කරන්නේ නෑ.... ඒකයි.....
දොස්තර මහත්තෙක්ට පෙන්නුවේ නැද්ද?.....෿ යි පූජකවරයා යළිත් සිනනයියාගේ මුහුණ දෙස බලමින් ඇසුවේය.

පෙන්නුවා..... දොස්තර මහත්තුරු කිහිප දෙනෙකුටම පෙන්නුවා ඒ අය ඔක්කොම කියනවා මේ දරුවට ලෙඩක් නෑ කියලා. ඒත් මේ දරුවා කියන කිසිම දෙයක් අපිට තේරෙන්නේ නෑ. දැන් අපිත් එක්ක කථා කරන්නෙත් නෑ......෿යි සින්නයියා කියාගෙන ගියේය.

ලෙඩක් නැත්නම් මොකටද පූජාවල් තියන්නෙ අපලතියෙනවද දන්නෙත් නෑ නේද?...෿ යි ඇසු පූජකවරයා හුරුබුහුටි දරුපැටියා දෙස හොඳින් බැලුවේය. දරුවාට පෙනෙන්නට අසනීපයක් නැත්තේය. හොඳ සනීපෙට හැදුණු දරුවෙක් බව පෙනෙන්නට තිබෙන්නේය. ශරීරාබාධයක් නොවේ නම් කිසිවෙක්ට සොයාගත නොහැකි තේරුම්ගත නොහැකි මානසික ආබාධයක් විය හැකි බව පූජකවරයාට තේරුම් ගියේය. ඒ නිසා දරුවා සමඟ මිතුරුවීමටත් දරුවාගේ දෙමාපියන්ගේ සිත සැනසීමටත් සිතාගෙන යම් පූජාවක් කිරීමට පූජකවරයා කල්පනා කළේය.

කෝ.......
ඔය පූජා වට්ටිය මෙහෙට ගේන්න.....
ඔය කට්ටිය ඔක්කොම මෙහෙට එන්න.....
පූජකවරයා සින්නයියා අතින් මනාව පිළියෙල කර තිබූ පළතුරු වට්ටිය ගත්තේය.

දරුවා මේකට සාදු කියන්න....෿යි තමා අතට ගත් පූජා වට්ටිය දරුවා ළගට ගෙන යමින් පූජකවරයා කීවේය. පූජකවරයා පුංචි සන්දනම්ගේ ඉදිරියේ සිටගෙන පළතුරු වට්ටිය පහත්කරගෙන අල්ලාගෙන සිටියේය. සන්දනම්ගේ මතකය අළුත්වූවේය. ඔහු කෝවිල්වලට ගොස් පූජාවන් පවත්වා තිබුණේය. හැබැයි ඒ මේ භවයෙදිනම් නොවුණේය. පෙර භවයේ මතකයෙන් ඔහු ප්‍රාර්ථනාවක් කරමින් පූජකවරයා අත වූ පළතුරු වට්ටියට වැන්දේය.

මගේ අම්මා ලඟට යන්න ලැබේවා.....෿යි වට්ටියට අත ගැසූ පුංචි සන්දනම් දොහොත්මුදුන් දී වඳින ගමන් තෙවරක් කීවේය. ඉතා සියුම්ව තීක්ෂණ දෙනෙතින් දරුවා දෙස බලා සිටි පූජක වරයාට දරුවා තොල් මතුලමින් නමුත් දැඩි අධිෂ්ඨානයකින් කියූ දෙය තේරුම් ගැනීමට මොහොතක් ගත වූයේය. පූජකවරයා මේ ද්‍රවිඩ දරුවාගෙන් එවන් වදනක් බලාපොරොත්තුවූයේ නැත.

ම්...... සිංහලෙන් නේද එහෙම කිව්වේ....෿ පූජකවරයා තමාටම කියා ගත්තේය. පූජකවරයාද සිංහල ගම්මානයක සිට මෙහි පැමිණ පදිංචිවූවෙක්ය. ඒ නිසා පූජකවරයාටද සිංහල භාෂාව කථාකළ හැකිවූවේය. සින්නයියා දෙසත් රාමේශ්වරී දෙසත් ජයග්‍රාහී ලෙස බැලූ පූජකවරයා තමන් අනුමානකරන දෙය එකවරම ඉදිරිපත් කිරීමට නොසිතුවේය. මෙය නිවැරදිවම තහවුරුකරගත යුතුය. එයට දරුවා තමන් සමඟ යහළු කරගත යුතුය. ඒ නිසා පූජකවරයා කලබල නොවී දරුවා යහළුකරගන්නා ක්‍රමයක් කල්පනා කලේය. තමන් දන්නා ද්‍රවිඩ ගාථාවන් මෙන්ම සිංහල ගාථාවන්ද හඩනගා ගායනා කලේය. තමන්ට හැකි උපරිම මිහිරි ආකාරයට ඔහු දෙවියන් උදෙසාම නොව තමන් ඉදිරියේ සිටින සියළු දෙනාගේ සිත් ගන්නා අයුරින් ගායනා කලේය. සිංහල ගාථා ගායනාකරන අතර දරුවාගේ ස්වභාවය සියුම්ව නිරීක්ෂණය කලේය.

හ්ම්...... සිංහල ගාථා කියනකොට දරුවාගේ හොද ප්‍රතිචාරයක් තියෙනවා.....෿යි ඔහු තමාටම කියා ගත්තා මිස කිසිවෙකුටවත් කීවේ නැත. දීර්ඝ වේලාවක් පූජාව පවත්වා එම පූජාවේ කටයුතු අවසන් කළ පූජකවරයා පූජා වට්ටියේ ඉතිරි රස කැවිලි, පළතුරු ආදී බැතිමතුන් කෑමට ගන්නා දේවල් දරුවාගේ අතට දුන්නේය.

ආ.... පුතාට මිදි පොකුරක්....෿යි පළතුරු වට්ටියේවූ මිදි පොකුර ගෙන සන්දනම්ගේ අතට දෙන ගමන් පූජකවරයා කීවේ සිංහල භාෂාවෙනි.
ස්තූතියි......෿ වහා පිළිතුරු දුන් සන්දනම් එය අතට ගත්තේය.
ඔයාගෙ නම මොකක්ද?....෿යි තමන්ට පෑදුණු පොට ඔස්සේ තවත් දුර යාමට කල්පනා කළ පූජකවරයා සන්දනම්ගෙන් ඇසුවේය.

මගේ නම විජේදාස එස්.ජී.෿යි සන්දනම් කීවේය. මෙම ද්‍රවිඩ දරුවා සිංහල නමක් කියන්නේය. ඔහු කථා කරන්නේ සිංහල භාෂාවය. මේ වයසට ඔහු කොහොමද එහෙම ඉගෙන ගන්නේ. පූජකවරයාට මෙය ගැටළුවක් වුවද මෙම ගැටළුව නිරාකරණය කිරීමට හැකි සෑම පියවරක්ම ගත යුතුයැයි ඔහු අදිටන් කර ගත්තේය. සින්නයියා දෙසට හැරුණු පූජකවරයා ඔහුට තමා ළගට එන ලෙසට ඉඟිකළේය.

දරුවට මොකක්ද තියෙනව කිව්ව ලෙඩේ...෿ ඔහු සින්නයියාගෙන් නැවතත් ඇසුවේය.
අපේ දරුවා කියන දේවල් අපිට තේරෙන්නෙ නෑනේ......
එයා හිටි ගමන් මොනවද කියවනව...
අපිට ඒවා කිසිම දෙයක් තෙරෙන්නෙ නෑ.....෿යි සින්නයියා කීවේය.

දරුවට කථාකරන්න බැරි ලෙඩක් නෑ......
මේ දරුව කථා කරන්නෙ සිංහල භාෂාව....... ඔයාලට සිංහල භාෂාව කතා කරන්න බැරි නිසා තේරෙන්නෙ නෑ. මේ දරුව මේ වයසට සිංහල භාෂාව කොහොම ඉගෙන ගෙනද කියන්න මම දන්නේ නෑ......, යි පූජකවරයා තමන්ට වැටහෙන තරමින් ගැටළුව සින්නයියට තේරුම් කර දීමට උත්සාහ කලේය.

ඒ කොහොමද කපු මහත්තයෝ එයා කොහොමද වෙන භාෂාවක් ඉගෙන ගත්තේ....෿යි සින්නයියා වට පිට බලමින් පූජකවරයාගෙන් නැවත නැවතත් විමසන්නටවූයේය.

කලබල වෙන්න එපා..
අපි හෙමිහිට හොයල බලමු.....෿ පූජකවරයා කීවෙන් සින්නයියා නිහඩවූවේය. ඉන් පසු සින්නයියාටත් රාමේශ්වරීටත් එතැන නැවතී සිටින්නට හිසින් සංඥාකළ පූජකවරයා සන්දනම්ගේ අතින් අල්ලාගෙනම කෝවිල් මිදුලට ගියේය.

පුතාගෙ ගම කොහේද?....෿ යි ඔහු ඉතා දයාන්විතව කුඩා සන්දනම්ගෙන් ඇසුවේය.

මම බළන්ගොඩ.... බළන්ගොඩ බෙලිහුල්ඔය කියන ගමේ.....෿යි දරුවා නොපැකිලව පිළිතුරු දුන්නේය. ඉන් නොනැවතුනු ඔහු,

මම යුද්ධ හමුදාවෙ හිටියේ යුද්දෙදි මට වෙඩි වැදුන මතකයි....
මේ මෙතෙන්ට...෿යි ඔහු තමා හැඳ සිටි කමිසය ඔසොවා ළය පෙදෙස පෙන්නුවේය.

ඇත්තමයි,......෿ උඩට ඔසවන ලද කමිසය අතරින් දරුවාගේ ළය දෙස බැලූ පූජකවරයාට දරුවාගේ ළයේ එක තැනක තරමක් ලොකු උපන් ලපයක් තිබෙනු පෙනුනේය.

මට මගේ අම්මා තාත්තා බලන්න යන්න ඕනි..෿යි සන්දනම් පූජකවරයාගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන කීවේය.

