Thursday 11 November 2010

පිපාසය (කෙටි කතාව)

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මම කාර්යාල කාර්ය සහයකයෙක් වශයෙන් ටික කාලයක් සේවය කළෙමි. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපය අතරින් එකක් වූ මෙය බළන්ගොඩ නගරයට තරමක් නුදුරු අළුත්නුවර නම් ග්‍රාමයේ පිහිටා තිබුනේය.

මෙම ප්‍රදේශයට තිබුණු ප්‍රධානම දුෂ්කරතාවය ජල සම්පතයි. සමහර ඉඩම්වල අඩි හැටක් හැත්තෑවක් පමණ ගැඹුරු ළිං කපා තිබුණද යන්තම් ඉඩෝරයකට පවා ඒවා සිඳී ගියේය. ඉඩෝරය තදින්ම ප්‍රදේශයට බලපාන විට වතුර රැඳී තිබුණේ මුළු ගමටම ස්වල්ප ස්ථාන කිහිපයක පමණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති ළිඳද එබඳුම එක් ස්ථානයකි. එහි ජලය බොහෝවිට සාමාන්‍ය ග්‍රීෂ්ම කාලවලවල සිඳී නොගියේය. අවුරුදු කිහිපයකට වරක් එළැඹෙන දරුණුම නියඟයකදී මෙම ළිඳෙහි වතුර බාල්දියක ආධාරයෙන් ගැනීමට පමණක් වන සේ අඩුවී ගියේය. සාමාන්‍යයෙන් මෙහි වතුර ගනු ලබන්නේ විදුලි මෝටරයක ආධාරයෙන්ය. කාර්යාල භූමියේ ඉහළක තනා ඇති ටැංකියකට මෙම මෝටරයෙන් ජලය ගෙන යයි. එතැන් සිට එලා ඇති ජල නළ පද්ධතියක් මඟින් සම්පූර්ණ කාර්යාල භූමියම ආවරණය වන පරිදි ජල සැපයුම සකස්කර ඇත.

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබුණද මෙම කාර්යාල භූමිය ඇත්තටම සුන්දරය. වර්ෂයේ එක් කාලයක ග්‍රීෂ්මය උදාවීමෙන් පීඩාවකට පත්වුවද අනෙක් කාලය පුරාවට සුන්දරත්වයෙන් අඩුවක් නොවුනේය. කාර්යාලයට ඇතුළුවන ගේට්ටුව අසලට පැමිණ කාර්යාලයට ඉහලින් බලන විට එයට පසුබිමින් හාගල සහ පරෙයියන්ගල කඳුවැටියේ රමණීය දර්ශණයක් දැකගත හැකිය. කාර්යාලය ඉදිරියෙන් කාර්යාලය දෙසට මුහුණ ලා වැඩ සිටින නිසසල බුදු රුවට සිසිලස සැලසීමට කාර්යාල භූමියේ පෙළින් පෙළට සිටුවා ඇති විවිධ ශාඛ වර්ග නිතැතින්ම ඔබගේද දාහය නිවාලනු නොඅනුමානය. කාර්යාලයේ ඉදිරියෙන්ම මිදුලෙහි සිටුවා ඇති අඹ ගසේ ඵල රස විඳීමට පුරුදුව සිටින අහිංසක සතුන් එහි සුන්දර බව තවත් සුන්දර කරන්නේය. කාර්යාලයේ පිටුපසින් පෙළට සිටුවා ඇති කටු අනෝදා ගස් පෙළ වර්ෂයේ සෑම දිනයකම ඵලබරවී තිබීම සැබවින්ම අරුමයක්මය. එහි රස විඳීමට පැමිණෙන කුරුළු වර්ග අපමණය.

කාර්යාලයේ ඉදිරියේ තනා ඇති වෘත්තාකාර පොකුණ නිතරම ජලයෙන් පිරී පැවතුණේය. සෑම දිනකම එහි නිල් මහනෙල් මල් පපී සුවඳ හැමුවේය. මෙම ජල පොකුණ සතුන්ට පාරාදීසයක් විය. කාර්යාලය ඉදිරියට වී අවට සිරි නරඹන්නෙකුට මෙම පොකුණෙහි ජල ක්‍රීඩා කරන විවිධ කුරුල්ලන් දැකගත හැකිය. ප්‍රදේශයේ ජල හිඟය උග්‍රවන විට අනෙක් සිවුපාවුන්ද මෙම පොකුණෙන් ජල පානයට පැමිණෙන්නේය.

