Monday 29 November 2010

සියවස්කල් දිනේවා........

පොල් ගෙඩියට පනහක්ය
පොල් තෙල් තව මිළය
හාල් හැටට ගත්තත්
මට ඒ මදිය
කන බොන ජාති
මේ තුන හතරට වැඩිය
කඩයට ආවොතින්
මෙහි තතු දත හැකිය.............

දුප්පත්කම නිසා
රස්සාවට ආවේ
දිවි ගැටගහගන්න විය
තව කෙනෙකුගෙ ජීවේ
අත පත් මුදල්
නොදැනිම සුළඟෙහි පාවේ
ඒ දුක දැකලාද
ඔබ හසරැලි පෑවේ............

සියයට පහක් වැඩිවිය
අපෙ සේවයට
බඩු මිළ වැඩිවෙලා මැතිඳුනි
අහසේ උසට
වැඩිවු පඩිය මදි
තුන-පහවත් ගන්ට
ඒකත් තියන් වැඩියෙන්
රට නංවන්ට...........

දුප්පත් අපේ
දුක් ගින්දර නිවන්නට
මතු පරපුරට
රන් අස්වනු නෙලන්නට
රට ජාතිය
සමය ආගම රකින්නට
සියවස්කල් දිනේවා
රට ගොඩ නගන්නට.......

Thursday 25 November 2010

රැයේ නොනිදමි සිහින දකිමින්..........

නිදන්නට ඇඳට
යන්නට එදා විලසට
නොහැකිවූයේ මට
කිමැයි දෙවියනි කියන් සවනට...........

නුඹ දුටු දිනේ පටන්
හද පත්ලෙහි නිපන්
සොඳුරු සිසිලැති වදන්
නෙතඟ දැල්වේ අඳුරු දුරලන්...............

දහවල් කාලයේ
නුඹ ගෙලෙහි ඇති මාලයේ
සිරිය විඳ විඳ ආලයේ
සිහින උතුරති මගෙ ළයේ............

මා ළඟට එන විට
දකිනා නුඹේ මුවගට
නංවන මදහසට
අකුරු අමුණමි එකින් එකපිට...........

කොතරම් වැඩ තිබුණත්
එකම එක මොහොතක්
වෙන් කරගෙන ඉඩක්
එමි නුඹ දකින අටියෙන්...........

මට මෙන්ම නුඹටත්
මා නොදැක එක පැයක්
ගත කෙරුම එක දිනක්
කල්පයක් නොවෙතියිද සැකයක්..........

නුඹෙ දෑත වෙනතකය
වෙන දෑතක්ද මාතය
එනමුදු අපේ හදවත
බැඳි බැමි කෙසේ ලිහමුද..........

මම නුඹට ආදරෙයි
නුඹත් මට ආදරෙයි
මුළු දවස සිහිකරන්
රැයේ නොනිදමි සිහින විඳිමින්.........


Wednesday 24 November 2010

ඉවසිල්ලෙන් අපි බලා හිඳිමු............

බලා හිඳින්නට
වරම් ලැබූවෙමි
සුන්දර ඔබේ
කෙහෙරැල්ලේ...........

ළං වන්නට මට
අවැසි වුවත් එය
අසම්මතලු
අපෙ සමාජයේ............

අසම්මතය වුව
සම්මත නේදෝ
අප දෙදෙනාගේ
සිත් ඇතුලේ.........

ඉවසිල්ලෙන් අපි
කාලය හරිනෙමු
සම්මත වෙනතුරු
මතු සසරේ............

Thursday 18 November 2010

නුඹේ වදන්.........

මුකුලිත සියපතක්
විකසිතවනතුරු
තිමිරය දකින්නට
පෙරුමන් පුරනා
මල් කෙමියක සේ..........

නුඹ හද පතුලෙන්
මෝදු වෙවී මෝදු වෙවි
දැල්වෙමින් නැග ඇවිත්
නෙත් කෙවෙනියෙහි
දිදුලන නමුදු
දෙතොලතරින්
වා තලයට මුසුවී........

වා තලය සිසාරා
මගේ සවන් යුග
සනසාලන
ඒ සුමියුරු
වදන්පෙළ
ගලාහැලෙනතුරු
නොයිවසිල්ලෙන්
බලාහිඳින්නම්.......

බඹර පැතුමක්

ඇඟ මැලි කඩමින්
බමරුන්
උදයෙම නැගිට
ඇවිදින්
කැරකි කැරකී
බලාහිඳී
මල් අසලටවී
උරන්නට රොන් බිඳක්
විකසිත වන
සියක් පෙති
අතරට රිංගා.......

Wednesday 17 November 2010

මගේ දෑතට සුකොමළ දෑතක්.......

හිරු කුමරුනි
මේ පින්බර
උදයෙම ඇයි
හිනැහෙන්නේ...........

ඔබ නාවොත්
මේ දෙරණෙහි
කෙලෙසද මල්
පිබිදෙන්නේ.......

ගණ අඳුරෙන්
මා ගලවා
මගෙ දිවි මග
බැබලෙන්නේ......

සුකොමළ පොඩි
පුංචි දෑත
මගේ දෑතෙහි
පැටලෙන්නේ...........

Monday 15 November 2010

ගෙම්බෙක් ගෙදර ගෙනියන්න හදලා.........

මං පුංචිකාලේ අපේ සීයා ගෙයි පිල උඩින් වාඩිවෙලා මාව ඔඩොක්කුවේ තියාගන්නව. හැමදාම හැන්දෑවට රස කතාවක් මට කියාදෙන්න සීයත් හරිම කැමතියි.ඒ කතන්දර අහගෙන ඉන්න මමත් හරිම ආසයි. අපේ සීය මට කියා දුන්නු ඒ වගේ පුංචි රස කතන්දරයක් මට නිකමට වගේ මතක්වුනා. අනෙක් කාරණය තමයි අපේ සීය වැඩිහරියක්ම කියා දුන්නෙ ඔය ගමේ අහන්න දකින්න තිබුණු සිදුවීම්.ඒ ඉතිං සීයගේ තරුණකාලේ වෙච්චි දේවල් වෙන්නත් ඇති.දැනට මට මතක තියෙන විදිහට මම කතාව ඔබට කියන්නම්.

අපේ ගමේ සමුපකාර ආරම්භ කරපු කාලේවගේ. ගමේ හැමෝම බඩු ගන්නෙ සමුපකාරෙන්. අද කාලේවගේ නෙවෙයිනෙ ගොඩාක් කඩවල් තිබිල නෑ. ගමේ සමුපකාරෙ මැනේජර් විදිහට ඉඳල තියෙන්නෙත් ගමේ උගත් කෙනෙක්මයි.

ගමේ උදවිය හැමදාම වගේ සමුපකාරෙට ඇවිල්ල බඩු අරගෙන යනව. ටික දවසක් යනකොට මැනේජර් මහත්තයට තේරුනා බිල්වලට වඩා බඩු අඩුවෙන බව. ඉතිං සමූපකාරේ උනාට ගොඩාක් බඩුත් නැහැනේ. කොහොමවුනත් බිල්ටික පරීක්ෂා කරල බඩු පරීක්ෂා කරනකොට සමහර බඩු අඩුවෙනව. සමහර වෙලාවට වෙන කාටහරි කිරල තියෙන බඩුත් නැතිවෙනව. මෙහෙම වෙනකොට පොඩි පොඩි ගැටළු ඇතිවෙනවනෙ.මැනේජර් මහත්තයටත් මේක ගැටළුවක්වුනා.

ඇයි මෙහෙම බඩු නැතිවෙන්නෙ......... කියල මැනේජර් මහත්තයත් කල්පනා කළා.
මහ දවල් මීයෝ කන්නයැ කඩේට එන කවුරුහරි හොරකම්කරනව ඇති........... කියල හිතුණු නිසා මැනේජර් මහත්තයට මේ හොරා කවුද කියල අල්ලගන්න ඕනිවුනා.

කොහොමද මේ වැඩේ කරන්නෙ කියල කල්පනාකලා.සමූපකාරෙ බඩු අඩුවෙනව කියල ගමේ අය දන්නෙ නෑ. එහෙම හැමෝම දැනගත්තොත් හොරා අල්ලගන්නත් බැරිවෙනවනේ. ඉතිං මැනේජර් මහත්තය කඩේට එන හැමෝම ගැන හොඳ පරීක්ෂාවෙන් ඉන්න පටන්ගත්තා. කවුරුහරි කඩෙන් බඩු අරගෙන ගියහම මොනවහරි බඩු අඩුවෙලා තියෙනවද කියල හොයල බැලුවා.අද කාලේ වගේ නෙවෙයිනෙ ඒ කාලේ එච්චර සෙනඟත් නෑනේ. ඉතිං වැඩේට ලේසියි. කොහොම හරි දවස් කිහිපයක් යනකොට කඩේ බඩු අඩුවෙන්නෙ කවුරු ඇවිත් ගියාට පස්සෙද කියල අනුමාන කරගන්න මැනේජර් මහත්තයට පුළුවන්වුනා.

මේ වැඩේ කරන්නෙ ගමේ ඉන්න ගැහැණු කෙනෙක්. එයා ටිකක් විතර දුප්පත්. ඒ වුනත් හොරකම හොඳ වැඩක් නෙවෙයිනෙ.මේ ගෑණු කෙනා තමන්ගෙ අතට අහුවෙන ඕනෑම දෙයක් අරගෙන යන්න පුරුදුවෙලා තිබුනේ. සමහර වෙලාවට මේ ගෑණුකෙනා කවුරුත් නැතිවෙලාවට කඩේට ඇවිත් මැනේජර් මහත්තය බඩු කිරන අතරෙ අතට අහුවෙන දේවල් මල්ලට දාගන්නව.මල්ලක් නැත්නම් තමන් ඇඳගෙන ඉන්න චීත්ත පොටහරි හංගගන්නව. චීත්ත පොටට කම්බා පොට කියලත් කියනවනේ.

මේ වැඩේට හොඳ වැඩක් කරන්න ඕනි කියල කල්පනා කරපු මැනේජර් මහත්තය ටිකක් ලොකු ගෙම්බෙක් අල්ලල ලස්සනට පාර්සලයක් විදිහට ඔතල අර ගෑණුකෙනා එන වෙලාවට මේසෙ උඩින් තියල හැංගිල බලාගෙන හිටිය. ඔන්න දැං ඉතින් ටිකක් වෙලා යනකොට අර ගෑණුකෙනා බඩු ගන්න විදිහට සමූපකාරෙට ඇවිල්ල. බැලු බැල්මට මැනේජර් මහත්තයත් නෑනේ. වට පිට බලනකොට දැක්ක මේසෙ උඩ තියෙන පාර්සලේ.ඇතුලෙ ගෙම්බෙක් කියල මෙයා දන්නෙ නෑනේ. ගෑණු කෙනාගෙ අතේ මල්ලක් තිබිල නෑ. ඒත් ඉතිං නිකම්ම ඉන්නෙ නැතුව පුරුද්දට වගේ අර පාර්සලේ අරගෙන චීත්තෙ පොටේ හංගගෙන තියෙනව.

මැනේජර් මහත්තය හැංගිල සිද්ධිය බලාගෙනනෙ හිටියේ.චීත්ත පොටේ ගෙම්බ හංග ගන්නකොටම හැංගිල හිටිය තැනින් එළියට ඇවිල්ල. නිකම්ම නෙවෙයි ලස්සන කවියකුත් කියාගෙනම.

එම්බා සොඳුර කළ දේ නම් බලු නොවටී
හම්බා කරන හැටි ඔහොමද කාලෙ හැටී
කම්බා පොටට යටකරගෙන බැලුව හැටී
ගෙම්බා ගෙදර ගෙනියන්නට හදපු හැටී

ඊට පස්සෙ නම් හොරකම් කළාද කියන්න දන්නෙ නෑ. වැඩේ අහුවුන හිංද හොරකම අතෑරියද දන්නෙත් නෑ.

සේවයට පැමිණීම (කෙටි කතාව)

දෑසට මද නිදිමතක් දැනුනද නින්දට පෙර මගේ දින පොතෙහි සටහනක් තැබීමට මම පුරුදුව සිටියෙමි. බෑගයේ පියන විවිරකළ මම එහි වූ මගේ දින පොත සහ පෑනද අතට ගෙන ඇඳ උඩින් වාඩිවී දින පොත පෙරලා ගත්තෙමි. වමත නළල මතින් තබා ගත් මම දකූණතෙහි පෑන දවටගෙන දවස ආරම්භයේ සිටම සිදුවූ සිදුවීම් පෙළින් පෙළට සිහිපත් කළෙමි.