හරි ...අපි ඔයාගෙ අම්මා බලන්න යමු....
ඒත් අපිට යන්න පාර හොයාගන්න ඕනි නේද?.....෿
මම යන්න ඕනි පාර දන්නවා......
මාව එක්කං යන්න......
මම පාර යනකොට කියන්නම්.....෿ යි දරුවා කීවේය. දරුවා එසේ කීවද මෙතරම් කුඩා දරුවෙක් කියන දෙය සියයට සියයක්ම විශ්වාස කිරීමටද නොහැකිය. කෙසේ වෙතත් මේ දරුවාට තමන්ගේ වර්තමාන තත්ත්වය අමතකව ඇත්තේය. පෙර භවයෙක මතකයක් ඉස්මතුව ඇත්තේය. මිනිසාගේ දිවි ගමනේ දී මුහුණ දීමට සිදුවන දුක සැප හමුවේ මිනිසාට එළැඹෙන බොහෝ දුක් ගැහැටවලට ඔවුන්ගේ පිහිට පතා දෙවොලේ වැඩ සිටින දෙවියන්ට යාතිකා කිරීමට, අසරණ අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමට තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කළ බව පූජකවරයා කල්පනා කළේය. තමන්ගේ ඉස - නිකට පැසුනේ මිනිසුන්ගේ විවිධ වූ අනන්ත අප්‍රමාණ වූ ප්‍රශ්ණයන් වෙනුවෙන් පිහිට, සරණ දෙවියන්ගෙන් ලබාදීමටය. එනමුදු මෙවන් ගැටළුවක් තම ජීවිතයේ අත්විඳීමට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මේ දරුවාට කිසිදු රෝගයක් නැත්තේය. ඔහුට ඇත්තේ වෙනත් භවයෙක මතකයක්ය. තම ආගමත් සමඟ වෙනත් ආගම් පිළිබඳව ඉගෙනීමේ ආශාවෙන් හා අදහසින් කියවන ලද එක් පොතක මෙවන් වූ කථාවක් තිබුණු බව ඔහුට මතක් වූයේය.

එහෙනම් ඒ වගේ දේවල් ඇත්තටම තියෙනවා......෿ යි ඔහු සිතුවා මිස නොකීවේය.

කොහොම උනත් අර දෙන්නගෙන් අහන්නත් ඕනි....෿ පූජකවරයා සන්දනම්ට ඇසෙන සේ පැවසුවේය.

අනේ මම මගෙ අම්ම ලඟට එක්කන් යන්න....෿ ඔහුගේ එම ඉල්ලීම අතිශ්‍යයින්ම ආයාචනාත්මකවූවේය. සංවේදීවූවේය. වයෝවෘද්ධ පූජකවරයාට එය දරාගත නොහැකිවූවේය.

හරි ..... හරි...... මම ඔයාව ලඟදිම ඔයාගෙ අම්ම ලඟට එක්කන් යන්නම්..., යි පූජකවරයා තීරණාත්මකව කීවේය.

,ඔය ඇත්තටමද?.....,
ඔව් අපි අරගොල්ලන් එක්කත් කථා කරමු.....෿යි පූජකවරයා සින්නයියා හා රාමේශ්වරී පෙන්වමින් කීවේය.

ඒ ගොල්ලන් කවුද?.....෿ සින්නයියා හා රාමේශ්වරී පෙන්වූ පසු සන්දනම් පූජකවරයාගෙන් ඇසුවේය. ඒ තමන්ගේ මේ භවයේ දෙමව්පියන් බව අවබෝධකර දීමට පූජකවරයාට නොහැකිවූවේය. පූජකවරයා හා තමන්ගේ දරුවා ඉතා කුලුපගව කථා කරනු දුටු සින්නයියටත් රාමේශ්වරීටත් බලාපොරොත්තුවේ සියුම් ආලෝකයක් ඇතිවූයේය. තමන්ට තේරුම්ගත නොහැකි යම් භාෂාවක් දරුවා කථා කළද තමන්ට එය නොතේරීම ඔවුන්ගේ නෙතඟ කඳුළු ධාරා මතු කිරීමට සමත්වූවේය. පූජකවරයා තමන් දෙදෙනා දෙසට එනු දුටු ඔවූහු ඒ පෙර මඟට ගියෝය.

ඔයාලත් එක්ක වැදගත් දෙයක් කථා කරන්න තියෙනවා.....෿ යි පූජකවරයා කථාවට මුල පුරමින් කීවේය.

දරුව සනීප කරන්න පුළුවන්නං අපි ඕනි දෙයක් කරනවා...ඇත්තමයි....෿යි සින්නයියා කීවේ රාමේශ්වරීගේ මුහුණ දෙසද බලමින්ය. රාමේශ්වරීද තම හිස වනා එය තහවුරු කළාය.

මට තේරෙන විදිහට මේ දරුවගෙ මතකය වෙනස්වෙලා. සමහරවිට ඒක හදා ගන්නත් පුළුවන් වෙයි. හැබැයි ඊට කලින් මේ දරුවා කියන්නෙ ඇත්තද කියල බලා ගන්න මට ආසයි. ඔය ගොල්ලන් ඒකට මොකද කියන්නෙ....෿යි පූජකවරයා සින්නයියාගෙත් රාමේශ්වරිගෙත් මුහුණු දෙස වරින් වර බලමින් විමසුවේය.

අපි කොහොමද ඒක දැන ගන්නෙ....෿ යි සින්නයියා තම සිතේ ඇතිවූ කුකුස සමඟින් පූජකවරයාගෙන් ඇසුවේය.

දරුවා කියන දිහාවට අපි ගිහින් බලමුද? එතකොට දරුවා කියන්නෙ ඇත්තක්ද නැත්නම් බොරුවක්ද කියලා අපිටම බලා ගන්න පුළුවන්...෿ ඔහු කරුණු එකින් එක පැහැදිලි කළේය.
අනේ මොන දීපංකරේක යන්නද කපු මහත්තයෝ....
ඊටමත් අපි නොදන්න පළාත්වල නේද....෿ යි සින්නයියා කියවන්නටවූවේය.

ඒකට කාරි නෑ.....මේක අපේ රටනේ.... මොන දීපංකරේ ගියත් යන වියදම මම බලා ගන්නම්......෿ යි කපු මහත්තයා පුංචි සන්දනම්ගේ හිස අතගාමින් කීවේය. කපු මහත්තයා හා සින්නයියා අතර ඇතිවූ මෙම කතා බහට දෙසවන් යොමා සිටි රාමේශ්වරීට සින්නයියා කෙරෙහි අමනාපයක් ඇතිවූවාය. ඒ වෙන කිසිවක් නිසා නොව තම දරුවා වෙනුවෙන් මේ ගමන යාමට අදිමදි කිරීම හේතුවෙන්ය. ඒ නිසා තමන්ගේ සිතෙහි ඇතිවූ සැකය දුරුකර ගැනීම සඳහා රාමේශ්වරී කපුමහත්තයා සමීපයටම ආවාය.

මේ දරුව කියන දිහාවට ගියොත් අපිට දරුවව සනීපකරගන්න පුළුවන්වෙයිද? ....෿ යි ඇය කපු මහත්තයාගෙන් විමසුවාය.

සමහරවිට පුළුවන් වෙයි. ඒ කොහොමවූනත් දරුවා කියන්නෙ ඇත්තද කියල හරි බලාගන්න පුළුවන්නේ... නේද?...෿ යි ඔහු දෙදෙනාගෙන්ම ඇසුවේය. එම ප්‍රශ්ණයට දෙදෙනාම හිස වැනීමෙන් පිළිතුරු දුන්නේය.

එහෙනම් අපි කවදද මේ ගමන යන්නෙ.....෿ යි සින්නයියා කපු මහත්තයාගෙන් විමසුවේය.
ආයෙ කල් දම දමා ඉන්න ඕනි නෑ...
මම වාහනයක් කතාකර ගන්නම්....
මගේ වාහනෙන් උනත් ගියහැකිනෙ.....
හෙට උදේම පිටන්වෙමු....
දැන් ඔය ඇත්තොත් ගෙදර ගිහින් ගමනට ඕනිකරන දේවල් අරගෙන හවසම මෙහෙට එන්න..... දෙවි පිහිටෙන් අපිට උදෙන්ම ගමන පිටත්වෙන්න පුළුවන්....෿ යි කපු මහත්තයා කීවෙන් සින්නයියත් රාමේශ්වරිත් ආපසු නිවසට යන්නට සූදානම් වූවෝය. ඒ අතර කපු මහත්මයා පුංචි සන්දනම්ට කතා කළේය.

අපි හෙට උදේම ඔයාගේ අම්ම බලන්න යනවා....
ඔයා කැමතිද?....෿ යි ඇසුවේය. ඒ සමඟම සන්දනම්ගේ මුහුණ මලක් මෙන් විකසිතවන ආකාරය කපු මහත්තයා අපමණ දරු සෙනෙහසින් යුතුව බලා සිටියේය. දෙවොලක් ඉදිකරගෙන ජනී ජනයාගේ දැවෙන ජීවිතවලට යම් සහනයක් ලබාදීමටත් එමඟින් තම ජීවිතය ගැටගසා ගැනීමටත් තම තාරුණ්‍ය කැප කළ මේ වයෝවෘද්ධයා තම ජීවිතයේ හරිහම්බකරන ලද සියල්ලවුවද මේ දරුවා වෙනුවෙන් කැප කිරීමට සූදානම්වූවේය. ඒ තරම්ම ආදරයක් මේ දරුවා කෙරෙහි කපු මහතා තුළ ඇතිවී තිබුණේය. එයද දෛවෝපගත බැඳීමක් විය හැකිය. දරුවාගේ වෙනස භෞතික ලෝකයේ සාධකයන්ගෙන් පෙන්නුම් කිරීමට අපහසුවුවත් අදෘෂ්‍යමාන බලවේගයක ක්‍රියාවලියක් බව සනාථකර ගැනීමට යම් හැකියාවක් ලැබෙතැයි කපුමහතා කල්පනා කළේය.