සතියේ වැඩකරන දිනවලදී කාර්යාල වේලාව තුළ ගේට්ටුව විවෘතව තබන්නේය. එම වේලාව තුළ මෙම පොකුණෙන් ජලය පානය කිරීම සඳහා පැමිණීමට ප්‍රදේශයේ ගව රැළක්ද පුරුදුව සිටියේය. මෙම ගව රැළ ගවයින් හැත්තෑපහක පමණ ප්‍රමාණයකින් යුක්තය. මෙම ගවයින් රාත්‍රිය ගත කරන්නේ උග්ගල් අළුත්නුවර කතරගම දේවාල භූමියේය. බිම් කළුවර පහව යමින් යන්තම් ආලෝකය මෝදුවත්ම නැඟී සිටින මෙම ගව රැළ එක රැළට ගම පුරා ඇවිදීම ආරම්භ කරන්නේය. හදිසියේවත් මෙම ගව රැළට පිටුපසින් ප්‍රධාන මාර්ගයට යාමට සිදුවුවහොත් ඒ ගව රැළ පසුකරගෙන යාම නම් සිහිනයක්ම වන්නේය. මෙසේ ගම වටේ යන මෙම ගවයින් ටික ටික දහවල් වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේය. ඒ රාජකාරී කටයුත්තක් ඉටුකර ගැනීමට නම් නොවේ. එය හුදෙක්ම උන්ගේ පිපාසය සන්සිඳවා ගැනීමටය.

එකා දෙන්නා බැගින් කාර්යාලය ඉදිරි පිට ඇති පොකුණට පැමිණෙන මෙම ගවයින් විනාඩි කිහිපයක් යනතුරුම හිස ඔසොවන්නේ නැත. ඇතිවෙන්නට වතුර බොන උන් ඉන් පසු කාර්යාල භූමියේ තැන තැන වැතිර විඩා නිවාගන්නටද පුරුදුව සිටියේය. වැසිකිළි යාමට පුරුදුවී නොමැති මෙම ගවයින් කාර්යාල භූමියේ තැනින් තැන තම ශරීර කෘත්‍ය කිරීම කාර්යාල භූමිය ශුද්ධ පවිත්‍ර කරන කම්කරුවන්ට නම් පුදුම වදයක්විය. සේවය සඳහා කාර්යාලයට පැමිණෙන සමහර නිලධාරීන් තම යතුරු පැදි කාර්යාල මිදුලෙහි වූ ගස් සෙවනෙහි නතර කිරීමද සිරිතක්ය. සමහර ගවයින් මෙම යතුරු පැදිවල ඇති රබර් මිශ්‍රිත කොටස් සපා කෑම කරති. තවත් සමහරෙක් එම යතුරු පැදිවල තම ගෙළ අතුල්ලති. එක් ආධාරකයක් මත රඳවා ඇති මෙම යතුරු පැදි මෙම ක්‍රියාවලියේදී බොහෝ අවස්ථාවල පෙරැළී යන්නේය.

සමහර දිනවල සේවය නිමා වී නිවෙසට යාම සඳහා යතුරු පැදිය ගැනීමට කාර්යාලය ඉදිරියට පැමිණෙන විට යතුරු පැදිය පෙරැළී එහි යම් යම් කොටස් කැඩීගොසින්ය. තවත් විටෙක එහි ටැංකියේ තිබූ ඉන්ධනද කාන්දුවී ගොසින්ය. හදිසියේ ප්‍රාදේශීය ලේකම්තුමාට කාර්යාලයෙන් පිටව යාමට සිදුවුවහොත් තැන තැන ලැග සිටින ගවයින් මඟහරවමින් නිල රථය මාවතට ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ අවස්ථා එමටය. කාර්යාල භූමියට ගවයන්ගේ පැමිණීම මේ නිසා විශාල ගැටළුවක් බවට පත් විය.