බදුල්ල බලා දිවෙන පාන්දර බසයට මම ගොඩවූයේ උදෑසන 8.00 පමණ වන විටවත් බළන්ගොඩට යාමට අවශ්‍යවූ බැවින්ය. මම බසයට ගොඩවන විට එහි ආසන සියල්ල මගීන්ගෙන් පිරී තිබූණි. අවිස්සාවේල්ල නගරයට බසය සේන්දුවූ පසු එහි සිටි බොහෝ දෙනෙක් ඉන් බැස ගියේය. එමඟින් කවුළුවක් අසල හිස්වූ අසුනක අසුන් ගැනීමට මට හැකිවිය. ධාවනය වන බසයේ වසා තිබූ වීදුරු කවුළුව අතරින් පිටත බැලූ මට පාන්දර අඳුර නිසා කිසිවක් නොපෙනුනේය. රථයතුළ වූ මන්දාලෝකයද කථාකර කර යාම සඳහා මා අසල සමීපතමයෙකු නොසිටීමද මා ඉතා ඉක්මණින්ම නිදි ලොවකට ගෙන ගියේය.

දැඩි හඩක් නඟාගෙන කන්දක් නගිමින් සිටි බසයේ ඇතිවූ තද ගැස්සීමක් නිසා මම අවදිවුනෙමි. බසය තුළ බොහෝ දෙනෙක් සිටගෙනද සිටියේය. කොපමණ දුරක් බසය ගමන්කර ඇත්දැයි මම සිතා ගැනීමට වෙරදැරුවෙමි. බසයතුළ වුවද ආසනයේ සුව පහසුව නිසා මෙතරම් හොඳින් නින්දයෑම පිළිබඳ මට සුළු පසු තැවිල්ලක්ද ඇතිවිය. බළන්ගොඩ පහුවෙලාවත්දැයි එම පසුතැවිල්ලත් සමඟම මම සිතුවෙමි.

“බළන්ගොඩ පහුවුනාද?... ” යි මම මා සමීපයේ අසුන්ගෙන සිටි අනෙක් මගියා දෙසට හැරී විමසුවෙමි.

“නැහැ.... තවම නැහැ... තව කිලෝමීටර පහක් විතර තියෙනවා..... ” ඔහු මා සමඟ කීවෙිය. ඉන් සැනසුණු මම රථයේ කවුළුව මදක් විවිරකර එතුළින් පිටත බලාගෙන ටික දුරක් ගමන් කළෙමි. මුව තුළ වියැලි බවක් ඇතිවූ නිසා මම බෑගයතුළ වූ වතුර බෝතලය ගෙන ඉන් උගුර තෙමා ගත්තෙමි. පිපාසය මදක් සන්සිඳුණු මම මඟ පසුවන දේ පිළිබඳ විමසිලිමත් වෙමින් කවුළුවෙන් පිටත බලාගෙන නැවතත් ගමන් කලෙමි. කඳු ගැටය නගිමින් තිබූ බසය ගමන් කළේ තරමක් සෙමෙන්ය. ගස් වැලින් නිල් පාට වූ මාවත අයිනේ අතරින් පතර ගෙවල් නොතිබුණේද නොවේ.

වංගුවකින් රථය හැරෙන විට ඈතින් දිස්වුණු කඳු පංතිය සොඳුරු දසුනක් මතුකලේය. පැහැසර වූ අහස් තලයේ කඳු පංතිය ඇඳි සිතුවම සින්නරෙකුට නම් අමතක කළ නොහැකි සිතුවමක් විය. මෙම කඳු මුදුන් දෙස බලාගෙන යන මට එක් උස කඳු මුදුනකින් මතුවී නිසසලව වැඩ සිටින සුදු බුදු පිළිමයක් පෙනුනේය. බුදු රුවට පසුබිමෙන් හිරු නොපෙනී හිරු රැස් පමණක් විහිදීම නිසා එය හරියට බුදු රුවින් රැස් විහිදෙන්නාසේ පෙනුනේය. වීදාගම හාමුදුරුවන් හෝ තොටගමුවේ හාමුදුරුවන් හෝ මෙම දර්ශනය දුටුවේ නම් ඔවුන්ගේ කාව්‍ය සංකල්පනා තුළින් කෙබඳු නිර්මාණයක් බිහිවිය හැකිදැයි මම කල්පනා කලෙමි.

“ඔය බළන්ගොඩ බහින අය ඉස්සරහට එන්න...ස්ටෑන්ඩ් එහෙම යන්නෙ නෑ...” යි බසයේ කොන්දොස්තරවරයා බසයතුළට පමණක් නොව ගමටම ඇසෙන සේ දෙවරක්ම හඩගා කීවේය. එම හඩින් කලබලවූ කිහිප දෙනෙක්ම තම තමන්ගේ බෑග් මළු ගනිමින් ඒවා අතින් කරින් එල්ලාගෙන එම කලබලයෙන් බසයේ ඉදිරි දොර වෙත ගමන් කිරීමෙහි යුහුසුළු විය. මමද ඒ පිරිසට එක්වී බසයේ ඉදිරියට ගමන් කලෙමි. ඉදිරියට එන අයට ඉඩදී බසයේ කොන්දොස්තර වරයා රියදුරු අසුන අසල පසෙකටවී සිටියේය.

“බළන්ගොඩ නගරසභාව තියෙන්නෙ කොතැනද?.....”යි මම කොන්දොස්තරවරයාගෙන් විමසුවෙමි.

“ආ... මහත්තයෝ අපි එතැනින් තමයි යන්නෙ ඉන්න..... එතැනින් ඉස්සවන්නම්..... ”යි ඔහු මා වෙත සිනහවකද පාමින් කීවේය. එය මට මහත් අස්වැසිල්ලක්වූවේය. ඔරලෝසු කණුවක් සහිත සතරමං සන්ධියකින් වම් පැත්තට හරවන ලද බස් රථය තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් බස් නැවතුමක නතරකලේය. සුපිරි වෙළඳ සංකීර්ණයක් වන කාර්ගිල්ස් වෙළඳ සැලක් පුළුල් මාර්ගයට ඉදිරියෙන් පෙනුනේය. මේ වෙලාවට වෙනත් නගරයක නම් පාරේ තැනින් තැන ගොඩ ගසා ඇති කුණු ගොඩවල් ඉවත් කිරීම සුලභ දසුනකි. හොඳ ඇඳුමක් හැඳ පැළඳ නගරයට පැමිණෙන කෙනෙක් එතැනින් ඉවත් වන්නේ නාසය අතින් වසාගෙන මහත් පිළිකුලින්ය. සමහර කම්කරුවන් කිසිම හෙවීමක් බැලීමක් නැතිව අතු පතු ගෑම කසල විසි කිරීම නිසා පාරේ යන අයගේ ඇඟේද ගෑවෙන අවස්ථා බොහෝය. මම මෙම නගරයේ මට පෙණුනු සෑම දෙසටම හැරි හැරී බැලුවෙමි. පාරෙහි තැන තැන දමන ලද කසල ගොඩවල් එහි නොවීය. මේ වගේ නගර ලංකාවේ තිබේදැයි සිතා ගැනීමට පවා මට නොහැකිය. මම අද සේවයට වාර්තා කරන්න යන්නේ මෙවන්වූ තැනකටදැයි මගේ සිත උද්දාමයට පත්වූවේය.

“ඔය ගොඩවුණු අය ඔතන ඉන්නෙ නැතුව පස්සට යන්න...... පස්සහ ඉඩ තියෙනවා..... ” යි කොන්දොස්තර මහතා බසයට ගොඩවුණු අයට කීවේය. බොනටුව මත තබා තිබූ ටිකට් පොතද රැගෙන ඔහු පිටුපයට යාමට සැරසුනේය.

“මේ මහත්තය ඉස්සරහ නගර සභාව ළඟින් දාල යං..... ” යි ඔහු බස් රථයේ රියදුරුට පැවසුවේය. මදෙස බැලූ රියදුරු මහතා මද සිනහවකින් මට සංග්‍රහකලේය. ඔහුට සිනහවකින් සංග්‍රහකළ මම නගරයේ අවට අසිරිය නැරඹීමි. රියදුරු මහතා රථය මාවතට ගෙන ගියරය මාරු කර වේගය වැඩි කලේය. මම රියදුරු අසුන ළඟටම වී වට පිට බලමින් සිටියෙමි. මාවත හරිම පිරිසිදුය.

“මහත්තය ඔය ඉස්සරහින් බැහැගන්න.... අර තියෙන්නෙ නගර සභාව තමයි..... ” යි රියදුරු මහතා රථයේ වේගය අඩු කරමින් කීවේය. ඔහුට ස්තූති කළ මම බසයෙන් බැස්සෙමි.

එක දිගට පිහිටි කඩ කිහිපයක් මාර්ගය දෙපස පිහිටා තිබුණේය. මාර්ගයේ තිබුණු පිරිසිදු බව මා පුදුමයට පත් කළේය. ටොෆී කොලයක තරම් දෙයක් මම මාර්ගයේ දමා තිබෙනු නුදුටුවෙමි. වෙනත් නගරවලට ගොස් පුරුදු මට එම නගර සහ මෙම නගරයේ වෙනස හොඳින් පෙනුනි. කුණු කාණුවලින් නික්මෙන අප්‍රසන්න දුගඳක් මෙහි නොවීය. සීතල මිශ්‍රව හමන උදෑසන මදනළෙහි ආශ්වාදය ඒ අයුරින්ම විඳගැනීමට හැකිවීම මොනතරම් භාග්‍යක්දැයි මම කල්පනා කළෙමි. රැකියාවන් කරා උදෑසන පිය මනින තරුණ තරුණියන් මෙන්ම නොයෙකුත් තරාතිරමේ පුද්ගලයන්ට ප්‍රබොධමත් සිතින් තම තමන්ගේ කටයුතුවලට යාමට හැකිය. මාර්ගයේ එක් පසෙක පෙළට නතරකර තිබූ ත්‍රීරෝද රථ පෙළකි. මා බසයෙන් බසින විට මම රැගෙන යා යුත්තෙ කොතැනටදැයි විමසන්නාක් මෙන් ඔවුන් මද සිනහවකින් මවෙත බලා සිටියේය.

“බළන්ගොඩ නගර සභාවට යන්නෙ කොතැනින්ද?.....” යි මගේ මුවඟ වූ පැනය මම ත්‍රී රෝද රථයක සිටි තරුණයෙක්ගෙන් විමසුවෙමි.

“අර තියෙන්නෙ නගර සභාව තමයි.... අතන උඩ පැත්තෙන් ගේට්ටුව තියෙන්නෙ..... ” යි එම තරුණයා අත දිග හැර පෙන්වමින් කීවේය. එම අත ඔස්සේ මම හිස හරවා බැලීමි. බළන්ගාඩ නගර සභාව ලෙස සටහන්වූ තැඹිලි පාට පසුබිමේ කළුපාටින් ලියන ලද විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් මනෙතට ගැටුණි. එය මට බුද්ධ කාලයේ අසිත නම්වූ තාපසයාට මෙන් ප්‍රීතියක් සහ කණගාටුවට කරුණක් වූයේය. මට ප්‍රීතිය වූයේ මම සේවය සඳහා වාර්තා කරනු ලබන ආයතනය හමුවීමයි. මගේ කණගාටුදායක කාරණයවූයේ මෙතරම් විශාල පුවරුවක් තිබියදී පුවරු පිළිබඳ කිසිම පරීක්‍ෂාවකින් තොරව කටයුතු කිරීම පිළිබඳවයි. තරුණයාට ස්තූතිකළ මම ඔහුගේ මඟ පෙන්වීම ඔස්සේ පා නැඟුවෙමි. ප්‍රධාන මාර්ගයෙන් හැරුණු මම ආරම්භයේ සිටම කඳු ගැටයකට දිවෙන අතුරු පාරක් දිගේ අඩි විස්සක් පමණ ගමන් කළෙමි. එහි වම් පසට වන්නට වු කහ පාටකට හුරු සුදු පාටකින් තීන්ත ආලේප කරන ලද විශාල ප්‍රමාණයේ ගේට්ටුවෙහි එක් පියනක් පමණක් විවරකර තිබුණේය.

මම ඒ සුවිසල් ගේට්ටුව අභියසට පැමිණියෙමි. ඉදිරියෙහි වූ ගොඩ නැඟිල්ලෙහි පියස්සක බළන්ගොඩ නගර සභාව වශයෙන් සටහන් කරන ලද තවත් දැන්වීම් පුවරුවක් තිබුනේය. මා ඉදිරියෙන් තිබූ මාර්ගය ගේට්ටුව ළඟ සිට ඇතුළට දෙකට බෙදා තිබුණේ කහ පාට කඩ ඉරි සිතුවමිනි. බෙදන ලද එම කොටස්වල ගමන් කළ යුතු ආකාරය දක්වමින් ඊතල ද සිතුවම්කර තිබුණේය. මම මගේ දකුණත පැත්තෙන් පියවර කිහිපයක් ඉදිරියට පැමිණියෙමි.