අනේ මම කැමතියි...
දැන් උනත් කමක් නෑ....
මගේ අම්මා බලන්න මට යන්න ඕනි.....෿
දැන් යන්න බෑනෙ පුතේ....
අපි හෙට උදෙන්ම පිටත්වෙමු හොඳේ....෿
හා උදෙන්ම යමු.....
ඔයා මාව එක්කරගෙන යන්න.....
ඔයත් එන්න.....෿

තමන් දෙදෙනා සමඟ කතා නොකරන දරුවා කපු මහතා සමඟ ඉතා කුළුපගව අදහස් හුවමාරුකරගන්නා ආකාරය දෙස බලා සිටි රාමේශ්වරී ඒ බව සින්නයියාටද පෙන්නුවාය.
අර බලන්නකෝ.... අපේ පුතා කපුමහත්තයත් එක්ක කතා කර කර ඉන්නේ...෿
පුතා කියන ඒව කපු මහත්තයට තේරෙනවා....
අපිට තේරෙන්නෙ නෑනෙ.....
ඒක හින්ද පුතා කියන ඒව කරන්න අපි දන්නෙ නෑනෙ....
කපු මහත්තය කියන විදිහට අපි වැඩ කරමු.....
පුතා සනීපකරගන්නත් පුළුවන් වෙයි.....෿
අනේ එහෙනං කොච්චර එකක්ද?.....
මේ දරුව නැතිව මට ජීවත්වෙන්න බෑ.....
අපි කොච්චර සන්තෝසෙන්ද හිටියේ.....
අනේ ඒ කාලෙ ආයෙත් එනවනං.....නේද?....෿
ඔව් හැමදාම දුක් විඳින්න වෙන එකක් නෑනේ කන්දක් නැග්ගම පල්ලමකුත් තියෙන්න ඕනිනෙ.....෿ යි අවසානයේ සින්නයියා කීවේය. ඉන් පසු සින්නයියා හා රාමේශ්වරී කපු මහත්තයාගෙන් සමු අරන් සන්දනම්ද කැටුව තම නිවෙස බලා පිටත්ව ගියේ සවස්වන විට ගමනට අවශ්‍ය දේවල්ද රැගෙන ආපසු එන බවට පොරොන්දු වෙමින්ය.

සින්නයියා හා රාමේශ්වරී පුංචි සන්දනම්ගේ අතින් අල්ලාගෙන පියනගන දෙස බලා සිටි කපු මහතා ඔවුන් නොපෙනී ගිය පසු තම කුටියට ගියේය. තම අතවැසියෙක්ට කතාකළ කපු මහතා,

අපි හෙට උදේම ගමනක් යන්න හිතාගෙන ඉන්නවා....
අපේ වාහනේ හොඳට හෝදල බාසුන්නැහැට කියල පොඩ්ඩක් බලාගෙන එන්න.....෿ යි තම අතවැසියා අමතා කීවේය. කපු මහතා කියූ දෙයට හිස නවා ආචාරකළ එම පුද්ගලයා බිත්තියේ ඇණයක දවටා තිබූ වාහනයේ යතුරද රැගෙන පිටව ගියේය. අතවැසියා පිටවගිය පසු තම පොත් රාක්කය දෙස විමසිලිමත්ව බැලූ පූජකවරයා එහි වූ පොත් අතර තබා තිබුණු ශ්‍රී ලංකාවේ මාර්ග විස්තර සහිත සිතියමක් ගෙන තම උපැස් යුවලද පැළඳ එය පිරික්සන්නටවූවේය. දරුවා කියන ලද ගම්වල නම් සිහිකළ ඔහු ඒ ගම් පිහිටා ඇත්තේ කිනම් ප්‍රදේශයකදැයි පරීක්ෂා කළේය.

ම් .... බළන්ගොඩ....
ඔව්...... මඩකලපුවෙන් මොණරාගලට ගිහින් ඊට පස්සේ වැල්ලවාය පැත්තෙන් ආ.... මේ තියෙන්නෙ බළන්ගොඩ හරි.... කෝකටත් මේ සිතියමත් අරගන්න වෙනවා.....෿

තමන්ට ගෙන යාමට විශේෂ දෙයක් නැත්තේය. ඒ නිසා තුවායක් හා තවත් ඇඳුම් කිහිපයක් බෑගයට දමාගත් කපුමහතා එම බෑගයෙහි එක් සාක්කුවකට සිතියමද දමා ගත්තේය. ඉන් පසු සින්නයියලා එනතුරු මද විවේකයක් ගත්තේය. කපුමහතා විවේකීව දෙනෙත පියාගෙන සිටියද ඔහුගේ සිත අවදිව තිබුණේය. හෙට උදෑසනම යාමට සූදානම්වන ගමන පිළිබඳව කල්පනා කළේය. දරුවා පැවසූ අයුරින් මෙය බොරුවක් විය නොහැකිය. වයස අවුරුදු තුනක හතරක දරුවෙක්ට මෙසේ භාෂාවක් ඉගෙන ගැනීමටද නොහැකිය. එසේම තමන්ට පුංචි කාලේ සිටන්ම හුරු පුරුදුවූ භාෂාව අමතක කිරීමද කළ නොහැකිය. මව පියා නාඳුනනසේ එදිනෙදා කටයුතු සිදු කිරීම, හැසිරීම මේ වයසේ දරුවෙක්ට කිසිසේත්ම කිරීමට නොහැකිය. මෙසේ කල්පනා ලෝකයේ සැරිසරනවිට දවස ගතවෙනව කපුමහත්තයට දැනගන්නත් බැරිවුනා. තමන්ගේ නිවහන ඉදිරිපිට්න් කිහිපදෙනෙක්ගේ කට හඩවල් ඇසුණු බැවින් දැහැනින් මිදුණු ඔහු ආලින්දයට පිවිසියේය. ගමන් මළු කිහිපයක්ද අතැතිව සින්නයියා ගෙමිදුලෙහි සිටගෙන සිටියේය.

කෝ?... අනෙක් අය ආවේ නැද්ද?.....෿ යි කපුමහතා සින්නයියාගෙන් ඇසුවේය.
කඩේ ළඟ නැවතුනා.... අර එන්නෙ.....෿ යි නිවසට පිවිසුම් මාවත දැක්වීය.
ඇතුළට එන්න..... ඇතුළට එන්න....෿ යි කපුමහතා සියළුදෙනාම තම ගෙතුළට කැඳවීය. ඔවුන් ආ ගිය තොරතුරු කතා කරන අතර වාහනයද පැමිණියේය. රාත්‍රී ආහාරය ගන්නා වේලාව පැමිණෙනතුරු ඔවුන් හෙට දිනයේ යන්නට සූදානම් වන ගමන පිළිබඳ කතා බහ කළෝය. රාත්‍රී ආහාරයෙන් පසු ඔවූහු අළුත් බලාපොරොත්තුවක් ඇතිව නින්දට ගියෝය.

උදෑසනම අවදිවූ සියළුම දෙනා මහත් උනන්දුවෙන් අළුත් උදෑසනෙහි නව බලාපොරොත්තු පොදි බැඳ ගමනට සූදානම්වූහ. පූජකවරයා සමඟ පුංචි සන්දනම් ඉදිරිපස අසුනේ වාඩිවූවේය. සින්නයියා හා රාමේශ්වරී පිටුපස අසුන්වල වාඩිවූවෝය. මඩකලපුව නගරයට පිවිසි ඔවුන් මොණරාගල මාර්ගය ඔස්සේ ගමන්කළෝය. මොණරාගල සිට වැල්ලවායට ගමන්කලේ අතරමඟදී තේ පානය කිරීමෙන් ද අනතුරුවය. වැල්ලවාය බෙරගල බළන්ගොඩ රත්නපුර කොළඹ මාර්ගය ඔවුන් තෝරාගෙන තිබුණේය. ඒ අනුව වැල්ලවායේ සිට බෙරගල දක්වා වූ කඳුකර මාර්ගයේ ඔවුන් ගමන්කළෝය. බෙරගල පසුවී විනාඩි හතලිස්පහක පමණ කාලයක් ගතවන විට සන්දනම්ගේ නොසන්සුන් බවක් පූජකවරයාට දැනුණේය. ඒ අතර ඉදිරියේ මං සන්ධියක් වූවේය. වාහනය පැදවූ රියදුරා යා යුතු මාර්ගය කුමක්දැයි සිතමින් වාහනය පැදවූ වේගය අඩු කළේය.

ඔතනින් දකුණු පැත්තෙ පාර කොළඹට....
අර තියෙන්නෙ සමනල වැව පාර...෿ යි පුංචි සන්දනම් කීවේය. නමුත් එය තේරුණේ පූජකවරයාට පමණි. පූජක වරයාගේ මුහුණ දෙස බැලූ රියදුරාට යා යුතු මාර්ගය ඔහු තම හිසෙන් දක්වාලීය. ඒ අනුව වාහනය එම මාර්ගය ඔස්සේ දිව ගියේය. තවත් කිලෝමීටර් හතරක් පමණ වාහනය ඉදිරියට ගමන් කලේය. මාර්ගය දෙපස වූ කඩ කිහිපයකින් යුත් කුඩා නගරයක් ඔවුන්ට දිස්වූවේය. එම කුඩා නගරය පසු කරන විට පාරෙන් දකුණු පස වූ පල්ලියක් ද ඔවුන්ට දැකගත හැකිවූවේය. එම පල්ලිය පසුකර වංගු දෙකක් පමණ ඉදිරියට යන විට ඉදිරියෙන් බෙලිහුල්ඔය තානායම දිස්වූවේය. තානායමට ළංවන විට සන්දනම් කපු මහතා ඇමතුවේය.

අර අතනින් උඩට යන පොඩි පාර දිගේ යමු.....෿ ඒ අනුව වාහනය කොළඹ පාරෙන් අතුරු මාර්ගයකට පිවිසියේය. එය තරමක් දුෂ්කර පටු පාරකි. පටන්ගත් තැන සිටම ඇත්තේ කන්දය. වාහනය ඉතා සෙමෙන් එම කඳු පාරෙහි ගමන් කලේය.