“අයාලේ යන ගවයින් කාර්යාල භූමියට පැමිණෙත බැවින් ගේට්ටුව වසා යාමට කාරුණික වන්න” යනුවෙන් සටහන් කරන ලද පුවරුවක් ගේට්ටුවේ එල්ලා කාර්යාල වේලාව තුළද ගේට්ටුව වසා තැබීමට ප්‍රාදේශීය ලේකම්තුමා පියවර ගත්තේය. පසු කලෙක මෙම ගේට්ටුවේ පියන් දෙකෙන් එක් පියනක භාගයක් පමණක් විවෘතකර පුද්ගයයෙක්ට පමණක් ඇතුළුවීමට හැකිවන පරිදි සකස්කලේය. සිව්පා සතුන්ට වතුර බීමට හැකිවන පරිදි කුඩා ප්‍රමාණයේ නව පොකුණක් කාර්යාලයේ ගේට්ටුව අසලින් ඉදි කළේය.

එක කාලයක කාර්යාලයේ මුර සේවයේ යෙදී සිටි මුරකරුගේ අක්‍රමිකතාවයක් නිසා ඔහුගේ සේවය අත්හිටෙවූවේය. මුර සේවයේ ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් නව බඳවා ගැනීමක් සිදුවන තෙක් කණිෂ්ඨ සේවක නිලධාරීන් වන අපව සතියෙන් සතියට මුර රාජකාරී ආවරණය සඳහා යොදවන ලදී.

එක් දිනෙක මම රාත්‍රී මුර සේවයේ රාජකාරී ආවරණය සඳහා කාර්යාලයට පැමිණියෙමි. මා සේවයට පැමිණෙන විට අනෙක් සියළුම නිලධාරී මහත්ම මහත්මීන් තම තමන්ගේ සේවාවන් නිමා කර ගොසින්ය. යතුරේ රාජකාරී කටයුතු ඉටු කරන නිලධාරියා මා සේවයට පැමිණෙනතෙක් කාර්යාල භූමියේ රැඳී සිටියයුතුවූ බැවින් ඔහු පමණක් මා එනතුරු මඟ බලමින් නොඉවසිල්ලෙන් සිටියේය. කාර්යාල භූමියට පැමිණි මා පැමිණීමේ ලේඛණයේ මගේ පැමිණීම සටහන් කලෙමි. ඉන් පසු කාර්යාලයේ සියළු දොර ජනේල නිසි පරිදි අගුළු ලා වසා ඇතිදැයි පරීක්‍ෂා කරමින් කාර්යාලය වටේට රවුමක් ගියෙමි. කාර්යාල භූමියේ ඇති විශේෂ දේවල් පිළිබඳවද විමසිලිමත් වුනෙමි. මගේ එම මූලික පරීක්‍ෂාවන් සිදුකරන තෙක් යතුරේ රාජකාරී ආවරණය කරමින් මා පැඹිණෙන තෙක් රැඳී සිටින නිලධාරියා අනිවාර්යයෙන්ම සිටිය යුතුය. මම සියල්ල පරීක්‍ෂාකර බලා භාරගත් විට ඔහුට කාර්යාලභූමියෙන් පිටවීමට හැකිය. ඔහු පිටව ගිය පසු මම මුර කුටියටවී මුර කරුගේ සටහන් පොත සම්පූර්ණ කරමින් සිටියෙමි. නිකම්ම සිටින විට ඇතිවන කම්මැලි කම මඟහැරීම සඳහා මම පොත් කියවීමි. සමහර දිනවල මම චිත්‍ර ඇන්දෙමි.

මෙදිනද මම නව කතා පොතක් කියවමින් සිටියෙමි. රාත්‍රිය උදාවීමට ඉඩ සලසමින් හිරු අවරගිරෙන් බැස යමින් තිබුණේය. සඳ මෝදුවී නොතිබුණද මෙම වේලාවේ තරමක ආලෝකයක් පැවතුණේය. ගේට්ටුව අසලින් කිසියම් ශබ්ධයක් ඇසුණු නමුත් එය නොසලකා මම පොත කියෙව්වෙමි.

“පාරේ යන කෙනෙක් වෙන්න ඇති.....”යි මම පොත කියවන අතරම සිතුවෙමි. පොතෙහි පේළි කිහිපයක් මම කියවන්නට ඇත. පෙර ශබ්ධය නැවතත් ඇසුණේය.