මුර කුටියතුළ සිටි මුරකරු මදෙස බලා හිස මදක් පැත්තට ඇලකර සිනහවක් පෑවේය. මමද ඔහුට සිනහවකින් සංග්‍රහ කලෙමි. ඔහු සිටි මුර කුටිය පිහිටා තිබුනේ මගේ දකුණු අත පැත්තෙහිය. මුර කුටිය අසලම මල් කිහිපයක් පිපිණු ජේබරා වර්ගයේ මල් පාත්තියක් තිබුණේය. ප්‍රවේශ මාර්ගයට මදක් දුරින් මුර කුටිය අසල සිට පෙළට සිටුවන ලද විවිධ වර්ගයේ රෝස පඳුරුවල මල් පිපී ලෙල දුන්නේය. මා සිටි තැන සිට වම් පැත්තට හිස හරවා බැලූ මට ගේට්ටුවට තරමක් ඇතුළතින් ප්‍රවේශ මාර්ගයේ අනෙක් පැත්තේ සිටුවා තිබුණු කතුරු මුරුංගා ගසෙහි මල් පිපී තිබෙනු දුටුවේමි. එම සුදු පාටැති මල් හිරු එළිය වැටීම නිසා විදුලි බලය හීන වූ විට මද විදුලි බලයෙන් ක්‍රියාත්මක වීමට වෙර දරන විදුලි බුබුළු වැලක විදුලි බුබුළු මෙන් පෙනුනේය. එතැන් සිට ඉදිරියටද ළඟ ළඟ සිටුවන ලද විවිධ මල් පඳුරුවල මල් පිපී අලංකාර වී තිබුනේය.

තවත් පියවර කිහිපයක් ඉදිරියට පැමිණි මට රෝස පඳුරුවල කෙළවරින් තරමක් විශාල පෝච්චියක සිටුවා තිබුණු අඹරැල්ල ගසෙක් දැක්කෙමි. අඩි හයක් පමණ උස් වූ මෙම ගසෙහි එක් එක් මට්ටමේ පොකුරු කිහිපයකින්ම ඵල දරා තිබුනේය. කාර්යාලයට ඇතුළුවීමට ඇති විවෘත පියස්සෙහි කුළුණු යට බෝගන්විලා පඳුරු කිහිපයක් තිබුණේය. එම පියස්සේ වම් පස සිට කාර්යාලයේ ඉදිරිපස අයින දිගටම පෝච්චිවල සිටුවන ලද බෝගන්විලා මල් පඳුරු විවිධ වර්ණයන්ගෙන් අලංකාර මලින් පිරී තිබුණේය. මම පියස්ස තුළට ඇතුළු නොවී මදක් වට පිට බැලිවෙමි. මා නැවතුණු තැනට ඉදිරියෙන් ආවරණයක් යට පෝච්චිවල සිටුවන ලද ඇන්තූරියම් මල් යායක් මලින් පිරීතිබෙනු දුටුවෙමි. එම ඇන්තූරියම් මල් යාය වසා වැඩී තිබුණු විශාල නෙල්ලි ගසෙහි සෑම අත්තක්ම පිරී ඉතිරී ඵලදරා තිබුණේය. නෙල්ලි ගසට එපිටින් දිස්වූ අලංකාර ශාඛ වැටිය අතරින් මා නගරයට ඇතුළුවන විට දුටු නිසසල සුදු බුදු රුව පෙණුනේය. කඳු මුදුනේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මේ කාර්යාලය දෙස බලා සිටිනවායැයි මට සිතුනේය.

“සාදු.... සාදු.... සාදු....... ” යන ලයාන්විත හඩ පැමිණි දෙස මම දෙනෙත් විහිදවීමි. ඵල බර තැඹිලි ගස් දෙකක් අතර පිහිටුවාතිබූ බුදු කුටියක් අසල පෙර පාසැල් දරුවන්ට එහි ගුරුවරු කිහිප දෙනෙක් ආගමික වතාවත්හි නියැලීමට පුරුදු කරවනු මම දුටුවෙමි. නිල ඇඳුමින් සැරසී මිදුලෙහි පෙළට සිටි දරුවන් ලයාන්විතව ගැයූ ගාථාවන් මගේ බුද්ධාලම්බන ප්‍රීතියද තියුණු කලේය. මිදුලෙහි කෙළවර ඉදිකර තිබුණු ළමා උද්‍යානය සහිත පෙර පාසැල් ගොඩනැගිල්ලේ වූ සිතුවම් මමද ළමා ලෝකයකට රැගෙන ගියේය.

මා ඉදිරියෙන් පැමිණි නිලධාරිණියක් මා පසු කරගෙන ගොස් කාර්යාලයේ ප්‍රධාන දොරටුවට යා බදව බිත්තියේ සවිකර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් තම පැමිණීම සටහන් කළාය. මවෙතට බැල්මක් හෙළු ඇය මඳ සිනහවක් පා කඩිසර ගමණින් කාර්යාලයතුළට යනයුරු මම බලා සිටියෙමි. ඇයව අනුකරණය කරමින් මමද ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වුනෙමි.

“සාදරයෙන් පිළිගනිමු” දෙපසෙහි පුන් කලස් දෙකක සිතුවම්ද සහිතව සටහන් කර ඇති තරමක් විශාල තීරු පුවරුවක් ප්‍රධාන දොරටුවට ඉහළින් සුළඟට පැද්දෙමින් තිබුනේ මට ආචාර සමාචාර කරන්නා සේය.

“2020 දී සැමට සුව පහසු දිවියකට තිරසාර පුරවරයක්” යන දැක්ම සඳහා කළයුතු මෙහෙවෙර ප්‍රකාශය නිල් මහනෙල් මලක පසුබිම්ව තරම් විශාල අලංකාර කැටයමින් යුතු පුවරුවක ඉදිරියෙන්ම දක්වා තිබුනේය. ඒ අසලම කාර්යාලයේ සංවිධාන සැළැස්ම සහිත පුවරුවක් තම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා කෙනෙකුට යා යුතු තැන පෙන්වා දුන්නේය. කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිණිය දුරකථන සංවාදයකට යොමුවී සිටියාය. මහජනයා වෙනුවෙන් පනවා තිබුණු ඉදිරියේ වූ අසුනක අසුන් ගන්නා ලෙසට ඉඟිකරමින් ඇය මට අතින් සංඥාවක් කලාය. එක් අසුනක අසුන් ගත් මම මගේ බෑගයද උකුල මතින් තබා ගත්තෙමි. මා ඉදිරියෙන් වූ විසිතුරු මසුන් සහිත තරමක් විශාල ටැංකියේ සිටි මසුන් සදහා එක් නිලධාරියෙක් ආහාර දමමින් සිටියේය. ආහාර වැටෙන විට මෙතෙක් නිරාහාරව සිටියාක් මෙන් සියළු මසුන් එක පොදියට එතැනට පිහිනා එන දෙස මම බලා සිටියෙමි.

“මේ මහත්තය කවුරු හම්බවෙන්නද දන්නෙ නෑ නේද?..... ”යි මවෙතට පැමිණි පිළිගැනීමේ නිලධාරිණිය විමසුවේය. මම ඇයට මම පැමිණි කාරණය කීවෙමි.

“එහෙනං සී සී මිස් හරි ලේකම්තුමා හරි එනකං ඉන්න වෙනව... මහත්තය වාඩිවෙලා ඉන්න මම ආපුවහම කියන්නම්..... ” යි පැවසූ ඇය තම අසුනවෙතට ගියාය. මා ඉදිරියෙන් බිත්තියේ සවිකර තිබූ රූපවාහිනී යන්ත්‍රයේ උදෑසන විකාශනයවන සංවාදාත්මක වැඩ සටහනට සිත යොමුකළ මම එය නැරඹීමි. සුළු සේවක මහත්ම මහත්මීන් යුහුසුළුව කාර්යාලය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටිනු ඒ අතර මම දුටුවෙමි. කාර්යාලයට පැමිණියා වේලාසන වැඩිදැයි මම කල්පනා කලෙමි.

එක දිගටම වෙළඳ දැන්වීම් කිහිපයක් ප්‍රචාරයවීම නිසා මම මගේ දෑස් රූපවාහිනී තිරයෙන් ඉවතට ගත්තෙමි. සභාපතිවරයාගේ සිට කම්කරුවා දක්වා බලයවිහිදී යන කාර්යාල ව්‍යුහය දැක්වෙන සුදු පැහැති පසුබිමක් සහිත පුවරුවක් පුරා දක්වා තිබුණේය. අනෙක් පස වූ කොරිඩෝව දිගේ ඒ ඒ අංශයන් සඳහා වෙන්කරන ලද කාමර නම්කර තිබුනේය. රූපවාහිනී සංවාදය නැවත ආරම්භකළ බැවින් මම එයට යොමුවුනෙමි. මමත් රූපවාහිනියත් අතරින් කාර්යාලයට ප්‍රවේශය යෙදී තිබුණු බැවින් වරින් වර කාර්යාලයතුළට පැමිණෙන අය මට පෙනුනේය. ඒ අතර සමහරු මා කෙරෙහි විමසිලිමත් වන ආකාරයද දිස්විය. තවත් සමහරෙක් මදෙස බලා සිනහවකින්ද සංග්‍රහකළේය. ඔවුන්ට ප්‍රතිචාර දක්වමින් මම එතැනම සිටියෙමි.

“මේ... මහත්තය සී සී මිස් නම් ආවා..... ”යි මා ඇමතූ පිළිගැනීමේ නිලධාරිණිය පැවසුවාය.

“මේ .... මෙතැනින් ආයතන අංශයට යන්න..... ”යි මගේ චකිතය දුටු ඇය පැවසුවාය. එක අතකින් බෑගයද එල්ලා ගත් මම ආයතන අංශයට ඇතුළුවුනෙමි. පෙළට තබන ලද භාග කබඩ් පෙළක් මත තබන ලද මල් පෝච්චියකට උදෑසනම නෙලා ගෙනෙන ලද නිල් මනෙල් සහ ඕලු මල් දමමින් එක් නිලධාරිණියක් පසුවූවාය. මට ඉදිරියෙන්වූ බිත්තියෙහි සවිකරන ලද විශාල පුවරුවක මහ ජනයා දැනුවත් කිරීමේ උපදෙස් දක්වා තිබුනේය. තිර රෙදි දෙපසට කර විවිරකර තිබූ ජනේල සිහිත බිත්තියේ ඉහළින් විසිතුරු සිතුවම් යොදා අලංකාරකර තිබුණි. පැතලි තිරක් සහිත පරිගණකය ක්‍රියාත්මක කරමින් තවත් නිලධාරිණියක් සිටි අතර පැමිණීමේ ලේඛනයේ අත්සන් කිරීමට පැමිණි කිහිපදෙනෙක්ද එහි සිටියේය.

“වාඩිවෙන්න....” යි මා දෙස බැලූ ප්‍රධාන කළමනාකරණ සහකාරවරිය පැවසුවාය. ඇයගේ මේසයට ඉදිරියෙහි වූ අසුනෙහි මම අසුන් ගත්තෙමි. මා අත වූ පත්වීම් ලිපිය සහ කාර්යාලයට අනුයුක්ත කිරීමේ ලිපිය මම ඇයගේ අතෙහි තැබුවෙමි. මගේ ලිපි පරීක්‍ෂාකළ ඇය මට පොතෙහි අත්සන යොදා පැමිණීම සටහන් කරන ලෙස දැන්වූවාය. කාර්යාල සේවයේ නියුතු ඇය තවත් නිලධාරිණියකට ආමන්ත්‍රණයකොට මා වෙනුවෙන් සේවයට වාර්තා කිරීමේ ලිපියක් පරිගණකයෙන් සකසා දෙන ලෙසද දැන්වූවාය. මගේ නම සහ ලිපිනය විමසාගෙන ගිය ඇයද නොබෝ වේලාවකින් ලිපියක් සකස්කරගෙන ආවාය. උදෑසන 8.30 කණිසම වදිනවාත් සමඟම ජාතික ගීතයේ වාදනය ආරම්භවූ බැවින් අපි සියළු දෙනාම නැඟී සිටියෙමු.

“මහත්තය..... මේ ලියුමේ මෙතැනින් අත්සන් කරල අපේ ලේකම්තුමාට දෙන්න..... ”යි ජාතික ගී වාදනය අවසන්වූ පසු මා ඇමතූ ඇය කීවාය. ඒ අනුව නියමිත ස්ථානයේ මගේ අත්සන යොදා එම ලිපියද රැගෙන මම ලේකම්තුමාගේ නිල කාමරය වෙතට ගියෙමි.