අර පන්සලට එහායින් තියෙන වම් පැත්තෙ පාර දිගේ යමු....෿ යි කීවේය. රියදුරා වාහනය එම පාරටද හැරවූවේය. මඳ දුරක් කොන්ක්‍රීට් කරන ලද එම මාර්ගය දිගේ ගිය වාහනය සන්දනම්ගේ කීම අනුව දෙවටක් ඔස්සේ විහිදුණු ගුරු පාරක් දිගේ ගමන් කළේය. එය නිවෙසකට දිවෙන මාර්ගයක්වූවේය. පූජකවරයා සමඟ ඉදිරිපස අසුනේ වාඩිවී හොඳින් මඟ දෙපස බලමින් මාර්ගය විස්තර කරමින් ගමන්කළ පුංචි සන්දනම්ගේ මඟ පෙන්වීම අනුව වාහනය මේ පටු මාර්ගය ඔස්සේ නිවසක් දෙසට ගමන්කරන්නටවූවේය.

දිවා ආහාරය ගැනීමෙන් පසු කුස්සියටවී වළං පිඟන් සේදීමේ කටයුතුවල නිරතවී සිටි සුමනාවතීට තම නිවෙස දෙසට එන වාහනයක හඩ ඇසුනාය. තම නිවෙස පසුකර යන වාහනයක්දෝයි ඇය හොඳින් එම හඩට නැවතත් කන් දුන්නාය. එන්න එන්නම වාහනයේ හඩ ළඟ ළඟම ඇයට ඇසුනාය. ඒ නිසා ඇය වාහනය එන්නෙ තම නිවෙසටම බව තහවුරුකර ගත්තාය. සෝදන ලද පිඟාන රාක්කයෙන් තැබූ ඇය සෝදමින් සිටි පිඟාන කොරහතුළම තිබියදී හිඳ සිටි බංකුවෙන් නැඟී සිටියාය. තමා ඇඳසිටින චීත්ත පොටෙහි දෑත පිසිමින්ම ඇය පෑල දොරින් නිවස දෙසට එන මාවත දෙසට දෙනෙත යැව්වාය. මාවත දෙපස වූ කටු කම්බි ගැසීම සඳහා සිටුවන ලද පැලවැටෙහි ඉණි අතරින් කිරිපාට වෑන් රියක් තම නිවෙස දෙසට ඇදෙනු සුමනාවතී දුටුවාය.

මේ කවුරුන්විය හැකිද?......෿ යි සිතූ ඇය පෑලදොරෙහි එළිපත්තෙන් පැන මිදුලේ කොනකට ආවාය. වාහනයතුළ සිටින්නේ කවුරුන්දැයි දෙගිඩියාවෙන් ඇය තමා දෙසට ඇදී එන වාහනය දෙසටම දෑස දල්වා බලා සිටියාය. හතලිස් ඇඳිරිය නොවුනද තරමක් දුරින්වූ නිසා සහ අහසේ වූ දීප්තිමත් බව වාහනයේ ඉදිරි වීදුරුවට වැටී ඉන් පරාවර්තනය වන දීප්තිය ඇගේ මුහුණට වැටීම නිසා වාහනය ඇතුලේ සිටි අය කවුරුන්දැයි හඳුනා ගැනීමට සුමනාවතීට නොහැකිවූවාය. තරමක් සෙමෙන් සෙමෙන් ඉදිරියට වාහනය ඇදී එද්දී වාහනයේ ඉදිරි වීදුරුවෙන් මුහුණට පරාවර්තනය වන ආලෝකය අතරින් තමා දෙසට යොමුවී ඇති දෑසක් කරා ඇගේ දෑස යොමුවූවාය. එකිනෙකට පැටළුණු දෑස් තුළින් සංසාරගත හුරු පුරුදු බවක් මතුවුණේය. සුමනාවතී තම නෙත ගැටුණු ඒ නෙත් දෙක දිහාම බලා සිටියාය.

ම්.... හොඳට හුරු ඇස් දෙකක්.....෿ යි සිතූ ඇය තම දෑසට හමුවූ හුරු පුරුදු දෑස තවත් තහවුරුකර ගැනීමේ අදහසින් පියවර කිහිපයක් වාහනය දෙසට ළංවූවාය. වාහනයතුළවූ දෑසද සුමනාවතීගේ මුහුණ දෙසම බලා සිටියේය. වාහනය පසෙකට හැරවුවද එකට ගැටුණු දෑස් ඉවතටගත නොහැකිව එකටම පැටලී තිබුණේය. වාහනය සුමනාවතීගේ නිවස ඉදිරිපිට මිදුලේ නතරවූවේය. ඉදිරිපස දොර විවිරවූවේය. සුමනාවතීගේ දෑසට පැටළුණු දෑසට පෙර එක රුවක් බිමට බැස්සේය. එනමුත් ඒ දෙසට සුමනාවතීගේ දෙනෙත යොමු නොවූවාය. ඇයගේ දෙනෙත වට පිටාවේ කිසිම දෙයකට යොමු නොවුනාය. සුමනාවතීගේ දෙනෙතට පැටළුණු දෙනෙත වාහනයෙන් බිමට බැස්සේය. වචනයකින් හඩගා කියන්නට නොහැකි බොහෝ දේ ඉතා කෙටි වේලාවකින් දෙනෙත් අතරින් බැල්මෙන් හුවමාරුවූවේය. ඒ සමඟ සංසාරගත බැඳීමක මතකයන් වඩ වඩාත් ඉස්මතුවූවේය.

අ....ම්.....මේ.....
මගේ අ...ම්....මේ.....෿ යි එම දෑස හිමි මුවින් පිටවුණේය. ඒ සමඟම එම රුව සුමනාවතී වෙතට දිවආවේය.

පු....තා....
මගේ පු....තා....෿ යි අතීත මතකය යළි ඉස්මතුවීමෙන් දෑස ඉදිරියේ වූ සියළු සිතුවම් බොඳවී යද්දී ඇය තමා ඉදිරියට එන තම සංසාරගත පුතණුවන් වෙතට දිවගියාය. දරුවාගේ ශරීරප්‍රමාණය මේ මෑණියන් දුටුවේ නැත. ඇයට ඇගේ නෙතට ගොදුරුවූ ඒ දෙනෙත වටපිටාවේ හැම දෙයක්ම අමතකකර තිබුණාය. සංසාරයේ තමන්ට හොඳින් හුරුපුරුදු තමන්ගේ දරුවා ටික කාලයකට තමන්ගෙන් වෙන්වී හිඳ නැවත තමන්කරා පැමිණ ඇත්තේය. වසර ගණනකට පසු තමා සොයාගෙන පැමිණි තම දරුවාව සුමනාවතී දැඩි සෙනෙහසින් ළයට තුරුළුකර ගත්තාය. දරුවාද අපමණ සෙනෙහසකින් සුමනාවතිගේ ළයට තුරුළුවූවේය.

දිවා ආහාරය ගෙන මඳ වේලාවකින් සුමනදාස තම ගෙවත්තේ ඇවිදීමට ගියේය. ගෙවත්තේ සිටුවා ඇති පොල් පැළ කිහිපයක වල්පැල අතින් ඇද දමමින් සිටි ඔහුට තම නිවෙසට පිවිසෙන මාර්ගය දිගේ ඇදී එන වාහනයක හඩ ඇසුනේය. ඒ නිසා අතෙහිවූ වල්පැල පසෙකට දැමූ ඔහු ළිඳ ළඟට ගොස් ඉන් වතුර බාල්දියක් ගත්තේය.

වාහනයකින් අපේ ගෙදරට එන්නේ කවුද?.......෿ යි සිතමින් දෑත සොදාගත්තේය. ඉන් පසු බාල්දියෙන් වතුර දෝතක් ගත් ඔහු තම මුහුණද සෝදාගත්තේය. බාල්දියේ ඉතිරි වතුර ටිකෙන් දෙපා සෝදාගත් හෙතෙම ළිඳ අසලවූ රෙදි සෝදන ගල මතින් බාල්දිය මුණින් අතට නවාතබා නිවෙස දෙසට පියමංකළේය. සුදු පාට වෑන් රථයක් තම නිවෙස ඉදිරිපිට නතරකර තිබෙනු සුමනදාස ඈත සිටම දුටුවේය.

කවුද අර කට්ටිය....ම්.... පැහැදිලි නැහැ....
තව ටිකක් ළඟට ගියහම පෙනෙන්නෙ නැතෑ......෿ යි සිතූ ඔහු තම ගෙමිදුලට ළංවූවේය.

මේ කට්ටිය මට හුරු පුරුදු කට්ටියක්නම් නෙවෙයිනෙ.....
අර....අර.... දෙන්නම දෙමළ වගේ......
අරයනම් පූජකවරයෙක් වගේ ......෿ වාහනය දෙස බලා සිටි සුමනදාස තම ඉස්තෝප්පුව අසල සිටි සුමනාවතී හෝ පුංචි සන්දනම් හෝ නුදුටුවේය.

අම්මා කොහෙද අම්මා මෙච්චර කල් හිටියේ ...
ඇයි අම්මා මාව එක්ක යන්න ආවේ නැත්තෙ.....
මම කොච්චර දුකින්ද හිටියේ ....
මට එන්න පුළුවං කමක් තිබුණෙ නෑනේ.....෿ ඒ හඩට සුමනදාස එදෙස බැලුවේය. සුමනාවතීගේ තුරුල්ලටවී සිටින පුංචි දරුවා බැලු බැල්මට ද්‍රවිඩ දරුවෙකි. ඒත් හොඳින් සිංහල කතා කරන්නේය. සුමනාවතීද මේ දරුවා තුරුළුකරගෙන සිටින්නීය. ඇගේ මුහුණ දෙස බැලූ සුමනදාස ඒ දෙකොපුල දිගේ රූරා ගිය කඳුළු වැල් දුටුවේය. සුමනදාසට සිතාගත නොහැකිය. ඔහු වාහනයෙන් පැමිණි පිරිස දෙස බැලුවේය. ඒ අතර සිටි තරුණ දමිළ කාන්තාවද හඩන්නීය.

ඒ ළමයා අඩන්නේ ඇයි ?.....෿ සුමනදාස කල්පනා කළේය.