“ඩක්..... ටක්..... ටක්.....ඩක්....”

“මොකක්ද දන්නෑ ඒ සද්දෙ.....”යි සිතූ මම පොත වසා මේසය මත තිබෙද්දී මුර කුටිය ඉදිරිපිටට පැමිණ ගේට්ටුව දෙස බැලුවෙමි.

“මේ හරක් රංචුවක්නේ....” යැයි මටම කියාගත් මම කාමරය ඇතුළට යන්නට සැරසුනෙමි.

“ඩක්..... ඩක්ස්..... ඩක්..... ඩක්....” වඩා තදින් ගේටුටුව අසලින් ඇසුණු මෙම හඬ නිසා මම නැවතත් ඒ හඩ නැගෙන්නේ කෙසේදැයි බැලුවෙමි. ගේට්ටුව සමීපයටම පැමිණ සිටි ගවයෙක් උගේ එක් පාදයකින් බිමට ගැසීම නිසා මෙම හඬ නැගෙන බව මට පෙනුනේය. මම එදෙස බලනවිට උගේ ඒ ක්‍රියාව නතර වෙයි. මම ඉවත බලා සිටින විට ඌ නැවතත් ශබ්ධ නගයි.

“මේ වෙලාවේදී මුන්ගෙන් ඇති වදයක් .....” යැයි සිතමින් මම කුටිය තුළට යාමට සැරසුනෙමි. මා ආපසු හැරෙත්ම අර ශබ්ධය නැවතත් ඇසුණේය.

“ඩක්.....ඩක්.....ඩක්.....ඩක්....”

“මුන් ටික එළවල දාන්න ඕනි.....” සිතූ මම මුර කුටියේ සිට ගේට්ටුව දක්වා ඉදිරියට ගමන් කලෙමි. අඩි හප්පමින් ගමන් කලෙමි. වේගයෙන් ගමන්කලෙමි. මම මිදුලට බසින විට ශබ්ධකළ ගවයා උගේ හිස හරවා මා දෙස බලා සිටියේය. මම සිතුවේ මා හයියෙන් හයියෙන් ඉදිරියට යන විට උන් බයවී ආපසු යයි කියාය. එය එසේ සිදු නොවුනේය. මගේ මුහුණ දෙසම බලා සිටි ගවයාගේ දෑසට මගේ දෑස යොමු විය. උගේ දෙකන් මා වෙතටම යොමුවී තිබුණේය. ඌ මා දෙස බලාගෙනම උගේ දිවගින් නාසය කිහිප වරක්ම ලෙවකෑවේය. උගේ දෑසෙහි පතුලේම වූ අසරණ බවක් මගේ ඇසට පෙනුනේය. අනෙක් ගවයින්ද ඉවතට යනවා වෙනුවට ගේට්ටුව අසලටමවී සිටියේය.

“මුන්ට වතුර තිබහ වෙලාවත්ද? .....” යි සිතූ මම තව තවත් ඉදිරියට ගියෙමි. මුලින්ම සිටි ගවයා මා දෙසම බලාගෙන සිටියේය. ගේට්ටුව අසලටම ගිය මට ආපසු හැරී ඒමට නොහැකි විය. ගේට්ටුව අරිනවා හැර වෙනත් කළ යුතු දෙයක්ද නැතිවිය.

“මුන් වත්ත පුරාම ගියත් කමක් නැහැ..... ගේට්ටුව අරින්න ඕනි බලන්න .....”යි සිතූ මම මගේ අත ගේට්ටුවේ කොක්ක මතින් තැබුවෙමි. මම ගේට්ටු කොක්ක ඔසවන විට මගේ අත දෙසට ගවයා හිස හරවමින් බැලුවේය. එය හරියට කිරි ඉල්ලා හඩන දරුවෙක්ට කිරි වීදුරුවක් දෙන විට එම කිරි වීදුරුව දෙසම බලන බැල්මක් බඳුවිය. මම සෙමෙන් සෙමෙන් ගේට්ටුව විවර කළෙමි. පාදයක් බිමට අනිමින් ශබ්ධ කරමින් සිටි ගවයා මුලින්ම කාර්යාල භූමියට ඇතුල්වුනේය. මම ඌ දෙස බලා සිටියෙමි. ඌ කෙළින්ම ගියේ පොකුණ අසලටය. මගේ හද පත්ලෙන්ම මතුවී ආ කම්පණය සුසුමක් විය.