කාර්යාලයට ඇතුළුවන ප්‍රධාන දොරටුවට වම් පත්තෙන් වු කාමරය ඔහුගේ නිල කාමරයවූවේය. වසා තිබුණු වීදුරු දොර අතරින් ඔහු යම් වැඩක නිරතව සිටිනු දුටු මම දොරට පිටතින් නතරවුනෙමි. මද වේලාවකින් හිස ඔසවා බැලූ ඔහු මාව ඇතුළට කැඳවීය. වසා තිබූ වීදුරු දොර අතින් තල්ලුකරමින් මම ඔහුගේ කාමරයට පිවිසුනෙමි. තරමක විශාල කාමරයක්වූ එහි ඉංග්‍රීසි එල් අකුරේ හැඩය ගත් මේසයක් ඔහුගේ රාජකාරී සඳහා යොදාගෙන තිබුණේය. කුඩා ප්‍රමාණයේ මල් පොකුරක් මේසයේ ඉදිරියෙන්ම තබා තිබුනේය. ඒ අසලම කුඩා ප්‍රමාණයේ ජාතික කොඩියකුත් ලිපි හා පෑන් බහාලනයකුත් විය. දෙපස වූ ලිපිගොණු බන්දේසියක් ලිපි ගොණු වලින් පිරීගොසින්ය. ඔහු එහිවූ ලිපි ගොණු එකින් එක ගෙන පරීක්‍ෂා කරමින් සිටියේය. ඔහුගේ මේසයේ එක් පසෙක පැතලි තිරයක් සහිත පරිගණකයක් විවිධ සිතුවම්වලට මාරු වෙමින් තිබුණේය. කාමරයේ එක් පසෙක තබා තිබූ නවීන පන්නයේ ඡායා පිටපත් යන්ත්‍රයෙන් ඡායා පිටපත් ගනිමින් සිටි නිලධාරියා ඇමතූ ඔහු ගොණුවකින් පරීක්‍ෂාකළ ලිපියක අත්සන යොදා එය ෆැක්ස් කරන ලෙස දැන්වූවේය.

“වාඩිවෙන්න....” යි මදෙස බැලූ ඔහු මට ඔහු ඉදිරියේ වූ අසුනක් පෙන්වීය. මම එතැනින් අසුන් ගත්තෙමි. පරීක්‍ෂාකරමින් සිටි ගොණුවක යම් සටහනක් යෙදූ ඔහු එය වසා මේසයේ අනෙක් පස වූ ලිපිගොණු බන්දේසියට දැමුවේය.

“ඉතින් මහත්මයා.... කියන්න.....” යි ඔහු මා පැමිණි කාරණය විමසීය. මම ඔහුට මගේ නව පත්වීමේ ලිපිය සමඟ අනෙකුත් ලිපි ඉදිරිපත් කලෙමි. ඒ සියල්ල එකින් එක පරීක්‍ෂාකළ ඔහු මගේ පත්වීමේ ලිපියේ සහ කාර්යාලයට අනුයුක්ත කිරීමේ ලිපි වල ඡායා පිටපත් දෙකක් ගෙන එහි සටහනක් යෙදුවේය. ලිපිවල මුල් පිටපත් දෙක පරිස්සම්කර තබාගන්නා ලෙසට උපදෙස් දෙමින් මා අතට දුන්නේය.

“පොතේ අත්සන් කළාද?.....” යි ඔහු මගෙන් විමසුවේය. මම පොත අත්සන් කළ බව ඔහුට පැවසුවෙමි. කාර්යාලයේ ආයතන කටයුතු විෂයභාර නිලාරිණිය කැඳවූ ඔහු දැනට පුරප්පාඩුවී ඇති විෂයක රාජකාරි මා වෙත පවරන ලෙසට උපදෙස් දුන්නේය. ඔහුගෙන් සමුගත් මම ආයතන විෂය භාර නිලධාරිණිය සමඟ පැමිණියෙමි. දැනට ආදායම් අංශයේ විෂයක් පුරප්පාඩුව ඇති බැවින් මට එහි රාජකාරී භාරගන්නා ලෙස ඇය උපදෙස් දුන්නීය. ඇය මා එම අංශය වෙත කැඳවාගෙන ගියාය. කොරිඩෝවක් දිගේ අඩි කිහිපයක් ගිය අපි ආදායම් අංශය වෙතට හැරුනෙමු.

කළු පැහති පසුබිමේ රත්තරං පාටින් සිතුවම් කරන ලද රුවල් නැවක සිතුවම මගේ සිත ගත්තේය. එයට ආලෝකය වැදීම නිසා දිදුලමින් තිබුනේය. එහි තවත් පැති බිත්තියක පැත්තෙන් පැත්තට වෙනස්වන ආකාරයේ දර්ශණයක සිතුවමක්ද එල්ලා තිබූ අතර අනෙක් බින්නියේ වූයේ මහජනතාව දැනුවත් කරන විශාල පුවරුවක්ය. අනෙක් අංශයන්ට වඩා වෙනස් ආකාරයට මෙහි මේස තබා තිබුනේය. සෑම මේසයක් ඉදිරිපිටම මහජනයා වෙනුවෙන් ආසනයක් තබා තිබුනේය. මම එහි ඇතුළු වන විට වරිපණම් ගෙවීම සඳහා පැමිණි කිහිපදෙනෙක් තම කටයුතු ඉටු කරගෙන පිටව ගියේය.

“මේ ඉන්නේ මේ අංශයට අළුතෙන් ආපු මහත්තය ඔන්න අඳුන ගන්න.....”යි මා කැඳවාගෙන පැමිණි නිලධාරිණිය අංශයේ අයට මම හඳුන්වා දුන්නාය. එහි සිටි සියළුම දෙනා සුහද සිනහවකින් මට සංග්‍රහ කලෙන් මමද ඔවුන්ට ප්‍රතිචාර දැක්වුවෙමි. ඉන් පසු හිස්වූ අසුනක් පෙන්වූ ඔවුන් මට සේවය කිරීමට ඇත්තේ එහි බවද පැවසීය. මා අත වූ බෑගය මේසය මතින් තැබූවෙමි.

“මල්ලී සභාපතිතුමාට කතා කලේ නැද්ද?.....” යි එහි වූ නිලධාරිණියක් මගෙන් විමසුවේය.

“නැහැ අක්කේ.....”යි මම ඇයට පිළිතුරු දුන්නෙමි.

“සභාපතිතුමා දැන් ආවා. මල්ලි ගිහිං කතා කරල එන්න.....”යි ඇය නැවත කීවාය. කාමරයෙන් පිටවූ මම කොරිඩෝව දිගේ සභාපතිවරයාගේ කාමරයට යන්නටවුනෙමි. දෙපස ඇති කාමරවල අංශයන් දැක්වෙන පුවරු එම කොරිඩෝවේ ඉහළින් එල්ලා තිබුණි. එම පුවරු සුළඟට සෙලවුනේ ඒ අසලින් යන කවුරුන්ට හෝ සේවය සැලසීම සඳහා ආරාධනා කරන්නා සේය. කොරිඩෝව දිගේ මම කෙළවරටම ගියෙමි. එක් පසෙකින් සභා ශාලාවද අනෙක් පසින් සභාපතිවරයාගේ නිල කාමරයද පිහිටා තිබුනේය. එම කාමර ඉදිරියෙන් බිත්තියේ ඉහළින් එල්ලා ප්‍රදර්ශනය කරමින් තිබුනේ මෙහි පෙර සේවය කරන ලද සභාපති වරුන්ගේ ඡායා රූපයන්ය. මගේ වම් අත පැත්තට වූ සභාපති වරයාගේ නිල කාමරය දෙසට මම හැරුනෙමි. වීදුරු දොර තුළින් මම ඇතුළත බලන විට සභාපතිවරයා මා ඇතුළට කැඳවීය. මම වීදුරු දොර තල්ලුකරගෙන ඇතුළට ගියෙමි. කාමරයතුළ බිමට එලන ලද බුමුතුරුණුවලින් හා බිත්ති විනිවිද පෙනෙන තිර රෙදිවලින් අලංකාර කර තිබුණි. සභාපතිවරයාගේ මේසය දෙපසින් තබන ලද තරමක් උසැති එකම ආකාරයේ තට්ටු කිහිපයකින් යුතු අල්මාරි දෙකකි. එහි එකකට වීදුරු ආවරණයක් සකසා තිබූ අතර එය මෙම සභාව විවිධ තරඟවලින් දිනා ගන්නා ලද විවිධ ප්‍රමාණයේ කුසලානයන්ගෙන් පිරී තිබුණි. තවත් කුසලාන තැබීමට එහි ඉඩක් මට නොපෙනුනි. අනෙක් පස වූ අල්මාරියේ ඉහළින් වත්මන් සභාපත්ිතුමා සහ වත්මන් ජනාධිපතිවරයා එකට සිට ගන්නා ලද රාමුකරන ලද ඡායාරූපයක් තිබුණු අතර එහි පහළින් විවිධ ඡායාරූප තැන්පත්කර තිබුණි. කාමරයේ එක් පසෙක සුව පහසු ආසන කට්ටලයක් මෙන්ම මහ ජනතාව හෝ වෙනත් අය පැමිණි විට අසුන් ගැනීම සඳහා තවත් ආසනද පනවා තිබුණි. මට වාඩිවීම සඳහා ආසනයක් පෙන්වූ ඔහු මම වාඩි වූ පසු මගේ පැමිණි කාරණය විමසුවේය.

මම අද දිනයේ සිට මෙම කාර්යාලයේ සෙවයට පැමිණි බව ඔහුට පැවසුවෙමි. අතට අත දී ඉතාමත් සුහද ලෙස මා පිළිගත් ඔහු මගේන් තව තවත් තොරතුරු විමසුවේය. ඒ අවස්ථාවේ සභාපතිතුමාගේ කාමරයට ඇතුළුවූ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද මා හඳුන්වා දුන් පසු මම මගේ මේසය වෙතට පැමිණියෙමි. ඒ එන අතරද කාර්යාලයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුද මට හඳුනාගත හැකිවිය. මම මට වෙන්කරන ලද මේසයට පැමිණෙන විට මගේ රාජකාරී ලැයිස්තුවද සපයා තිබුණි. එහි පිටපතක අත්සන යොදා මුල් පිටපත භාරගත් මම මට සේවය කළයුතු ලිපි ගොණු හඳුනා ගත්තෙමි.

ඔරලෝසුවේ නාද වූ කණිසම සිතින් ගණන්කළ මම රාත්‍රී එකොළයි තිහ වැදුනු බව දැන ගතිමි. හෙට පාන්දරම නැවත සේවයට යා යුතුය. බෝඩිමේ අය පමණක් නොව මා සිතන අයුරින් මේ මොහොතේ අවදිව සිටින්නේ ඉතා සුළු පිරිසක් විය හැකිය. නෙතට නින්ද අවශ්‍ය බව පවසමින් වරින් වර කිරාවැටෙන්නට විය. දින පොතේ පිටු කිහිපයක්ම පිරී තිබුනේ අද දිනයේ සිදුවූ සියළු සිදුවීම මගේ දිවියේ වැදගත්කමක් ඉසිලූ නිසාය. දින පොතතුළට පෑන දැමූ මම දින පොත බෑගයට දමා නින්දට ගියෙමි.

Friday 12 November 2010

බලාපොරොත්තුව........

යතුරු පැදිය මතට නැගී
රූං ගාලා පියෑඹුවා
මං එනකං
කෙලි පොඩිත්ත
බලාන ඇති
පුංචි පැලේ.........

දහස් ගණන්
රස සිතුවිලි
තෙරපෙන විට
ළය මැද්දේ..
ගත වූයේ නිමේෂයකි
මම දැන්
රෝහල ඇතුළේ........

Thursday 11 November 2010

පිපාසය (කෙටි කතාව)

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මම කාර්යාල කාර්ය සහයකයෙක් වශයෙන් ටික කාලයක් සේවය කළෙමි. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපය අතරින් එකක් වූ මෙය බළන්ගොඩ නගරයට තරමක් නුදුරු අළුත්නුවර නම් ග්‍රාමයේ පිහිටා තිබුනේය.