වාහනයේ පැමිණි පිරිස මේ වන විට වාහනයෙන් බිමට බැස තිබුණේය. පුංචි සන්දනම්ගේ හැසිරීම දෙස ඔවුන් බලා සිටියේය. ඒත් එක්කම මේ නිවැසි කාන්තාවද තමන්ගේ දරුවෙක් ලෙස සන්දනම්ව තුරුළුකරගෙන සිටින්නීය. කපුමහතාට කෙසේ වෙතත් රාමේශ්වරීට මේ සිදුවන දේවල් මොනවාදැයි සිතා ගැනීමට නොහැකිවූවාය. දස මාසයක් කුසේ දරාගෙන අපමණ දුකක් විඳ මේ ලෝකයට තම කුසින් බිහිකළ දරුවා වෙන කාන්තාවකට අම්මේ කියමින් තුරුළුව සිටින්නේය. තමන්ට දරුවන් හතර පස් දෙනෙක් සිටින්නේ නම් එයින් හෝ සිත හදා ගැනීමට හැකිවන්නේය. තම කුසින් ජාතක කර ඇත්තේ මේ පුංචි දරුවා පමණකි. ඔහු කුඩා කල බහ තෝරන වියේදී තමන්ට අම්මා කීවේය. නිතර දෙවේලේ තමන් හා හුරතල්වුනේය. මේ පුංචි දරු පැටියා කුඩාම කාලයේදී තම ළයට තුරුළු කරගෙන කිරි බින්දුවෙන් කිරි බින්දුව පෙවූ ආකාරය ඇය සිහි කළාය. යම්තන් හෝ දරුවාට රෝගී බවක් දැණුනුවිට ඔහු වෙනුවෙන් ඇය නිදිවරාගෙන රැය පහන් කළාය. ටිකෙන් ටික දරුවා ලොකුවන විට ඇය ඔහුට අමතර ආහාර හුරු කළාය. දරු සෙනෙහස මේ යැයි ඇය අත්වින්දේ මේ දරුවාගෙනි. දරුවා අසාමාන්‍ය ලෙස වෙනස්වනතුරුම ඇය ඔහු හා කෙළිදෙලෙන් ගත කළාය. දැනට මාස දෙකකට පමණ පෙර වූ සිදුවීම් ද දැන් සිදුවූ සිදුවීම් ලෙස ඇයගේ ඉදිරියේ මැවී පෙනෙන්නටවූවේය.

අයියෝ..... ෂාමි මේ මොකද අප්පා ?.....
මට මගේ දරුවා නැති වෙයිද?.....
මේ මොකද වෙන්න හදන්නේ.......෿ රාමේශ්වරී හඩා වැටුනාය. ඇයගේ මුවගින් ගිලිහුණු වදන් සුමනදාසටවත් සුමනාවතීටවත් නොතේරුණේය. සින්නයියාට සහ කපුමහතාට එය හොඳින් ඇසුනේය. සින්නයියා රාමේශ්වරීගේ අත තරයේ අල්ලාගත්තේය. කපු මහතාටද වෙන්නට යන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිවුනේය. සිදුවන සිදුවීම් දෙස ඔවුන් හැඟීමෙකින් තොරව බලා සිටියේය.

බොහෝ වේලාවක් සුමනාවතීගේ ළයට තුරුළුවී ඇගේ උර මඩලේ හිස හොවාගෙන සිටි දරුවා හිස ඔසොවා අවට බැලුවේය. ගෙමිදුලේ කෙළවරින් ළිඳට යන පාර අයිනේ නැවතී සිටි තම පෙර භවයේ පියා ඔහු හැඳිනගත්තේය.

තා....ත්.....තා.....
ම...ගේ.... තාත්තා දැංද ආවේ.....෿ යි අසමින් සුංචි සන්දනම් සුමනදාස අසලට ඇවිත් ඔහුගේ දෙපා මුල වැඳ වැටුණේය.

මේ මොකද මම තාත්තාවුනේ කොහොමද?....෿ යි සුමනදාස සිතුවේය. කුමක් හෝ වැරදීමක් විය හැකිය. තම දෙපාමුල වැඳ වැටී සිටි දරුවාගේ හිස අතගෑ ඔහු ඔහුගේ දෙවුරින් අල්ලා නැගිට්ටුවේය.

ඇයි තාත්තට මාව මතක නැද්ද?....෿ යි ඔහු ඇසුවේය. සුමනදාස කල්පනා කළේය. මේ වගේ පුංචි දරුවෙක් මීට පෙර දැක නැත. මොහුගේ වයස අවුරුදු තුනහමාරක් හතරක් විතර ඇති. ඒ නිසා ඉතා හොඳින් දරුවාගේ මුහුණ දෙස බලා සිටියේය. දෑසට දෑස එකට යාවුණේය. දරුවාගේ දෑසේ පතුළටම සුමනදාසගේ බැල්ම යොමුවුණේය.

මේ ඇස් දෙක නම් මට ටිකක් හුරුයි වගේ.... කොහේදිද?....෿ ඔහු කල්පනා කලේය.
මම විජේදාසනෙ......
තාත්තගේ ලොකු පුතා.....෿ යි පුංචි දරුවා සුමනදාසගේ මුහුණ දෙස බලාගෙන කීවේය. එක පාරටම සුමනදාසගේ උගුරේ යමක් හිරවූවා වගේ දැනුනේය.

,මේ පුංචි දරුවා දොඩවන්නේ මොනවාද?......, විජේදාස යනු තමන්ගේ ලොකුපුතා බව සැබෑය. ඔහු දැන් ජීවතුන් අතර සිටින බව කෙසේ විශ්වාස කරන්නද? මීට වසර හතරකට පමණ පෙර ඔහු මිය ගියේය. ඔහුගේ හමුදා විශ්‍රාම වැටුප මාසිකව සුමනාවතීගේ බැංකු පොතට ලැබෙන්නේය. මියගිය රණවිරු විජේදාසගේ සිව් වර්ෂපූර්ණය වෙනුවෙන් පසුගිය මාසයේ මහා දානමය පිංකමක්ද මේ නිවසේ සිදු කළේය. ඒ නිසා තමා ඉදිරියේ සිටින කුඩා දරුවාගේ මුවගින් ගිලිහුණු වදන් එක හෙලාම පිළිගැනීමට ඔහු සූදානම් නොවූවේය.

විජේදාස මැරුණනේ......
වෙඩි වැදිල මැරුණා.....෿ යි සුමනදාස වෙව්ලන කටහඩකින් හෙමිහිට කීවේය.

ඔව් මට වෙඩි වැදුනා.....
මේ.... මෙතනට....
මෙන්න බලන්න......෿ යි කියමින් පුංචි සන්දනම් ඔහු හැඳසිටි කමිසය ඉහළට ඔසවා තම ළය පෙදෙස පෙන්නුවේය. දරුවා විසින් ඉහළට ඔසවන ලද කමිසය අතරින් ඔහුගේ ළය පෙදෙස මතුව පෙනුනේය. ඒ දෙස බැලූ සුමනදාසට ඔහුගේ පපුවේ වම්පැත්තේ තරමක් ලොකු උපන් ලපයක් තිබෙන බව පෙනුණේය. දරුවාගේ මුහුණ දෙස බැලූ සුමනාවතීට තම ආදරණීය ලොකු පුතාගේ දෑස මේ පුංචි දරුවාගේ මුහුණෙහි දුටුවාය. තම දෙනෙතට ගැටුණු එම දෑස නිසා කාලයේ වැලි තලාවේ වැලලී යමින් තිබුණු එම දරු සෙනෙහස දෝරගලා එමින් තිබුණේය. හදවතේ පතුලේ කොනක තැන්පත්වෙලා තිබුණු තම වීර පුතණුවන් නැවතත් තමන් සොයාගෙන ඇවිදින්ය. වෙනදා මේ පුතු තමන් බලන්නට නිවාඩුවකට නිවෙසට ආවේ මේ අයුරින් නොවේ. සිවිදෙනෙක්ගේ කරමතින් පෙට්ටියක්තුළ සැතපී නිවසට පැමිණ පිටවීගිය ලොකු පුතා කුඩා දරුවෙක්ගේ වේශයෙන් ආපසු තමන් සොයා පැමිණ සිටින්නේය.

අනේ මගේ ලොකු පුතා මට කොච්චර ආදරෙන්ද ඉඳල තියෙන්නේ.....
දෙයියනේ මාව හොයාගෙන ඇවිල්ලා.....
මගේ ලොකුපුතා ආයෙත් අපිව හොයාගෙන ඇවිල්ලා......෿ යි සුමනාවතීගේ ඉකිබිඳුම විලාපයක් බවට හැරුණාය.

ඔව් මගේ අම්මේ මම ඔයාලව හොයාගෙන ආවා.....
මගේ තාත්තේ මම ඔයාලව හොයාගෙන ආවා......෿ යි පුංචි සන්දනම් සුමනාවතියට නැවතත් තුරුළුවෙමින් කීවේය. දරුවා තුරුළු කරගෙනම සුමනාවතී හඩාවැටුනාය. තම මියගිය දරුවා වෙනුවෙන් ඔහු සිහිවීමෙන් සුමනාවතී හඩන්නීය. එම මිදුලෙහි අනෙක් කෙළවරේ සිට රාමේශ්වරීද හඩන්නීය. ඇය හඩා වැටෙන්නී ජීවත්ව හිඳින තම දරුවා වෙනුවෙන්ය. තම බඩවැල කඩාගෙන ලෝකය දුටු තමන්ගේ එකම දරුවා තම දෑස් ඉදිරිපිටම විජාතික කාන්තාවකට අම්මේ යැයි කියමින් තුරුළුව සිටින්නේය. මේ පුංචි දරුවාගේ ලෝකයේ තමන් නාඳුනන එකියක වී සිටින්නේය. මේ දරුවා මෙතරම් හෝ උස් මහත්කළේ මේ දෑතින්ය. මව් පියන් හමුවේ දෙමාපියන්ගේ ආදරය සෙනෙහස ලැබූ ඇය සින්නයියාගේ ආදරණීයම වූ සෙනෙහසින් දයාබර බිරිඳක වශයෙන් උණුසුම ලැබූවාය. සතර බඹවිහරණයෙන් යුතු උතුම් වූ මව් පදවියට තමා පත් කරමින් මාතෘ සෙනෙහස කෙබඳුදැයි තම හදවතට පෙන්වා දුන්නේ මේ කුළුඳුල් දරුවාය. ඔහුගේ කැතකුණු කොතරම් මේ දෑතින් ඉවත් කරන්නට ඇත්ද? ඔහුට ඒ කිසිවක් මතක නැත්තේය. තමා ආහාර ගනිමින් සිටිනවිට පවා දරුවාගේ කැතකුණු ඉවත්කළ ආකාරය ඇය මෙනෙහිකළාය. එවන් අවස්ථාවලදී තම දරුවාගේ කැතකුණු පිළිකුල් කිරීමක් මවකතුළ නැත්තේය. සමහර අවස්ථාවලදී තමන් ගන්නා ආහාර සමඟ දරුවාගේ කැත කුණු මිශ්‍රවන අවස්ථාද ඇත්තේය. දරුවා කෙරෙහි ඇති අපරිමිත මව් සෙනෙහස නිසා එවන් අවස්ථා පිළිබඳ මවක සිතන්නේ නැත. රාමේශ්වරීටද පුංචි සන්දනම් හා ගෙවුණු වසර කිහිපයේ එවන් අත්විඳීම් අපමණ තිබුණාය. ඒවා මෙනෙහි කරමින් වෙනත් ගැහැණිකය තුරුල්ලේ හිඳින තම දරුවා දිහා බල බලා ඒ දුක දරුගත නොහැකිව රාමේශ්වරී හඩාවැටුනාය.
ර්‍ණමේ ආපු කට්ටියට ගෙට කතා කරන්නෙ නැද්ද?......
බොහෝම දුරක ඉඳලවගේ ඇවිත් තියෙන්නෙ......෿ යි සුමනදාස සුමනාවතීගේ උරහිසට තට්ටුකරමින් කීවේය. ඒ සමඟ සුමනාවතීද පියවි ලොවට පිවිසියාය.

