Monday 21 March 2011

මට බැන බැන ගිය හැම එකාම බෙල්ලෙන් ඇදගෙන මම යනවා.....

හදතුළ තෙරපෙන දහසක් සිතුවිලි
බැහැ නොවැ පත් ඉරුවට ගන්ට..............

මනාපයට පොරකන විට
මිතුරාවුව බැහැ ඉවසන්ට................

මිතුරා පස මිතුරා කර
ගෙයින් ගෙයට පිය මැන යන්ට..............

වෙන්කළ කාලය අවසන්වී ඇත
ඒක මදැයි මට සැනසෙන්ට...........

කලක් ළඟින් දුකට සැප‍ට
එකට හිටිය මගේ මිතුරා.............

මගේ දුරුවලතැන් හොඳින් දන්නවා
කණින් කණට ඌ යයි කොඳුරා...........

මගේ වටේ තිබු සියළු මනාපත්
ඒකෙන් අරගත්තේ උදුරා............

කරන්න මට කිසිම දෙයක් නෑ
ඌ පර මක්කන් වඳුරා....................

පන්සල පල්ලිය කෝවිල් හැමතැන
වැඳගෙන මම පැතුමන් පැතුවා.............

මොනවා කිව්වද මම නම් දන්නෑ
එනමුත් මම වැඳගෙන හිතුවා..............

මේ එන ඡන්දෙදි මනාප ලැබුනොත්
ඉහලින් මම එය සමරනවා.................

මට බැන බැන ගිය හැම එකාම
බෙල්ලෙන් ඇදගෙන මම යනවා..............

Thursday 10 March 2011

මම යළි උපදිනවා............

දස වසරක් තුළ
සිත සිරකර නැගි
සෙනෙහස හදතුළ
දළුලනවා.....

මා ගම් පියසට
නුඹ සපැමිණි වග
මගේ මුළු දිවියම
බබලනවා.........

නුඹට දොඩන්නට
දහසක් දේ ඇත
ඒ හැම මා හද
රැව්දෙනවා.........

නුඹෙ දුරකථනයේ
අංකය පැතුවෙමි
එය නොලැබී
මා ලත වෙනවා........

එනමුදු පසුබට
නොවී දිරිය ගමි
මගේ අංකය
නුඹ හට දෙනවා........

නුඹ මගේ අංකය
ගත්තොත් සොදුරියේ
අම්මප මම යළි
උපදිනවා.................

Wednesday 9 March 2011

මම වෙමි නුඹෙ අප්පච්චී.............

නෙතු කඳුළැලි
ගත දහදිය
රුහිරු සමඟ
එකට අනා
හදෙහි නැගෙන
පිය සෙනහෙස
නුඹ වෙනුවෙන්
වෙන්කෙරුවා..............

සිතිජ ඉමේ
කොතැනක සිට
නුඹ ආවත්
මගෙ උරුමෙට
මම රකිනෙමි
නුඹ පුතුනේ
මගේ නමින්
ලොව නගන්ට.................

නෙතු පියනින්
විවිරවු නෙත
හරවා මාගේ මුහුණට
බලනු මැනවි
බලනු මැනවි
හඳුනනවද
මම පෙර සිට...........

මුව පොඩියෙහි
දෙකෙළවරින්
දත් නැති කට
තොල් විදහා
මදහස පා
සිනහා වෙයන්
මම වෙමි නුඹෙ
අප්පච්චී.....................