මෙම ප්‍රදේශයට තිබුණු ප්‍රධානම දුෂ්කරතාවය ජල සම්පතයි. සමහර ඉඩම්වල අඩි හැටක් හැත්තෑවක් පමණ ගැඹුරු ළිං කපා තිබුණද යන්තම් ඉඩෝරයකට පවා ඒවා සිඳී ගියේය. ඉඩෝරය තදින්ම ප්‍රදේශයට බලපාන විට වතුර රැඳී තිබුණේ මුළු ගමටම ස්වල්ප ස්ථාන කිහිපයක පමණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති ළිඳද එබඳුම එක් ස්ථානයකි. එහි ජලය බොහෝවිට සාමාන්‍ය ග්‍රීෂ්ම කාලවලවල සිඳී නොගියේය. අවුරුදු කිහිපයකට වරක් එළැඹෙන දරුණුම නියඟයකදී මෙම ළිඳෙහි වතුර බාල්දියක ආධාරයෙන් ගැනීමට පමණක් වන සේ අඩුවී ගියේය. සාමාන්‍යයෙන් මෙහි වතුර ගනු ලබන්නේ විදුලි මෝටරයක ආධාරයෙන්ය. කාර්යාල භූමියේ ඉහළක තනා ඇති ටැංකියකට මෙම මෝටරයෙන් ජලය ගෙන යයි. එතැන් සිට එලා ඇති ජල නළ පද්ධතියක් මඟින් සම්පූර්ණ කාර්යාල භූමියම ආවරණය වන පරිදි ජල සැපයුම සකස්කර ඇත.

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබුණද මෙම කාර්යාල භූමිය ඇත්තටම සුන්දරය. වර්ෂයේ එක් කාලයක ග්‍රීෂ්මය උදාවීමෙන් පීඩාවකට පත්වුවද අනෙක් කාලය පුරාවට සුන්දරත්වයෙන් අඩුවක් නොවුනේය. කාර්යාලයට ඇතුළුවන ගේට්ටුව අසලට පැමිණ කාර්යාලයට ඉහලින් බලන විට එයට පසුබිමින් හාගල සහ පරෙයියන්ගල කඳුවැටියේ රමණීය දර්ශණයක් දැකගත හැකිය. කාර්යාලය ඉදිරියෙන් කාර්යාලය දෙසට මුහුණ ලා වැඩ සිටින නිසසල බුදු රුවට සිසිලස සැලසීමට කාර්යාල භූමියේ පෙළින් පෙළට සිටුවා ඇති විවිධ ශාඛ වර්ග නිතැතින්ම ඔබගේද දාහය නිවාලනු නොඅනුමානය. කාර්යාලයේ ඉදිරියෙන්ම මිදුලෙහි සිටුවා ඇති අඹ ගසේ ඵල රස විඳීමට පුරුදුව සිටින අහිංසක සතුන් එහි සුන්දර බව තවත් සුන්දර කරන්නේය. කාර්යාලයේ පිටුපසින් පෙළට සිටුවා ඇති කටු අනෝදා ගස් පෙළ වර්ෂයේ සෑම දිනයකම ඵලබරවී තිබීම සැබවින්ම අරුමයක්මය. එහි රස විඳීමට පැමිණෙන කුරුළු වර්ග අපමණය.

කාර්යාලයේ ඉදිරියේ තනා ඇති වෘත්තාකාර පොකුණ නිතරම ජලයෙන් පිරී පැවතුණේය. සෑම දිනකම එහි නිල් මහනෙල් මල් පපී සුවඳ හැමුවේය. මෙම ජල පොකුණ සතුන්ට පාරාදීසයක් විය. කාර්යාලය ඉදිරියට වී අවට සිරි නරඹන්නෙකුට මෙම පොකුණෙහි ජල ක්‍රීඩා කරන විවිධ කුරුල්ලන් දැකගත හැකිය. ප්‍රදේශයේ ජල හිඟය උග්‍රවන විට අනෙක් සිවුපාවුන්ද මෙම පොකුණෙන් ජල පානයට පැමිණෙන්නේය.

සතියේ වැඩකරන දිනවලදී කාර්යාල වේලාව තුළ ගේට්ටුව විවෘතව තබන්නේය. එම වේලාව තුළ මෙම පොකුණෙන් ජලය පානය කිරීම සඳහා පැමිණීමට ප්‍රදේශයේ ගව රැළක්ද පුරුදුව සිටියේය. මෙම ගව රැළ ගවයින් හැත්තෑපහක පමණ ප්‍රමාණයකින් යුක්තය. මෙම ගවයින් රාත්‍රිය ගත කරන්නේ උග්ගල් අළුත්නුවර කතරගම දේවාල භූමියේය. බිම් කළුවර පහව යමින් යන්තම් ආලෝකය මෝදුවත්ම නැඟී සිටින මෙම ගව රැළ එක රැළට ගම පුරා ඇවිදීම ආරම්භ කරන්නේය. හදිසියේවත් මෙම ගව රැළට පිටුපසින් ප්‍රධාන මාර්ගයට යාමට සිදුවුවහොත් ඒ ගව රැළ පසුකරගෙන යාම නම් සිහිනයක්ම වන්නේය. මෙසේ ගම වටේ යන මෙම ගවයින් ටික ටික දහවල් වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේය. ඒ රාජකාරී කටයුත්තක් ඉටුකර ගැනීමට නම් නොවේ. එය හුදෙක්ම උන්ගේ පිපාසය සන්සිඳවා ගැනීමටය.

එකා දෙන්නා බැගින් කාර්යාලය ඉදිරි පිට ඇති පොකුණට පැමිණෙන මෙම ගවයින් විනාඩි කිහිපයක් යනතුරුම හිස ඔසොවන්නේ නැත. ඇතිවෙන්නට වතුර බොන උන් ඉන් පසු කාර්යාල භූමියේ තැන තැන වැතිර විඩා නිවාගන්නටද පුරුදුව සිටියේය. වැසිකිළි යාමට පුරුදුවී නොමැති මෙම ගවයින් කාර්යාල භූමියේ තැනින් තැන තම ශරීර කෘත්‍ය කිරීම කාර්යාල භූමිය ශුද්ධ පවිත්‍ර කරන කම්කරුවන්ට නම් පුදුම වදයක්විය. සේවය සඳහා කාර්යාලයට පැමිණෙන සමහර නිලධාරීන් තම යතුරු පැදි කාර්යාල මිදුලෙහි වූ ගස් සෙවනෙහි නතර කිරීමද සිරිතක්ය. සමහර ගවයින් මෙම යතුරු පැදිවල ඇති රබර් මිශ්‍රිත කොටස් සපා කෑම කරති. තවත් සමහරෙක් එම යතුරු පැදිවල තම ගෙළ අතුල්ලති. එක් ආධාරකයක් මත රඳවා ඇති මෙම යතුරු පැදි මෙම ක්‍රියාවලියේදී බොහෝ අවස්ථාවල පෙරැළී යන්නේය.

සමහර දිනවල සේවය නිමා වී නිවෙසට යාම සඳහා යතුරු පැදිය ගැනීමට කාර්යාලය ඉදිරියට පැමිණෙන විට යතුරු පැදිය පෙරැළී එහි යම් යම් කොටස් කැඩීගොසින්ය. තවත් විටෙක එහි ටැංකියේ තිබූ ඉන්ධනද කාන්දුවී ගොසින්ය. හදිසියේ ප්‍රාදේශීය ලේකම්තුමාට කාර්යාලයෙන් පිටව යාමට සිදුවුවහොත් තැන තැන ලැග සිටින ගවයින් මඟහරවමින් නිල රථය මාවතට ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ අවස්ථා එමටය. කාර්යාල භූමියට ගවයන්ගේ පැමිණීම මේ නිසා විශාල ගැටළුවක් බවට පත් විය.

“අයාලේ යන ගවයින් කාර්යාල භූමියට පැමිණෙත බැවින් ගේට්ටුව වසා යාමට කාරුණික වන්න” යනුවෙන් සටහන් කරන ලද පුවරුවක් ගේට්ටුවේ එල්ලා කාර්යාල වේලාව තුළද ගේට්ටුව වසා තැබීමට ප්‍රාදේශීය ලේකම්තුමා පියවර ගත්තේය. පසු කලෙක මෙම ගේට්ටුවේ පියන් දෙකෙන් එක් පියනක භාගයක් පමණක් විවෘතකර පුද්ගයයෙක්ට පමණක් ඇතුළුවීමට හැකිවන පරිදි සකස්කලේය. සිව්පා සතුන්ට වතුර බීමට හැකිවන පරිදි කුඩා ප්‍රමාණයේ නව පොකුණක් කාර්යාලයේ ගේට්ටුව අසලින් ඉදි කළේය.

එක කාලයක කාර්යාලයේ මුර සේවයේ යෙදී සිටි මුරකරුගේ අක්‍රමිකතාවයක් නිසා ඔහුගේ සේවය අත්හිටෙවූවේය. මුර සේවයේ ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් නව බඳවා ගැනීමක් සිදුවන තෙක් කණිෂ්ඨ සේවක නිලධාරීන් වන අපව සතියෙන් සතියට මුර රාජකාරී ආවරණය සඳහා යොදවන ලදී.

එක් දිනෙක මම රාත්‍රී මුර සේවයේ රාජකාරී ආවරණය සඳහා කාර්යාලයට පැමිණියෙමි. මා සේවයට පැමිණෙන විට අනෙක් සියළුම නිලධාරී මහත්ම මහත්මීන් තම තමන්ගේ සේවාවන් නිමා කර ගොසින්ය. යතුරේ රාජකාරී කටයුතු ඉටු කරන නිලධාරියා මා සේවයට පැමිණෙනතෙක් කාර්යාල භූමියේ රැඳී සිටියයුතුවූ බැවින් ඔහු පමණක් මා එනතුරු මඟ බලමින් නොඉවසිල්ලෙන් සිටියේය. කාර්යාල භූමියට පැමිණි මා පැමිණීමේ ලේඛණයේ මගේ පැමිණීම සටහන් කලෙමි. ඉන් පසු කාර්යාලයේ සියළු දොර ජනේල නිසි පරිදි අගුළු ලා වසා ඇතිදැයි පරීක්‍ෂා කරමින් කාර්යාලය වටේට රවුමක් ගියෙමි. කාර්යාල භූමියේ ඇති විශේෂ දේවල් පිළිබඳවද විමසිලිමත් වුනෙමි. මගේ එම මූලික පරීක්‍ෂාවන් සිදුකරන තෙක් යතුරේ රාජකාරී ආවරණය කරමින් මා පැඹිණෙන තෙක් රැඳී සිටින නිලධාරියා අනිවාර්යයෙන්ම සිටිය යුතුය. මම සියල්ල පරීක්‍ෂාකර බලා භාරගත් විට ඔහුට කාර්යාලභූමියෙන් පිටවීමට හැකිය. ඔහු පිටව ගිය පසු මම මුර කුටියටවී මුර කරුගේ සටහන් පොත සම්පූර්ණ කරමින් සිටියෙමි. නිකම්ම සිටින විට ඇතිවන කම්මැලි කම මඟහැරීම සඳහා මම පොත් කියවීමි. සමහර දිනවල මම චිත්‍ර ඇන්දෙමි.

මෙදිනද මම නව කතා පොතක් කියවමින් සිටියෙමි. රාත්‍රිය උදාවීමට ඉඩ සලසමින් හිරු අවරගිරෙන් බැස යමින් තිබුණේය. සඳ මෝදුවී නොතිබුණද මෙම වේලාවේ තරමක ආලෝකයක් පැවතුණේය. ගේට්ටුව අසලින් කිසියම් ශබ්ධයක් ඇසුණු නමුත් එය නොසලකා මම පොත කියෙව්වෙමි.

“පාරේ යන කෙනෙක් වෙන්න ඇති.....”යි මම පොත කියවන අතරම සිතුවෙමි. පොතෙහි පේළි කිහිපයක් මම කියවන්නට ඇත. පෙර ශබ්ධය නැවතත් ඇසුණේය.

“ඩක්..... ටක්..... ටක්.....ඩක්....”

“මොකක්ද දන්නෑ ඒ සද්දෙ.....”යි සිතූ මම පොත වසා මේසය මත තිබෙද්දී මුර කුටිය ඉදිරිපිටට පැමිණ ගේට්ටුව දෙස බැලුවෙමි.

“මේ හරක් රංචුවක්නේ....” යැයි මටම කියාගත් මම කාමරය ඇතුළට යන්නට සැරසුනෙමි.

“ඩක්..... ඩක්ස්..... ඩක්..... ඩක්....” වඩා තදින් ගේටුටුව අසලින් ඇසුණු මෙම හඬ නිසා මම නැවතත් ඒ හඩ නැගෙන්නේ කෙසේදැයි බැලුවෙමි. ගේට්ටුව සමීපයටම පැමිණ සිටි ගවයෙක් උගේ එක් පාදයකින් බිමට ගැසීම නිසා මෙම හඬ නැගෙන බව මට පෙනුනේය. මම එදෙස බලනවිට උගේ ඒ ක්‍රියාව නතර වෙයි. මම ඉවත බලා සිටින විට ඌ නැවතත් ශබ්ධ නගයි.