හානේ ඇත්තමයි......
අනේ කට්ටියම එළියෙ....
යං....යං...... ගේ ඇතුළට යමු.....
පුතේ යමු ගෙට....
මහත්තයෝ එන්න ගෙට.....
නෝනා එන්න ගෙට එන්න.....෿ යි කියමින් සුමනාවතී පැමිණ සිටි සියළු දෙනාම තම නිවසතුළට කැඳෙව්වාය. සුමනදාසලාගේ මිදුලේ සිදුවුනු මේ අපූරු සිදුවීම දෙස අසල්වැසියෝද බලා සිටියහ. සමහරෙක් සුමනදාසලාගේ මිදුලට පැමිණ මේ අපූරු සිදුවීම දෙස බලා සිටියේය. සුමනදාස ගෙතුළට පැමිණි අමුත්තන් සාලයේ අසුන් ගැන්වීය.

මගේ පොටෝ ඇල්බම් එක බලන්න ඕනි.....
මම අන්තිම නිවාඩුවට ආපු වෙලාවේ සුද්දකරන්න කියල දීල ගිය පොටෝ ටික මට බලන්න බැරිඋනානේ අම්මේ කොහෙද ඒ ඇල්බම් එක මගේ කාමරයේද තියෙන්නේ....෿ යි අසමින් පුංචි සන්දනම් නිවසේ ඇතුල් කාමරයකට පිවිසියේ බලා සිටි සියල්ලන්ම විශ්මයට පත් කරවමින්ය. අනෙක් අය කෙසේ වෙතත් සුමනදාසටත් සුමනාවතීටත් මේ තමන්ගේ දරුවාම බව තහවුරු වෙමින් තිබුණේය. පුංචි දරුවා පියවර මැන්නේ විජේදාස ජීවතුන් අතර සිටියදී පරිහරණය කරන ලද කාමරයටය. ඒ පසු පස අවට සිටි කිහිප දෙනෙක්ද ගමන්කලේය.

මගේ කාමරය හුඟක් වෙනස්වෙලානේ ....
මගේ ඇඳ තිබුණෙ මෙන්න මේ බිත්තය අයිනෙ.....
මං ලියන මේසය තියාගෙන තිබුණෙ මේ ජනේලය ළඟින්....
අල්මාරිය නම් මෙතනම තමයි.....෿ පැවසූ දරුවා ලියන මේසය මත තිබූ තරමක් විශාල උඩු කය ඡායා රූපය දෙස බලා සිටියේය. හමුදා නිල ඇඳුමෙන් සැරසී තේජවන්ත ලෙස සිටි අවස්ථාවක ගන්නා ලද එම ඡායා රූපයට සුදු කඩදාසියෙන් නිමවන ලද සමන් පිච්ච මල් මාලයක් පළඳවා තිබුණේය.

අම්මේ මේ වගේ මගේ සම්පූර්ණ පොටෝ එකක් ලොකු කරල රාමු කරන්න දුන්නනෙ.....
ඒක ගෙනාවෙ නැද්ද?.....෿ යි ඇසුවේය.

නෑ....දරුවෝ කාටද දුන්නෙ....
අපි එහෙම එකක් දන්නෙ නෑනේ.....෿ යි සුමනාවතී විසල් කර ගත් දෙනෙතින් යුතුව කීවාය.

මම අන්තිමට කිවාඩු ආපු දවස්වල දුන්නේ.....
ඊළඟ නිවාඩුවට ආපුවහම ගන්න හිතාගෙන....
මට වෙඩි වැදුනනේ....
ඒ පොටෝ එක රාමු කරන්න දුන්න එකේ බිල ඔය අල්මාරියේ තමයි මම තිබ්බේ......
ඔය දෙවෙනි තට්ටුවේ යට කාඩ්බෝඩ් කොලේ යටින් බලන්න......෿ යි සන්දනම් පැවසුවේය. ඒ අනුව එතැන සිටි කෙනෙක් අල්මාරිය හැර දෙවෙනි තට්ටුවේ වූ කාඩ් බෝඩ් කඩදාසිය ඔසවා එහි යට බැලුවේය. දරුවාගේ කීම සැබෑවක්ය. මීට වසර හතරකට ඉහතදී නගරයේ ඡායාරූප ශාලාවකින් ලබාගත් බිල්පතක් එහි තිබුණේය. කාලයත් සමඟ එම බිල දුර්වර්ණවී තිබුණද එහි තිබූ සටහන් ඉතා පැහැදිලිව තිබුණේය.

ඔව් මේ තියෙන්නෙ බිල....
මේක මීට අවුරුදු හතරකට විතර ඉස්සෙල්ලා ගත්ත එකක්.....෿ යි කාමරයේ තිබූ අල්මාරිය ඇර දෙවන තට්ටුවේ කඩදාසිය යට ලෑල්ලටම ඇලුණු එම බිල්පත පරීක්ෂාකළ පුද්ගලයා කීවේය.
අනේ එහෙම එකක් අපි දැනගෙන හිටියෙ නෑ...
ඔය පොටෝ එක තාම ඒ කඩේ ඇති එහෙනං...෿ යි සුමනදාස එම බිල්පත දෙස බලමින් කීවේය.

ඔව්.. ඔය පොටෝ එක තාමත් ඉස්ටුඩියෝ එකේ ඇති .....
මම ඔක්කොම සල්ලිත් දීලයි එදා ගෙදර ආවේ...෿ යි ඒ අසා සිටි දරුවා කීවේය. මඩකලපුවට නුදුරු ද්‍රවිඩ ගම්මානයක ද්‍රවිඩ දරුවෙක්ව ඉපිද වසර කිහිපයකට පසුව පෙර භවයේ මතකය ඔස්සේ තම සිංහල මව - පියා සොයාගෙන සිංහල ගම්මානයකට පැමිණ සිටින මේ පුංචි ද්‍රවිඩ දරුවා මේ නිවසේ පදිංචිව සිට රුදුරු ත්‍රස්තවාදයෙන් රට ජාතිය බේරාගැනීමේ උදාරතර චේතනාවෙන් යුධ පිටියට ගොස් සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මව් බිම වෙනුවෙන් දිවි පිදූ රණ විරු විජේදාස බව එහි රැස්ව සිටි සියල්ලන්ටම පැහැදිලිවූහ. දරුවාගේ හැසිරීම ක්‍රියාව මේ නිවස ඔහුට ඉතා හොඳින් හුරු පුරුදු තැනක් බව පෙන්නුම්කලේය.

මේ අයට කෑම ටිකක් පිළියෙල කලානං හොඳයිනේ.....
මහන්සිත් ඇතිනේ....෿ යි සුමනදාස සුමනාවතී අමතා කීවේය.

ඔව් මම මේ තේ වතුර ටිකක් වත්කළා....
බතක් උයන්න කියලා මැගී අක්කට කියලයි ආවේ.....෿ යි ඇය සුමනදාස අමතා කීවාය.

අනේ මේ අයට තේ වතුර ටිකක්වත් දෙන්න පරක්කුඋනා.....
එන්න තේ වතුර ටිකක් බීල ඉම්මු.....
එන්න..... එන්න..... මෙහෙට එන්න....෿ යි කියමින් සුමනාවතී අමුත්තන් සියළුදෙනාම කෑම කාමරයට කැඳවාගෙන ගියාය.

මේ වන විට සුමනාවතීද මියගිය තම පුතු වන විජේදාසගේ පැමිණීම පිළිබඳ සතුටුවුවද එහි දුක්බර පැතිකඩ දෙසද සිතමින් සිටියාය. කපුමහතා පුංචි සන්දනම් පිළිබඳවත් රාමේශ්වරී හා සින්නයියා පිළිබඳවත් විස්තර සුමනදාස හා සුමනාවතී සමඟ පැවසුවේය. ඒ පුංචි දරුවාට නොදැනෙන්නටය. ඔහුට නොඇසෙන්නටය. සුමනදාසලාගේ ගෙමිදුලේ සිදුවූ මේ සිදුවීම ගම පුරා මහත් උණුසුම් අයුරින් පැතිර ගියේය. විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ටද මේ පුවත සැලවුණේය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයතුළ පුනරුත්පත්තිය පිළිබඳව සඳහන්ව තිබුණත් තමන් වහන්සේ කොතෙකුත් අවස්ථාවල දහම් දෙසන අවස්ථාවලදී ඒ පිළිබඳ දේශනාකර තිබුණත් එවන් පුනරුත්පත්තියක් පිළිබඳ කියන දරුවෙක් පිළිබඳ දැනගෙන නොසිටියේය. තමන් වහන්සේගේ විහාරස්ථානයට දානය ගෙන එන දායක මහතෙක්ගේ දරුවෙක් මියපරලොව යෑමෙන් පසු නැවත මිනිසත් ආත්මයක උත්පත්තිය ලබා පෙර භවයේ දෙමාපියන් වන සුමනදාස හා සුමනාවතී සොයාගෙන පැමිණ ඇත්තේය. මෙම පුවත මුලින්ම කණ වැකුණු මොහොතේ එය මුසාවක් යැයි සිතුවද ගමේ විශ්වාස වන්තම කිහිප දෙනෙකුත් එම කතාවම පැවසූ බැවින් මෙය සත්‍යමදැයි පරීක්ෂාකිරීමට නායක හාමුදුරුවන්ට සිත්වූවේය.