“දෙයියනේ මුන්ට හොඳටම වතුර පිපාසේ තිබිල.....මං මුන්ව එළෙව්වනං..... උන් කොහෙන් වතුර ඩිංගක් බොන්නද?.....” නෙතඟෙහිවූ කඳුළ පිසලමින් මම කල්පනා කළෙමි. මුලින් පැමිණි ගවයාව අනුකරණය කරමින් අනෙක් ගවයින් සියළුම දෙනාද පොකුණ අසලට රොක්වුනේය. විනාඩි කිහිපයක්ම එක දිගටම පොකූණතුළට හොම්බ දමාගෙන වතුර බොන උන් ඉඳ හිට හෝ හිස ඔසොවන්නේ කොන්දෙහි වසන මැස්සන් පලවා හැරීමටය. පිපාසය සංසිඳෙනතුරු කුස පිරෙන්නට ජලපානය කරන ගවයෙක් තම පසුපෙළෙහිවූ ගවයෙක්ට ඉඩ දෙමින් මඳක් ඉවතට යන්නේය. ඌ පසෙකටවී උගේ ඇඟ ලෙවකමින් සිටින අයුරු මම බලා සිටියෙමි.

“මුන් වත්ත පුරාම දුවයිද දන්නේ නෑ .....”යි සිතමින් මම කිසියම් බයකින්ද පෙළුනෙමි. මුන් ටික වත්ත පුරා දිව ගියහොත් තනි මට උන් එළවා දැමීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවෙන බව මට සිහි විය. මම ගේට්ටුව විවර කර මුන්ටික ගේට්ටුව ඇතුළට ගැනීම පිළිබඳවද කල්පනා කළෙමි.

“නැත..... මෙහි වරදක් නැත.... මම කරන ලද්දේ පිපාසයෙන් පෙළෙන අහිංසක ගව රැළකට උන්ගේ පිපාසය සංසිඳවා ගැනීමය උපකාරයකි..... එනිසා මගේ වරදක් නැත....” මෙසේ කල්පනා කරමින් මම ගේට්ටුවද හැර දමා මුර කුටියේ ඉදිරිපසටම වී ගව රැළගේ හැසිරීමද නිරීක්‍ෂණය කරමින් සිටියෙමි.

මුලින්ම වතුර බීමට පැමිණි ගවයා සෙමෙන් සෙමෙන් ගේට්ටුව දෙසට ගියේ මම පුදුමයට පත් කරවමින්ය. ගේට්ටුව අසලටම ගිය ඌ ආපසු ගව රැළ දෙස බලා මා දෙසට හැරී ටික වේලාවක් බලා සිටියේය. එය හරියට මට ස්තූති කිරීමක් වැනියැයි මම සිතුවෙමි. ගේට්ටුවෙන් එළියට ගිය ඌ මඳ වේලාවක් එසේ සිට නැවතද සෙමෙන් සෙමෙන් පාර දිගේ යන්නට ගියේය. ඌ එම ගව රැලේ නායකයාවත්දැයි මම කල්පනා කලෙමි. ඌ ගේට්ටුවෙන් එළියට ගිය පසු වතුර බී අවසන්කරන සෑම ගවයෙක්ම සෙමෙන් සෙමෙන් පිටවී ගියේය.

උන් සියළු දෙනාම පිපාසය සංසිදෙනතුරු වතුර බී පිටත්ව ගිය පසු මම ගේට්ටු පියන වසා ඊට කොක්ක දැමුවෙමි. සතෙකුගේ පවා අවශ්‍යතාවය තේරුම් ගැනීමට හැකිවීම පිළිබඳව මම සැබවින්ම ආඩම්බරවූවෙමි.

1 comment:

  1. මේක ඇත්ත කතාවක්ද අයියේ?අද කතාවත්නම් සුපිරියි...දැන් කාලෙ එහෙමනම් ලැපයි,ඩොන්ගල් එකයි තිබුනනම් රෑ එලිවෙනකන් නිදිමරන්න බැරියැනේද?

    ReplyDelete