“මේ වෙලාවේදී මුන්ගෙන් ඇති වදයක් .....” යැයි සිතමින් මම කුටිය තුළට යාමට සැරසුනෙමි. මා ආපසු හැරෙත්ම අර ශබ්ධය නැවතත් ඇසුණේය.

“ඩක්.....ඩක්.....ඩක්.....ඩක්....”

“මුන් ටික එළවල දාන්න ඕනි.....” සිතූ මම මුර කුටියේ සිට ගේට්ටුව දක්වා ඉදිරියට ගමන් කලෙමි. අඩි හප්පමින් ගමන් කලෙමි. වේගයෙන් ගමන්කලෙමි. මම මිදුලට බසින විට ශබ්ධකළ ගවයා උගේ හිස හරවා මා දෙස බලා සිටියේය. මම සිතුවේ මා හයියෙන් හයියෙන් ඉදිරියට යන විට උන් බයවී ආපසු යයි කියාය. එය එසේ සිදු නොවුනේය. මගේ මුහුණ දෙසම බලා සිටි ගවයාගේ දෑසට මගේ දෑස යොමු විය. උගේ දෙකන් මා වෙතටම යොමුවී තිබුණේය. ඌ මා දෙස බලාගෙනම උගේ දිවගින් නාසය කිහිප වරක්ම ලෙවකෑවේය. උගේ දෑසෙහි පතුලේම වූ අසරණ බවක් මගේ ඇසට පෙනුනේය. අනෙක් ගවයින්ද ඉවතට යනවා වෙනුවට ගේට්ටුව අසලටමවී සිටියේය.

“මුන්ට වතුර තිබහ වෙලාවත්ද? .....” යි සිතූ මම තව තවත් ඉදිරියට ගියෙමි. මුලින්ම සිටි ගවයා මා දෙසම බලාගෙන සිටියේය. ගේට්ටුව අසලටම ගිය මට ආපසු හැරී ඒමට නොහැකි විය. ගේට්ටුව අරිනවා හැර වෙනත් කළ යුතු දෙයක්ද නැතිවිය.

“මුන් වත්ත පුරාම ගියත් කමක් නැහැ..... ගේට්ටුව අරින්න ඕනි බලන්න .....”යි සිතූ මම මගේ අත ගේට්ටුවේ කොක්ක මතින් තැබුවෙමි. මම ගේට්ටු කොක්ක ඔසවන විට මගේ අත දෙසට ගවයා හිස හරවමින් බැලුවේය. එය හරියට කිරි ඉල්ලා හඩන දරුවෙක්ට කිරි වීදුරුවක් දෙන විට එම කිරි වීදුරුව දෙසම බලන බැල්මක් බඳුවිය. මම සෙමෙන් සෙමෙන් ගේට්ටුව විවර කළෙමි. පාදයක් බිමට අනිමින් ශබ්ධ කරමින් සිටි ගවයා මුලින්ම කාර්යාල භූමියට ඇතුල්වුනේය. මම ඌ දෙස බලා සිටියෙමි. ඌ කෙළින්ම ගියේ පොකුණ අසලටය. මගේ හද පත්ලෙන්ම මතුවී ආ කම්පණය සුසුමක් විය.

“දෙයියනේ මුන්ට හොඳටම වතුර පිපාසේ තිබිල.....මං මුන්ව එළෙව්වනං..... උන් කොහෙන් වතුර ඩිංගක් බොන්නද?.....” නෙතඟෙහිවූ කඳුළ පිසලමින් මම කල්පනා කළෙමි. මුලින් පැමිණි ගවයාව අනුකරණය කරමින් අනෙක් ගවයින් සියළුම දෙනාද පොකුණ අසලට රොක්වුනේය. විනාඩි කිහිපයක්ම එක දිගටම පොකූණතුළට හොම්බ දමාගෙන වතුර බොන උන් ඉඳ හිට හෝ හිස ඔසොවන්නේ කොන්දෙහි වසන මැස්සන් පලවා හැරීමටය. පිපාසය සංසිඳෙනතුරු කුස පිරෙන්නට ජලපානය කරන ගවයෙක් තම පසුපෙළෙහිවූ ගවයෙක්ට ඉඩ දෙමින් මඳක් ඉවතට යන්නේය. ඌ පසෙකටවී උගේ ඇඟ ලෙවකමින් සිටින අයුරු මම බලා සිටියෙමි.

“මුන් වත්ත පුරාම දුවයිද දන්නේ නෑ .....”යි සිතමින් මම කිසියම් බයකින්ද පෙළුනෙමි. මුන් ටික වත්ත පුරා දිව ගියහොත් තනි මට උන් එළවා දැමීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවෙන බව මට සිහි විය. මම ගේට්ටුව විවර කර මුන්ටික ගේට්ටුව ඇතුළට ගැනීම පිළිබඳවද කල්පනා කළෙමි.

“නැත..... මෙහි වරදක් නැත.... මම කරන ලද්දේ පිපාසයෙන් පෙළෙන අහිංසක ගව රැළකට උන්ගේ පිපාසය සංසිඳවා ගැනීමය උපකාරයකි..... එනිසා මගේ වරදක් නැත....” මෙසේ කල්පනා කරමින් මම ගේට්ටුවද හැර දමා මුර කුටියේ ඉදිරිපසටම වී ගව රැළගේ හැසිරීමද නිරීක්‍ෂණය කරමින් සිටියෙමි.

මුලින්ම වතුර බීමට පැමිණි ගවයා සෙමෙන් සෙමෙන් ගේට්ටුව දෙසට ගියේ මම පුදුමයට පත් කරවමින්ය. ගේට්ටුව අසලටම ගිය ඌ ආපසු ගව රැළ දෙස බලා මා දෙසට හැරී ටික වේලාවක් බලා සිටියේය. එය හරියට මට ස්තූති කිරීමක් වැනියැයි මම සිතුවෙමි. ගේට්ටුවෙන් එළියට ගිය ඌ මඳ වේලාවක් එසේ සිට නැවතද සෙමෙන් සෙමෙන් පාර දිගේ යන්නට ගියේය. ඌ එම ගව රැලේ නායකයාවත්දැයි මම කල්පනා කලෙමි. ඌ ගේට්ටුවෙන් එළියට ගිය පසු වතුර බී අවසන්කරන සෑම ගවයෙක්ම සෙමෙන් සෙමෙන් පිටවී ගියේය.

උන් සියළු දෙනාම පිපාසය සංසිදෙනතුරු වතුර බී පිටත්ව ගිය පසු මම ගේට්ටු පියන වසා ඊට කොක්ක දැමුවෙමි. සතෙකුගේ පවා අවශ්‍යතාවය තේරුම් ගැනීමට හැකිවීම පිළිබඳව මම සැබවින්ම ආඩම්බරවූවෙමි.

මම එනවා පිටුපස්සෙන්..........

උදයටත් දකින්නෙමි
සවසටත් දකින්නෙමි
ඒ අතර කාලයේ
වරින් වර
දකින්නෙමි...........

නා දල්ලේ පාට වැටුනු
සිහින් දෙතොල්
එහෙට මෙහෙට
සොලව සොලව
මගෙ සවනට
වදන් ගෙනෙන
සිහින් සිරුරැති පුංචි
යුවතිය........

සාරියකින්
ගත සැරසී
තාලයකට
නැලවි නැලවි
ඔබ යන විට
ඉදිරිපසින්

මම එනවා
ඔබට හොරෙන්
ඔබෙ ගමනේ
සිරි විඳිමින්


නැතිවූ යතුර (කෙටි කතාව)

සීමා සහිත ජනතා සන්තක ප්‍රවාහන සේවා සමාගමකට අයත් බළන්ගොඩ ඩිපෝවේ පුහුණුවන ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පියෙක් වශයෙන් සේවය කළ මම සවස 5.00 ට පමණ සේවය නිමාකළෙමි. මිරිස්වත්තේ පිහිටි ඩිපෝවේ සිට බළන්ගොඩ බස් නැවතුම්පළ දක්වා පැමිණි බසයක නැගී මම බස් නැවතුම්පළට පැමිණියෙමි.

බස් නැවතුම්පලේ සිට ඌව තැන්න දක්වා ධාවනය වන බස් රථය සවස 5.15 ට ගමනාරම්භ කිරීමට නියමිතව තිබුණද ඩිපෝවේ සේවය නිමාකර පැමිණෙන කිහිප දෙනෙක්ම පැමිණීමට සිටි බැවින් ඔවුන් පැමිණෙනතුරු විනාඩි කිහිපයක් සිටියේය. බසයට ගොඩවුණු මම එහි මධ්‍යයට ගියෙමි. මා පැමිණෙනවිට රථයේ අසුන් සියල්ලම මගීන්ගෙන් පිරීගොස් තිබුනේය. මම අසුන් දෙකක ඇඳි දෙඅතින් අල්ලාගෙන සමබරවූයෙමි. බස් රථය සෙමෙන් සෙමෙන් බස් නැවතුමෙන් මාවතට ගනිමින් තිබුනේය. බස් නැවතුමේ කොහේදෝ කෙළවරක සිට දිව ආ වයස අවුරුදු දහයක පමණ වයසැති කුඩා ළමයෙක් කිසිදු අවදානමක් පිළිබඳ නොසිතා මාවතට ගනිමින් තිබූ බසයට ගොඩවුනේය. ඔහුගේ දෑතෙහිම තරමක් දුරට පිරීගිය මළු දෙකක් විය. පිටුපසින් ඔහු බසයට ගොඩවනු දුටුවද එම සිද්ධිය එසැනින් මසිතින් ගිලිහුනේ මාවතෙහි වූ වෙනත් දේවල් කෙරෙහි මගේ අවධානය යොමුවූ බැවිනි.

මාවතට ගත් බසය වෙිගය වැඩි කරමින් ඉදිරියට ඇදී ගියේය. මමද මඟ විසිතුරු නරඹමින් සිටියෙමි. එක පාරටම මාව පසෙකට තල්ලුකරමින් කිසිවකු ඉදිරියට යනු දැණුනු බැවින් සමබරතාවය අනපේක්‍ෂිත ලෙෂ බිඳී යාම නිසා කෝපවූ මම එදෙසට හැරී බැලුවෙමි.

“කවුද මේ තල්ලු කරන්නෙ....” යි මම කෝපය මැඩ ගනිමින් කිවෙමි. මුහුණ පුරා නාවර පෙරාගත් වසය අවුරුදු දහයක් පමණ වූ කුඩා ළමයා දෑතින්ම බෑග් දෙකත් රැගෙන තල්ලූවී ඇවිත් මාවද තල්ලුකරමින් ගොස් ඉදිරියේවූ අසුනක ඇන්දක එල්ලී නතරවිය. ඔහු දෙස බැලූවන්ට කිසිදු ප්‍රසන්න භාවයක් ඇති නොවුනේ ඔහුගේ අපිරිසිදු භාවය නිසාය. ඔහු හැඳ සිටි තැනින් තැන ඉරී ගිය කොළ පැහැති ටී ෂර්ටය කූණු ගෑවීම නිසාම දුර්වර්ණව පෙනුනේය. නිල් පැහැති පාසැල්යාම සඳහා ඇඳීමට ගන්නා ලද කොට කලිසමද එයට වඩා දුර්වර්ණය. දින කිහිපයක සිට මුහුණ සෝදා නොතිබූ අතර අත් පා ද එලෙසම කිළිටි වී තිබුණේය.

අසුනෙහි ඇන්ද අල්ලාගෙන සිටි ඔහු තම දෙපා අසල තබාගෙන සිටි බෑගයන් කෙළින් තබා ගැනීමට වරින් වර බොහෝ උත්සාහයක යෙදුනේය. රථය වංගුවකින් හැරෙන විට ඇතිවන වේගයේ අඩු වැඩිවීම නිසා ඔහුගේ බෑගයන් බිම පෙරළී විසිවී ගියේය. එවිට ඔහු පහත්වී එම බෑගයන් ළඟට ගෙන කෙළින් තබාගන්නේය. එම බෑගයන් අතින් මුදාහල විට නැවතත් පෙරළි යන්නේය. ඔහු බසයෙන් බසිනතුරුම මෙසේ වූ අතර ළඟ සිටි කාන්තාව මුහුණ ඉවතට හරවාගෙන සිටියා විනා ළමයා දෙස හොරැහින්වත් නොබැලුවේය. සමහරවිට සිටගෙන සිටි මට වඩා ඇයට ළමයාගෙන් ගන්ධයක් වහනය වූවාද විය හැකිය.