මේ සුමනදාසලගේ ගෙදරට ගිහින් ඇත්ත නැත්ත බලලම එන්න ඕනි.....෿ යි සිතූ නායක හාමුදුරුවෝ විහාරස්ථානයේ ආවතේවකම් කරමින් සිටින ඇබිත්තයාද සමගින් සුමනදාසලාගේ නිවසට වැඩමකළේය.

න්න නායක හාමුදුරුවොත් වඩිනවා.....
ඉක්මණට සුදු රෙද්දක් එළලා ආසනයක් පනවන්න.....෿ යි සුමනාවතීට පැවසූ සුමනදාස නායක හාමුදුරුවන් වඩින පෙරමඟට ගමන්කොට උන් වහන්සේට නමස්කාර කොට පිළිගත්තේය. ඉන් පසු නායක හාමුදුරුවන්ව තම නිවෙස ඇතුළට වැඩමවා සුමනාවතී විසින් සුදු රෙදිකඩක් එලා පනවා තිබූ ආසනයේ අසුන්ගැන්වූවේය.

අවසරයි....
අපේ නායක හාමුදුරුවනේ.....෿ යි පැවසූ සුමනදාසත් සුමනාවතීත් නායක හාමුදුරුවන්ගේ දෙපා වැන්දෝය. ඔවුන් අනුගමනයකළ අනෙක් පිරිසද නායක හාමුදුරුවන්ට නමස්කාරකළෝය. නමුත් සින්නයියත් රාමේශ්වරීත් මෙවන් කසාවත් දරන්නෙක් තම ජීවිත කාලයතුළම දැක නොතිබුණේය. ඒ නිසා ඔවුන් නායක හාමුදුරුවන් දෙස නෙත් අයා බලා සිටියේය.

ගතෙහි රැඳි දහදිය අතෙහිවූ වටාපතින් පවන් සලමින් නිවාගත් නායක හාමුදුරුවෝ අවට සිටි පිරිස දෙස විපරමින් බැලූහ. ඉන් පසු සුමනදාස දෙස බැලූ නායක හාමුදුරුවෝ සුමනදාසව ඇමතූහ.

ඉතිං දායක මහත්තයෝ මොකක්ද මේ උනැයි කියන අළුත් සිදුවීම.....෿ යි නායක හාමුදුරුවෝ උගුරේ රැල් බුරුල්හැර විමසුවේය.

අනේ නායක හාමුදුරුවනේ අපේ හමුදාවේ ඉඳල මැරිච්චි ලොකු පුතා මේ ආත්මෙත් මනුස්සලෝකේ ඉපදිලා..... ආපසු අපිව හොයාගෙන ඇවිල්ල.....෿ යි සුමනදාස දෑඟිලි බඳිමින් නායක හාමුදුරුවන් වෙතට පහත්වෙමින් පැවසුවේය.

කෝ.... දැන් ඒ ළමයා.....෿ යි නායක හාමුදුරුවෝ සුමනදාසගෙන් ඇසුවේය.

එයාගේ කාමරයට වෙලා පොටෝ ඇල්බම්එක එහෙම බල බලා හිටියා.....
මං කතා කරන්නම්.....
මං කතා කරන්නම් හාමුදුරුවනේ.....෿ යි කියූ සුමනදාස ගෙතුළට ගියේය. ටික වේලාවකින් ඔහු පුංචි සන්දනම්වද කැඳවාගෙන නායක හාමුදුරුවන් ඉදිරියට පැමිණියේය. සුමනදාස සමඟ තමා ඉදිරියට පැමිණෙන පුංචි දරුවා දෙස නායක හාමුදුරුවෝ ඉතා හොඳින් බලා සිටයහ. ශරීර වර්ණය කළුය. කොණ්ඩය තරමක් වැවී ඇතිය. වයස අවුරුදු හතරක් පමණ පෙනෙයි. පෘෂ්ටිමත්ය. දෙනෙත දීප්තිමත්ය. බැලූ බැල්මට බාහිර රෝග ලක්ෂණයක් පෙනෙන්නට නැතිය. නිරෝගී බවට සිතිය හැකිය. බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළ පුනරුත්පත්තිය පිළිබඳව සඳහන්වේ. භවයෙන් භවය සංසාරය පුරාවට ඉපැදෙමින් මැරෙමින් ගෙවී යන ජීවිත ගමනේ අතීත භවය පිළිබඳ මතකය සෑම දෙනාටම නැත්තේය. බණ භාවනාවන් ඔස්සේ සිත දියුණු කරන ලද උතුමන්ට පමණක් එම ඥාණය ලබාගත හැකිය. බොහෝ කලාතුරෙකින් ළමා මනසකට එවන්වූ අතීත භවයේ ඉස්මරණ ශක්තිය මතුවන්නේය. මෙම කුඩා දරුවාටද වත්මන් භවයේ මතකය යටපත්වී අතීත මතකය ඉස්මතුවී ඇත්තේය. සමහරවිට තවත් ටික කාලයක් ගතවන විට පෙර භවයේ මතකය අමතකවීමටද හැකිය. එසේ නොවීමටද හැකිය.

නායක හාමුදුරුවනේ....෿ යි පැවසූ පුංචි සන්දනම් තමා දෙස බලාගෙන කල්පනා ලෝකයක සැරිසරමින් සිටි නායක හාමුදුරුවන් ඉදිරියේ දෙදණ නවා වැඳවැටුනේය. රාමේශ්වරී හෝ සින්නයියා හෝ නොකරන ලද මේ ක්‍රියාව ඔවුන්ගේ දරුවා වන සන්දනම් විසින් සිදු කිරීමත් ඔහුගේ පෙර භවයේ මතකයට තවත් හොඳ නිදසුනක්වූවේය.

අපේ හාමුදුරුවනේ.....
මම නිවාඩු ඉවරවෙලා යන්න කලින් දවසෙත් පංසලට ඇවිත් බෝධිපූජාවක් තිබ්බනෙ....
එදා දැක්කට පස්සෙ නායක හාමුදුරුවෝ කොච්චර වෙනස්වෙලාද? ......෿ යි පැවසුවේය. මේ දරුවා පවසන්නේ මීට වසර හතරකට පමණ පෙර සිදුවූ සිදුවීම්ය. මේ දරුවාට ඒ සිදුවීම් හොඳින් මතකය. එදා මෙදාතුර තම ජීවිතයේ මේ ගමේ සිදුවූ සිදුවීම් සමඟ දරුවා පවසන ලද සිදුවීම් එකවර මතකයට නගා ගැනීමට නායක හාමුදුරුවන්ට අපහසුවූවේය. රණ විරුවෙක්ගේ අවමඟුල් කටයුතු සඳහා මෙම නිවසට වැඩමකළ බව නම් නායක හාමුදුරුවන්ට සිහියට නඟාගැනීමට හැකිවූවේය. නායක හාමුදුරුවෝ බුද්ධියෙන් මුහුකුරාගිය උත්තමයෙක්ය. මේ දරුවාගේ අනාගතය පිළිබඳ ගැටළුවක් මතුවිය හැකි බව නායක හාමුදුරුවන්ට පෙනී ගියේය. දරුවාගේ පෙර භවයේ දෙමව්පියන් සහ වර්තමාන භවයේ දෙමව්පියන් සියළු දෙනාම මෙහි සිටින්නේය. සුමනදාස සහ සුමනාවතී මේ දරුවාගේ පෙර භවයේ දෙමව්පියන්ය. මේ දරුවා ඔවුන් දෙදෙනාගේ දරුවා නොවන්නේය. නමුත් දරුවාගේ සිත තවම රැඳී තිබෙන්නේ පෙර භවයතුළය. සුමනදාස යුවළට දරුවා පිළිබඳ වියෝ දුක දරා ගැනීමට හැකිය. ඔවුන් තුළ දුක නැත්තේම නොවේ. වසර ගණනකට පසු යට ගියාවූ වියෝ දුකක් මේ හදවත් තුළ මතුවී ඇත්තේය. එය තවත් මොහොතකින් යටපත්වී යනු ඇත. රාමේශ්වරී නම් වූ මේ දමිළ මාතාවගේ හදවතේ ඇත්තේ දරාගැනීමට නොහැකි වියෝ දුකකි. ඇයගේ රත්පැහැගැන්වී ඉදිමී ඇති දෑස නායක හාමුදුරුවන්ට ඉදුණු ලොවි ගෙඩි සිහියට නැංවීය. ඇගේ භාෂාවත් නායක හාමුදුරුවන්ගේ භාෂාවත් දෙකක්වුවද සංවේදී හදවත් වචනයෙන් නොපවසන දේවල් වටහා ගන්නේය. දරුවා පෙර භවයේ දෙමාපියන්ට කැමතිවී මෙහි නතරවුවහොත් රාමේශ්වරීට එය දරාගත නොහැකි වන්නීය. ඒ නිසා කළ යුතු හොඳම දෙය දරුවාගේ අතීත මතකය අමතක කර වර්තමානයකරා ඔහුගේ මතකය ගෙන ඒමය. දරුවා සමඟ තවත් වචන කිහිපයක් කතා කර ඔහුට සෙත් පැතූ නායක හාමුදුරුවෝ ඔහු කරමින් සිටි වැඩය සඳහා නැවත කාමරයට පිටත්කර හැරියේය. ඉන් පසු සින්නයියා සමඟ පැමිණි කපු මහතා සමඟ ආගිය තොරතුරු කතා කළේය. ඒ අතර සන්දනම් පිළිබඳව සහ ඔහුගේ වත්මන් දෙමාපියන් පිළිබඳව තව තවත් තොරතුරු දැන ගත්තේය. ඒ අතරතුර සුමනාවතී විසින් නායක හාමුදුරුවන්ට ගිලන්පස පිළිගන්වන ලද්දීය. ගිලන්පස වැළඳූ නායක හාමුදුරුවෝ හිස් බඳුන සුමනදාස අතට දුන්නේය. මෙතෙක් වේලා තමන් වහන්සේගේ නිරීක්ෂණයන් තුළින් අවබෝධ කරගත් කරුණු මේ පිරිසට පහදා දිය යුතුයැයි උන් වහන්සේ කල්පනා කළේය. ඉන් පසු පිරිස අමතා ධර්මානුකූල විවිරණයක් සිදු කිරීමට සැරසුණේය.

