Thursday 6 May 2010

බිරිඳකගේ කවක්.......

‍බෙදාගෙන බත් පතක්
ඔබ සමඟ
එකට හිඳ
අනුභව කරන්නට
බලාගෙන සිටියෙමි
මම
උළුවස්සට හේත්තුවී
දොර පියන් හැර දමා
ඔබ එනතුරා..............

සැඳෑ හිරු බැස ගිහින්
සඳ එළිය වැටෙනතුරුත්
මඟ බලා සිටියෙමි
ඔබ
ළඟ ළඟම එතැයි සිතා
සිරි යහන
උණුසුම් කරන්නට.......

එළැඹෙද්දි මැදියම
සඳ කිරණ අතරින්
වාරු නැති දෙපයකින්
ඇදි ඇදී පැමිණි
ඔබෙ රුව
උණුසුම්ව ඇති බව
දුටිමි
මත් පැන් පොදකින්........

දයාබර හිමියනේ.....

ඔබ ළයෙහි
හිස හොවා
සෙනෙහසින්
උණුසුම් වන්නට
පාරමී දම් පුරන
අවිහිංකාවියක්
හඬාවැටෙන හදවතින්
තනිවී සිටින වග
ඔබ අසල
නොසිතුවෙද මොහොතක්
මා ළය මඩළ
උණුසුම් කරන්නට
කොඳුරමින් සුපෙම් වදනක්
දෙසවනට...........

- කුමාර සෙනෙවිරත්න -

No comments:

Post a Comment