විනාඩි පහළොවක පමණ කාලයක් ගෙවා දමමින් රථය තුඹගොඩ බස් නැවතුමට පැමිණියේය. බසය නතරකළ සැණින් බෑග් දෙක අතට ගත් ළමයා මිටින් හළ කුරුල්ලෙක් මෙන් රථයේ ඉදිරි දොරටුවෙන් බැස ගියේය. ඔහු බස් නැවතුමේ කෙළවරකට ගොස් බෑග් දෙක තබනයුරු මම බලා සිටියෙමි. කමීසයේ සාක්කුව අතගා බැලූවෙය. ඇඳ සිටි කලිසමේ සාක්කුවකට අත දැමූ ඔහු එහිවූ පොඩිවී ගිය ලේන්සුවක් ද ගසා බලා නැවතත් සාක්කුවට දමා ගත්තේය. ඉන් පසු අනෙක් සාක්කුවටද අත දමා එය එළියටම ඇද බැලුවේය. නැවතත් කල බලයෙන් මෙන් අනෙක් සාක්කුවද බැලුවේය. බෑග් දෙක විවිරකළ ඔහු ඒවාද අවුස්සා බැලුවේය. බෑග් දෙක එතැනම තිබියදී බසයේ පිටුපස දොර අසලට ඔහු දිව ආවත් මගීන් කිහිප දෙනෙක්ම බසයට ගොඩවෙමින් තිබුණු බැවින් ඔහුට එහි ගොඩවීමට නොහැකිවිය. ඔහු නැවතත් තම බෑගයන් වෙත ගොස් ඒවා අවුස්සන්නටවූවේය. ඔහු සොයන්නේ කුමක්දැයි සිතූ මම බසය තුළ ඔහු සිටි තැන බිම බැලූවෙමි මටද එහි එකවරම කිසිවක් නොපෙනුනේය. මම එදෙස පරීක්‍ෂාවෙන් බලා සිටියෙමි. මඟීන් කිහිප දෙනා එහාට මෙහාට යන විට ඔවුන්ගේ පාදයන්හි ගැටෙමින් එහෙට මෙහෙට ඇදී යන කළු පැහැති පැතලි යමක් මා නෙත ගැටුණි.

“ය...තු...ර....ක්....” මොහොතක් බලා සිටි මම එය හඳුනා ගත්තෙමි. මම වහා දරුවා දෙස බැලුවෙමි. බසය මාවතට ගනිමින් තිබුනේය. මම කවුළුව තුළින් ඔහු දෙස බැලුවෙමි.

“අඬ අඬා බස් එක පස්සෙන් දුවනව නේද....” යි මටම සිනුණි. සැබවින්ම ඔහු ටික දුරක් බසය පස්සෙන් දිව ආවේය. බසයේ වේගය වැඩිවුනේය.

“ අනේ අර දරුවෙක් බස් එක පස්සේ දුවගෙන එනවා නේද?....” යි පැවසීමට පවා කිසිවෙක් එම ළමයා කෙරේ අවධානයකින් පසු නොවුණි. එසේ දරුවා හඩන්නේ මන්දැයි විමසීමට පවා කෙනෙකු ඉදිරිපත් නොවීම කොතරම් අභාග්‍යයක්දැයි මම කල්පනා කලෙමි.

“මේ යතුර දරුවාගේ නිවසට ඇති එකම යතුර වෙන්නඇති....” යි මම මටම කීවෙමි. බසය මාවත දිගේ ඉදිරියටම ඇදී යයි. වෙන කළ යුතු කිසිම දෙයක් නැත. මම ඉක්මණින් යතුර අහුලා ගතිමි. ඉක්මණින් රථයේ ඉදිරි දොරටුව වෙතට ගියෙමි. රථය නතරකරනු ලබන ඊළඟ නැවතුමද පසුවිය.

“අයියේ... පොඩ්ඩක් මාව දාල යන්න....” යි මම රියදුරු අමතා කීවෙමි. මදෙස බැලූ ඔහු බසය නතරකලේ විශ්මයාර්ථයක් මුහුණට ආදේශ කරගනිමිනි. ඒ මම වෙනත් දිනවල එම ස්ථානායෙන් නොබැසීමවිය හැකිය. උදාවී ඇති තත්ත්වය ඔහුට පැහැදිලි කිරීමට වේලාවක් නොවීය. කුඩා ළමයා වෙනත් කොහේට හෝ ගිය හොත් මගේ මහන්සිය අපතේ යන්නේය. රථයේ වේගය අඩු වෙත්ම මම පැන ගතිමි.

“පොඩි එකාව ඉන්නවද දන්නෙත් නැහැ....”යි සිතමින් මම යුහුසුළු ගමණින් තුඹගොඩ බස් නැවතුම දෙසට එන්නටවුනෙමි. මගේ කලබලය නිසා මම මඟදී හමුවන කිහිප දෙනෙකුගේ ඇඟේද හැප්පෙන්නටගියේය. ඔවුන්ගෙන් සමාව අයැදීමට පවා මට වේලාවක් නොතිබුණි. සමහරු නොරුස්සනා බැල්මක්ද හෙලනු මම දුටුවෙමි. කිරිඳගල පල්ලිය අසල සිට තුඹගොඩ බස් නැවතුමට සැතපුම් කාලක පමණ දුරක් ඇත. මම විනාඩි කිහිපයක් ඇතුළත එම දුර ගෙවාගෙන පැමිණියෙමි. බස් නැවතුමට පැමිණෙන ගමන්ම මම කුඩා ළමයා සිටී දැයි ඈත සිටම විමසිලිමත් වුනෙමි. ඔහු පෙර සිටි ස්ථානයේ පෙනෙන්නට නොසිටියේය. මගේ උත්සාහය අසාර්ථකදැයි මම කල්පනා කළෙමි. මම බස්නැවතුමටම පැමිණියෙමි.

“අර දැන් පොඩ්ඩකට කලින් මෙතන නවත්වල ගිය බස් එකෙන් බැහැපු පොඩි ළමය කොයි පැත්තටද ගියේ.......”යැයි මම බස්රථයක් එනතුරු එහි රැඳී සිටි මගියෙකු අසලට ගොස් විමසුවෙමි. මා බසයතුළ සිට ළමයාගේ ක්‍රීයාවන් නීරීක්‍ෂණය කරද්දී ඔහුද එහි සිටිනු මම දැක තිබුණෙමි.

“අර බෑග් දෙකුත් අත්දෙකෙන් එල්ලගෙන හිටිය ළමයනේද?....” යි ඔහු මගෙන් විමසුවේය.

“ඔව්.....ඔව්.....එයා තමයි...” යි මම දැඩි උනන්දුවෙන් යුතුව කීවෙමි.

“මහිතේ එයා බොහෝම අමාරුවෙන් වගේ මෙන්න මේ පැත්තට ගියා..... වැඩි දුරක් යන්න නම් නැහැ....”යි පැවසු ඔහුද බස් නැවතුමට පැමිණි බසයකට නැඟීම පිණිස ගියේය. ළමයා ගමන්කළ දෙසට මමද ගමන් කළෙමි. මාවත ඉදිරියෙන් දෙකකට බෙදෙන මංසන්ධියක් විය. මම ගමන්කළ මාර්ගයට වඩා ඉහළින් කඳුගැටයක් මතින් එම අනෙක් මාර්ගය විහිදී තිබුණේය. මා ගමන්කළ මාර්ගයේ ඉදිරියෙන් කුඩා ළමයා ගමන් කරනු ඇත්දැයි මම ඈතටම දෑස යොමුකරමින් බැලුවෙමි. ඔහු එම මාර්ගයේ ඉදිරියේ නොසිටියේය.

“එහෙනම් ඔහු උඩ පාරට යන්න ඇති....”යි සිතූ මම උඩ පාරට ගියෙමි. එම මාර්ගය දිගේ ඉදිරියටද බැලුවේ බෑග් දෙකක් දෑතින් ගෙන ඇවිද යන කුඩා ළමයෙක් දකින රිසියෙන්ය. එවන් දසුනක් මගේ නෙතට හසු නොවුණි. මම එක තැන නැවතී තවත් විපරමින් එම මාර්ගය දෙසම බලා සිටියෙමි. මාර්ගයේ මඳක් ඈතින් පිහිටි විදුලි කණුවක් අසල බෑගයක් තිබෙනු දුටු මම එතැනට ගියෙමි. කුඩා ළමයා ඔහුගේ බෑග් දෙකද බිමින් තබාගෙන එම කණුවට පිටදී සිටියේය. මම ඔහු අසලටම ගියෙමි. ඔහු අඬමින් සිටියේය. නාවර පෙරුණු කම්මුල් දිගේ කඳුළුධාරාවන් ගලා ආවේය. බොර පැහැති දෙනෙත් තවත් බොරපැහැවී ගොසින් තිබුණේය. කම්මුල්වල කඳුළු ගලා යාම නිසා ඇතිවූ තෙත පාරවල් එහි ඇඳි ඉරි දෙකක් මෙන් පෙණුනේය.

“මේ..... ඇයි ඔයා අඬන්නේ.......” යි මම හෙමිහිට බොහෝම සෙමෙන් මුත් ළයාන්විතව ඔහුට ඇසෙන සේ විමසුවෙමි. මගේ හඬ ඔහුට ඇසුණේය. ඔහු සෙමෙන් සෙමෙන් දෑස් විවිර කර මදෙස බැලුවේය.

“ඇයි ඔයා ඔතනට වෙලා අඬන්නේ....” යි මම නැවතත් ඔහුගෙන් විමසුවේ මද සිනහවකින් මගේ මුවග සරසාගෙනය.

“මගේ යතුර නැතිවෙලා..... මට ගෙදර යන්න විදිහක් නෑ......”යි ඔහු කෙඳුරුමක හඬින් මා සමඟ කීවේය.

“ඔයා කොහේද යතුර තියාගෙන හිටියේ.....” යි මම ඔහුගෙන් නැවත ඇසුවෙමි. එකපාරටම යතුර නොදී ඔහුගේ විස්තර ටිකක් හෝ අසා ගැනීමට මම සිතුවෙම්.

“මගේ මේ සාක්කුවේ තමයි දාගෙන හිටියේ....” යි ඔහු ඔහුගේ ටී ෂර්ටයේ වූ සාක්කුව මට පෙන්වමින් කීවේය. බසයතුළ සිට ඔහු ඔහුගේ සාක්කු පිරික්සන අයුරු මම නිරීක්‍ෂණය කළෙමි. මෙසේ ඔහුගෙන් ප්‍රශ්ණ කිහිපයක් ඇසීමට පෙළඹුනේ මන්දැයි මමම නොදන්නෙමි.

“ඉතින් ඔයා හොඳට බැලුවද?....” යි මම නිකමට මෙන් තවත් පැණයක් ඇසුවෙමි. ඒ වෙලාවේ මගේ හිතට අසන්නට වෙනත් ප්‍රශ්ණයක්ද නොආවේය.

“ඔවි මං හොඳට බැලුවා.... මගේ කලිසමේ සාක්කුත් බැලුවා.... මගේ බෑග් දෙකත් බැලුවා.... ඒ කොහේවත් තිබුනෙ නෑ......” යි ඔහු නැවතද හැඬුම් ස්වරයෙන් කීවේය. මේ වන විට ඔහු පිළිබඳ ඇතිවී තිබුණු අනුකම්පාව දෙගුණ තෙගුණ වනු දැනුනේය.

“ඔයාගෙ ගෙවල් කොහෙද තියෙන්නේ....” යි මම තවත් ටිකක් ඔහුට සමීපවෙමින් ඇසුවේය.

“මේ ළඟ කිවුලෙවෙලේ තමයි අපේ ගේ තියෙන්නෙ....”යි ඔහු මගේ ප්‍රශ්ණයට නොපැකිලව පිළිතුරු දුන්නේය. කිවුලේ වෙල යනු මේ ප්‍රදේශයේ ඇති ඉතා දිළිඳු පවුල් කිහිපයක් පමණක් වෙසෙන කුඩා ගම්මානයකි. එහි වාසය කරන අය පහත් යැයි සමාජය විසින් සම්මත කරන ලද පිරිසක් වූ අතර ඔවුන්ගේ ජීවන වෘත්තීන්ද ඒ අනුවම හැඩගැසී තිබුණේය. පිරිසිදුකම යන්න ඔවුන්ට සිහිනයක් බවට පත්වී තිබුණේ ඒ නිසා වෙන්නට ඇත.

“ඔයත් එක්ක ගෙදර තව කවුද ඉන්නේ....”යි මම ඔහුගේ පවුල් පසුබිම දැනගනු රිසින් ඇසුවෙමි.

“තාත්තයි මමයි විතරයි ඉන්නෙ....”

“ඇයි අම්ම....”

“තාත්ත මට කිව්වෙ අම්ම වෙන මාමා කෙනෙක්ගේ ගෙදරක ඉන්නව කියල. මං අම්මව දැකල නෑ එයා අපේ දිහා එන්නෙ නෑ....” යි ඔහු කියාගෙන ගියේය. එම කාන්තාව මේ පොඩි දරුවා සහ ස්වාමියා හැරගොස් වෙන විවාහයක් කරගෙන ඇති බවට මම අනුමාන කළෙමි. දරුවාට තම මව නැති ශෝකය කෙබඳු විය හැකිද? නමුත් ඒ පිළිබඳව තවදුරටත් විමසා ඔහු අපහසුතාවයට පත් කිරීමට මම නොසිතුවෙමි.