පිංවතුන් හැම දෙනාම මේ වෙලාවේ මේ සුමනදාස උපාසක මහත්තයාගේ නිවසට රැස්වෙලා ඉන්නේ අපි ජීවිතයේ සමහර අවස්තාවලදී ඉගෙනගෙන තිබෙන, නැතිනම් අසා තිබෙන පෙර භවයේ මතකයක් පිළිබඳ කතා කරන දරුවෙක්ව තමන්ගේම දෑසින් දැක බලාගන්නයි. අපේ විහාරස්ථානයේ ප්‍රධාන දායක මහත්මයෙක් වන මේ සුමනදාස මහත්මයාගේ ලොකු දරුවා තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉවරකරලා ඊට පස්සේ රට ජාතිය ආගම රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමේ උදාර චේතනාවෙන් යුද්ධ හමුදාවට බැඳුනා. ඒක ඉතාම උතුම් ක්‍රියාවක් උතුරුකරේ සතුරන් සමඟ යුධවදිද්දී මේ තරුණයා සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්වෙලා තරුණ වියේදීම මියයන්නට යෙදුනා. මේක තමයි සංසාරේහැටි. ඒ දරුවා ගෙනා ආයුෂ කෙළවරවෙලා රට ජාතියට සේවය කරලා ඒ දරුවා මියගිය පාඩුව මේ සුමනදාස පවුලට වගේම අපි කාටහටත් දැනුනා. මෙහි සිටින අපි හැමෝම කවදාහරි දවසක මිය යනව. අපේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ අපිට උගන්වල තියෙන්නේ මේ සියල්ලම අනිත්‍ය බවයි. මේ පිංවතුන් හැම දෙනාම ඒක දන්නව......෿

මේ කහපාට රෙද්දක් පෙරවගෙන ඉන්නකෙනා මොනවද කියන්නෙ......
එයා කියන ඒව අපිට තේරෙන්නෙ නෑනේ......
රාමට තේරෙන්නෙත් නැතුව ඇති.....
ආ.... අපේ කපු මහත්තයට තේරෙනවනේ.....ඔව්.....ඔව්
අර එයා කියන කියන දේට ඔලුවත් හොල්ලන්නෙ.....
එයාගෙන් අහන්න ඕනි මෙයා මොනවද කිව්වෙ කියලා.....
මෙයා යනකම් ඉඳල අහන්න ඕනි....... නැත්නම් හොඳනෑ....෿ යි සින්නයියා පසෙකටවී කල්පනා කරන්නටවූවේය.

මගෙ දරුව මට නැතිවෙයිද දන්නෙ නෑ.....
අනේ ෂාමි ඒමනං වෙන්න එපා......
අර සාදු කියන කිසිම දෙයක් මට තේරෙන්නෙ නැති හිංද මොකුත් හිතාගන්න බෑනේ......
මගේ දරුව මට සනීපකරගන්න ලැබුණොත් .....෿ යි සිතමින් රාමේශ්වරීද සින්නයියා මෙන් වට පිට බලමින් සිටියාය.

පිංවතුනි මේ නිවසේ සිටි දරුව මීට වසර ගණනකට පෙර මිය ගියා. මිය ගිය ඒ දරුවා වෙනුවෙන් අපි හැම වෙලාවෙම අපිට පුළුවන් ආකාරයට පින් දහම් කරල පිං පෙත් අනුමෝදන්කළා. අපිට සංතෝෂ වෙන්න පුළුවං. මේ නිවසේ සිටි ඒ දරුව නැවත මනුෂ්‍ය ආත්මභාවයක් ලබල තියනව. ඒත් ඒ ආත්මෙ මේ ගෙදර දරුව උනාට මේ ආත්මේ මේ දරුවගේ දෙමව්පියෝ වෙන දෙන්නෙක්. මේ දරුව ඒ දෙමව්පියෝ කැමති ආකාරයට හැදෙන්න ඕනි. අපි මේ දරුව ඒ ඇත්තන්ට ලබා දෙන්න කටයුතු කරනවනම් මං හිතන්නෙ ඒක ලොකු පිනක්. මොකද අම්මෙකුට දරුවෙක් නැතිවුණොත් ඒක දරා ගන්න හරිම අමාරුයි. අර අම්මගෙ මූණ දැක්කම ඒක හොඳට වැටහෙනව.....෿ යි නායක හාමුදුරුවෝ රාමේශ්වරීව දක්වමින් පැවසූහ.

ඉතින් අපි මොකද කරන්නෙ නායක හාමුදුරුවනේ.....෿ යි සුමනදාස ඇසුවේය.
මට පේන විදිහට දායක මහත්තයෝ.....
මේ දරුවගේ මතකය පෙර භවයට ගිහින් තියෙන්නෙ...
ඉතින් අපිට පුළුවන්නම් මෙයාගෙ මතකය මේ භවයට ගෙනෙන්න...
ඉන්න මං අර කපු මහත්තයටත් විස්තරේ කියල දෙන්න....෿ යි පැවසූ නායක හාමුදුරුවෝ තමන් වහන්සේ වටහාගත් කරුණු කපුමහතා සමඟද සාකච්ඡා කළේය. කපුමහතාද තමන් නොදන්නා දේවල් ද්‍රවිඩ බසින් සින්නයියාගෙන් හා රාමේශ්වරීගෙන් විමසා නැවත සිංහල බසින් නායක හාමුදුරුවන්ට පැවසුවේය.

මම දන්න කියන මහත්තයෙක් ඉන්නව මෝහන විද්‍යාව මගින් මතකය වෙනස්කරන....
මේ අය කැමතිනම්....
මට පුළුවන් ඒ මහත්තයට කියල මේ දරුවගෙ මතකය වෙනස් කරන්න.....෿ යි නායක හාමුදුරුවෝ සින්නයියා දෙසත් රාමේශ්වරී දෙසත් බලමින් කපු මහත්මයාගෙන් විමසුවේය. නායක හාමුදුරුවෝ පැවසූදෙය කපු මහතා විසින් ද්‍රවිඩ භාෂාවෙන් සින්නයියටත් රාමේශ්වරීටත් තේරුම් කරදෙන ලදී. නායක හාමුදුරුවන්ගේ අදහසට එකඟ බව ඔවුන්ගේ ඉරියව් වලින් ප්‍රකාශවූවේය. රාමේශ්වරීගේ දෙකොපුලෙහි වූ කඳුළු වියැලී ගියේය. ඇගේ මුහුණ වර්ණවත් කරමින් සිනහ මලක් මුහුණ පුරා විකසිතවූවාය.

එදා නායක හාමුදුරුවන් සමඟ සියල්ලෝම විහාරස්ථානයට ගියහ. නායක හාමුදුරුවන්ගේ සමීප හිතවතෙක් වූ මහත්මයෙක් සුමනදාස, සින්නයියා ප්‍රමුබ පිරිස ඉදිරියේ පුංචි සන්දනම්ව මෝහනයට ලක් කරන ලදී. පියවරෙන් පියවර ඉතා සංයමයෙන් දරුවාව මෝහනයකළ ඔහු දරුවාගේ මතකය වර්තමානයට ගෙනාවේය. අවසානයේ දරුවා රාමේශ්වරීව හඳුනාගත්තේය. සින්නයියාවද හඳුනාගත්තේය.

අම්මා....෿ යි පැවසූ කුඩා සන්දනම් රාමේශ්වරීගේ කරේ එල්ලුනේය. දමිළ භාෂාවෙන් තතන තතනා වදන් මාලාවක් තෙපළුවේය. අපමණ දරු සෙනෙහසින් ළය මඩල පිරී ඉතිරී යද්දී ඇය දරුවා තම ළැමට තුරුළුකර ගත්තාය. එදා රාත්‍රිය සුමනදාසලාගේ නිවසේ ගතකළ පිරිස ආපසු තම ගම් බිම්කරා පැමිණියේ නව මිතුරු දමක්ද ගොඩනගා ගනිමින්ය. ආගන්තුක ෂත්කාරය ඉතා හොඳින් මේ සිංහල ගැමියන්තුළ ඇති බව ඔවුන් අවබෝධ කර ගත්තේය.

අම්මා මං තේති බීල ඉවරයි...
අම්මා....අම්මා මෙන්න කෝප්පේ ආ....
ගන්නකෝ.....෿ යි සන්දනම්ගේ හඩින් රාමේශ්වරී නැවත පියවිලොවට පිවිසියාය. ඇය තම අතෙහිවූ කෝප්පයේ ඉතිරිව තිබූ නිවී ගිය තේ වතුර උගුරු කිහිපයද ගිල දැම්මාය. ඉන් පසු දරුවා අතවූ කෝප්පයද රැගෙන නැගී සිටියාය. කෝප්ප දෙකට වතුර වත්කළ ඇය එය හොඳින් සෝදා රාක්කයෙහි මුණින් අතට තැබුවාය. සන්දනම්ගේ හිස අතගා සෙනෙහස පෑ ඇය ඔහුට නිදහසේ සෙල්ලම්කිරීමට ඉඩ හැර ආහාර පිළියෙල කිරීමෙහි කටයුතුවල නිරතවූවාය.