“ඉතිං දැන් කෝ තාත්තා....”යි මම ඔහුගේ අදහස් වෙනතක යොමු කරන අදහසින් ඇසුවෙමි. දැන් ඔහුගේ ඇඩුම නැවතී ඇත. එනමුත් ඉඳහිට නැගෙන ඉකිබිඳුමක් පමණක් ශේෂව ඇත. මා අසන ප්‍රශ්ණවලට ඔහු කැමැත්තෙන් මෙන් පිළිතුරු දුන්නේ වෙනත් කිසිවෙක් මේ අයුරින් ඔහු සමඟ සුහදව කතා නොකරන නිසා වියහැකියැයි මම අනුමාන කළෙමි.

“තාත්ත අර ටවුමෙ ගෙදරක කාණුවක් කපනවා..... ඒ ගෙදර මහත්තය කිව්ව තාත්තට ඒක කපල ඉවරවෙලාම යන්න කියලා..... තාත්තා එන්න තව වෙලා යන හින්ද මට ගෙදර යතුර දුන්නා.... ගෙදර ගිහිං පාං කන්න සම්බෝලයකුත් හදන්න කියලා තාත්තා මට කිව්වා..... මට පොත් පාඩංකරන්නත් තියෙනවා..... දැං යතුර නැතුව මං ගෙට යන්නෙ කොහොමද?....” යි පැවසූ ඔහු නැවත හඬන්නටවූවේය.

“කොහේද පුතේ ඔයාගෙ යතුර වැටෙන්න ඇත්තෙ....”

“මං ආපු බස් එකේ තමයි වැටෙන්න ඇත්තෙ....”

“කෝ ඒ බස් එක...”

“ඒක ගියා....” යි ඉකි බිඳිමින්ම ඔහු කීවේය. තරමක් බොර පැහැකි දෙඇස සැනෙකින් රතු වූ අතර ලොකු කඳුළු ගුලි දෙකක් මතුවෙමින් වියැලී තිබුණු කම්මුල් තෙමාගෙන ගලා ගියේය. මම යතුර තියාගෙන තවදුරටත් මේ දරුවා හැඬවිය යුතු නොවේයැයි සිතුවෙමි. ඔහු සිතනුයේ යතුර නැතීවි ඇති බවය. නිවසෙහි දොර කැඩීමටද ඔහුට නොහැකිවනු ඇත. ගත රුහිරු වගුරමින් බොහෝ වෙහෙසවී නිවසට පැමිණෙන පියාට ආහාර ගැනීම සඳහා යමක් පිළියෙල කිරීමට මේ දරුවාට නොහැකිවනු ඇත. වෙහෙසවී නිවසට පැමිණෙන පියා නිවසෙහි යතුර නැතිවූ බව දැනගත් විට දරුවාට පහරදීමටද බැරිකමක් නැත. විඩාපත් ශරීරය ඔහුව ඒ තත්ත්වයට පත් කරනු නොඅනුමානය. බසයේ බිම වැටී තිබුණු යතුර දැක දැකත් අනෙක් මිනිසුන් මෙන් මමද මගේ ගමන ගියේ නම් අද මේ දරුවාට එම සියළු දුක් ගැහැට විඳීමට සිදුවන්නේය. මම ගනු ලැබූ තීරණය නිවැරදි බව පසක්කර ගත්තෙමි. කිසිවකුගේ අවධානයට ලක් නොවුණු මේ අසරණ දරුවාට පිහිටක්වීමට හැකිවීම පිළිබඳ මම හදවතින්ම සතුටුවුනෙමි. මට ගෙදර යාමට ප්‍රමාද වීම පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් මගේ සිතේ ඇති නොවීය.

“මේ..... මේකද පුතේ ඔයාගෙ යතුර....”යි මම මෙතෙක් වේලා මගේ සුරතේ ගුලිකරගෙන තිබූ යතුර ඔහුවෙත පාමින් ඇසුවෙමි. දරුවාගේ මුහුණෙහි පැතිරීගිය ප්‍රභාවය මගේ හදවතෙහි තවම නිදන්ගතව ඇත.

“ඔව්... ඔව්..... මේක තමයි....” ඔහු මා අතෙහිවූ යතුර දෙස හොඳින් බලා සිට කීවේය.

“එහෙනං ගන්න....”යි මම ඔහුට යතුර දුන්නෙමි. මගේ මුහුණ දෙස අපිරිමිත සෙනෙහසකින් බැලූ ඔහු රටක රාජ්‍යයක අයිතිය ලැබූවකු මෙන් දෑතින්ම එම යතුර ගත්තේය. මගේ හදවතද දෙදරන්නට මෙන් වූවේය. වෙව්ලන හදින් යුතුව මම ඔහුගේ ලේන්සුව ගෙන එහි කොනත යතුර ගැටගහා දුන්නෙමි. එය කලිසම් සාක්කුවේ දමාගත් ඔහු මගේ මුහුණ දෙස බලා සිනා සුනේය. මුව පුරාම සිනාසුනේය. හදවතින්ම සිනාසුනේය. දත්වල කහට බැඳී තිබුණද එම සිනහව අතිශ්‍යයින්ම සුන්දරවිය. ඒ හදපත්ලෙන්ම නැඟුණු ඒ සිනහවේ පියකරුබව කහට බැඳි කිලිටි දතින් අසුන්දර නොවීය.

“පුතේ දැං පරිස්සමින් ගෙදර යන්න... තාත්ත එන්නත් ළඟ ඇති... නේද?....” යි මම ඔහුට කීවෙමි.

“ඔව්....ඔව්... තාත්තත් එනව ඇති....”යි ඔළුව හොල්ලමින් කී ඔහු බෑග් දෙක දෙඅතට ගනිමින්ම කීවේය. වටින් ගොඩින් සැඳෑ අඳුරද මෝදුවේගෙන පැමිණෙන බැවින් මමද ඔහුගෙන් සමුගෙන බස් නැවතුම දෙසට ආවෙමි. ඒ එන අතර මම ආපසු හැරී ඔහු දෙස බැලුවෙමි. ඔහු තවමත් මා දෙස බලා සිටියේය. මම ඔහුට අත වැනුවෙමි. ඔහුද පෙරළා මට අත වැනුවේය. ඉන් පසු ඔහුට නිවසට යන ලෙසට මම අතින්ම සංඥා කළෙමි. මා බස් නැවතුමට පැමිණෙන විට බදුල්ල බලා ධාවනය වන බසයක් පැමිණියේය. ළමයා තවමත් එතැන ඇත්දැයි බැලූ මට ඔහු එතැනින් නික්මී බෑග් දෙකද දෑතින් ගෙන සෙමෙන් සෙමෙන් ඉදිරියට යන බව පෙනුනේය. උදාර කටයුත්තක නියැළුණු කෙනෙක් තුළ පමණක් ඇතිවන ආත්ම තෘප්තියක් සහිත සිතකින් මම නිවට යාම සඳහා නතර කරන ලද බසයට ගොඩවීමි.

Tuesday 9 November 2010

දහස්වරක් සමාවෙන්න.....

වෑ කණ්ඩියේ ඉස්මත්තේ
සෙවන සදන පුංචි පැලේ
කිරි පොවනා මගෙ පැටියට
දෙතනට තව කිරි වඩන්ට
ගුණ කෑමක් ඇගේ කුසට
කොහොමද මං
හොයා දෙන්නෙ.......

බිලී පිත්ත
අතට අරං
ඔරු කඳ මත්තෙහි පාවී
වැව මැද්දේ දඟ කරනා
මාළුන් එක එක බාගමි
බුදු හිමියන්
දෙසුව නමුත්
හොඳ නැහැ
පර පණ නසන්ට
මසුන් මරල මම රැකෙන්නෙ
දහස්වරක් සමාවෙන්න....
දහස්වරක් සමාවෙන්න.....


Monday 8 November 2010

ස්ථානමාරුව...........

ලිපියක් අරං
පිළිවෙලකට
ගොනු කරලා.......
එහි කවරයේ
ගැලපෙන්නට
නම අලවා........
ගොනුවේ යොමුව
නව පන්නෙට
සරි කරලා..........
ඵලදායීතාවයට
සැරසුනි
දෑතම විදලා..............

කබඩ් එකක්තුළ
ලිපි ගොනු
එක්කරලා.......
පිළිවෙල
දැකුම්කළු ලෙස
සුන්දර කරලා......
වසරක් පුරාවට
මගෙ දහදිය
හෙලලා....
සැරසූ විෂය
යන්නට සිදුවුණි
දමලා...............

මගෙ වැඩ හොඳලු
විෂයෙහි අඩුවක් නැත්තේ......
සුළු සුළු අඩු පාඩු
කොයි කාගෙද නැත්තේ......
ලැබෙනා ලිපිවලට
මෙනවත් තව කර නැත්තේ.........
ඒවා කරන්නට
මට කල්යල් නැත්තේ.............

Sunday 7 November 2010

කිරි කැටියගේ ටිකිරි සිනා පුදනෙමි තුති මල් විලසට.............

නින්ද නේන රෑ මැදියම
ගත සිසිලස දැවටෙනවා
එළිය ගෙනෙන ලන්තෑරුම
හදේ අඳුර දුරලනවා
රැල්ල ඇවිත් මගේ ළඟට
ඔරුව වටේ රඟ දෙනවා
දරු පැටවුන් සිහිවන විට
මුළු පපුවම පිච්චෙනවා.................

සවස ආවේ මහ සයුරට
දළ රළ අතරින් පාවී
මා එනු දුටු මාළු රෑන්
මාගෙන් ඈතට යාවී
ළය ඇවිලෙන දුක් ගිනි දුටු
මාළුන් මා වෙත ඒවී
ඔරු කඳ පිරෙනා විට උන්ගෙන්
හිරු කුමරුත් එයි පේවී................

උදෑසනම හබල අරන්
එන විට ගොඩ බිම පෙදෙසට
දෑතම මගෙ රිදුම් දෙවයි
දරා ගන්න බැහැනේ මට
පස්සෙන් විත් රළ පහරින්
සයුරෙන් දුන් සහයෝගෙට
කිරි කැටියගේ ටිකිරි සිනා
පුදනෙමි තුති මල් විලසට.............

Wednesday 3 November 2010

කිකිළියකගේ විලාපය

කල් යල් බලලා
බිත්තර දැමුවෙමි
වරිගෙ තනන්තට
කෙකර ගගා...........

බිත්තර රකිනා
කාලය එන විට
බිත්තර නැත
මා හට ලැබිලා........

මගේ කෙකර හඩ
සවන් වැකෙද්දී
සිත් පිත් නැති
මිනිසුන් වැදිලා...........

මල්ලක දාගෙන
අරගෙන යන්නේ
කොයිබටදෝ
බැලුවෙමි හැරිලා.................

වැන්දඹුවකගේ විලාපය.........

වියපත් නැත ගත
රූසිරු
කෝමළ සියොලඟ
ඇත රැඳිලා............

හිමි සඳ කොයිබද
නොදනිමි දෙවියනි
ඔහුගෙ සොහොන් පල
වල් වැදිලා.........

දරුවන් තිදෙනෙකි
උන්ගේ
කර දඩු
උස් කරලා..............

ගන්නට වෑයම්
කරනෙමි මම අද
සයනෙට
වෙන හිමියන් පතලා.........

පතිදම් රැක්කෙමි
හිමි සඳ සමඟින්
එකවහලක් යට
හිඳින කලේ.............

හිමියන් දැන් නැත
අසරණ මා අත
කොහිද බලේ..........

කුසගිනි ඇති විට
දරුවන් වැලපෙයි
ඒ ගිනි නිවනා
ලෙසින් ළයේ...........

කැමැත්තකින් නොව
අකමැත්තෙන්වුව
ගෙවෙන තරුණ කය
මිළක්කලේ...............

Monday 1 November 2010

මියැදෙනතුරු මේ මිහි මඩලේ

ඉන්න නැතක් නෑ
යන්න තැනක් නෑ
දරු පැටවුන්
දෙදෙනා සමඟින්

එනිසයි මහතුනි
ගෙ පැළක් තැනුවේ
ඉඩ ඇති
ළඳු කැළයක් අසලින්

මේ මිහි මඩලේ
උපතක් ලැබුවෙමි
අත් පා හිමි
මිනිසකු විලසින්

මියැදෙන තුරුවත්
ජීවත්වෙන්නට
බිමක් නොමැතිදෝ
මේ පොළොවෙන්