Thursday, 20 May 2010

මියගිය මිතුරියට......

මම කිසිම විටෙක
සිහිනෙන්වත්
නොසිතුවෙමි
නොපැතුවෙමි
ඔබේ නිසල දේහය
අභියස මෙසේ
කඳුළැලි සලන්නට......
එනමුදු මිතුරියේ
මම වටහා ගතිමි
සදාතනික කිසිවක්
ලෝකයේ නොමැති වග
දින ගණනක් පුරාවට
රුදුරු මරු සමග සටන් වැද
සළිත් අප ුතරට නොයෙන්නට
විඩා නිවනා නුඹට
අජරාමර
පරම සුන්දර
අමා මහ නිවන් සුවයම
අත්වේවා......

Wednesday, 19 May 2010

එනු මැනවි ගිලන් ඇඳ හැර දා........

දිරිය දියණියක විලසින්
එදා මම දුටු ඔබේ සොඳුරු වත
නිමේෂයකින් අඳුරුව
තිබෙනයුරු
කෙසේ සිතන්නද
සයනයක් මත..........

අහෝ දෙවිඳුනි
මම කෙසේනම්
විශ්වාස කරන්නද
ඹබේ සිරුරට සවිකර ඇති
මේ කෘතිම යන්තර.......

ඩෙංගු රකුසා දත් විලිස්සා
ඔබව ඩැහැගන්නට
බලා සිටින්නේ දෑස් දල්වා
ඒ දෑස පරදවා නැගිටින්න......
මිතුරියේ මගේ නැගිටින්න.....
බොහෝ කල් වැජ‍ඹෙන්න
මගේ ආයුෂත්ගෙන
බොහෝකල් වැජඹෙන්න.....
අනේ මගෙ මිතුරියේ...
දෑස් කවුළු පියන් විවරකර
බලනු මැන නුඹේ මිතුරෙක්
බලා සිටී නුඹ අසලින්
නුඹ සුව වී යළි එනතුරා......
නුඹගේ නිකැළැල් වතින්
එදා දුටු ඒ සිනහව දකින්නට........
ඉනිත් මිතුරියෙ
එන්න අප අතරට
ගිලන් ඇඳ පසෙකලා.....

ඔබට සදා නිරෝගී සුවය ලැබේවා......
ඔබට සදා නිරෝගී සුවය ලැබේවා......
ඔබට සදා නිරෝගී සුවය ලැබේවා....... මගේ ආදරණීය මිතුරියේ ඉන්දු

Thursday, 13 May 2010

සොයුරාණෙනී.............

සිතුවිලි අතරේ
සිතුවිල්ලක්වී
පාළුව තනිකම
රජයද්දී................
ඒ තනිකම මගේ
දෙගුණ තෙගුණ විය
ඔබගේ වියොව
කණ වෑහෙද්දී................
මින් පසු මගේ ළඟ
සෙවනැල්ලක් මෙන්
සිටින්නෙ කවුදැයි
විමසද්දී..................
නෙතඟින් ගිලිහුණු
කඳුළු බිංදුවක්
ගලා ගියා
නෙතු උතුරද්දී...............

Monday, 10 May 2010

නොසිතුවෙමි මම......

නොසිතුවෙමි මම
කිසිම දිනයක
මගේ ජීවිතය
මේ තරම්
සුන්දරයැයි කියා
ඔබ හමුවනතුරුම.....
නොසිතුවෙමි මම
කිසිම දිනයක
මගේ ජීවිතය
කොයිතරම්
දුක්බරදැයි කියා
ඔබ වෙන්වෙනතුරැම......

Thursday, 6 May 2010

පා යුග වඳිම්....

මගේ මුළු ජීවිතේ
අන්ධකාරය දුරලන්න
ඔබ හදේ පොදි බැඳුණු
පැතුම් විකසිතවන්න
පසු පසින් සිට නිබඳ
දුන්නු ඒ අවවාද
වදයක්ව තිබුණි මට
සත්තමයි ඒ දවස...
ගෙවා කාලය
දින සති මාස විලසින්
ලොකු එකෙකි
මම අද.....
දෙවුර උස් මහත් වූ.....
ලොවෙහි ඇති තතු නිබඳ
මගෙ නෙතින් මම දකිමි
නමුදු ඒ දැක්ම මට
දායාදයයි ඔබගේ......
හදවතට දැනෙන දුක්
විඳගන්න නොසැලෙමින්
මට සවිය වූ ඔබේ ඔවදන්
වැටහෙන්නේ දැනුයි මට.....
කොතරම් උස් මහත් වුවත්
මා ගත...
වයෝවෘදව තිබෙන
ඔබෙ සිරුර හමුවේ...
නවා හකුලා දෙදණ බිම ඇණ
දොහොත් මුදුනේ හොවා
නමදිමි ඔබේ පා යුග....
දයාබර මෑණියනි...
දෙනු මැන සමාව
නොතේරෙන පොඩි කමට
කළාවූ වරදට....

- කුමාර සෙනෙවිරත්න-

බිරිඳකගේ කවක්.......

‍බෙදාගෙන බත් පතක්
ඔබ සමඟ
එකට හිඳ
අනුභව කරන්නට
බලාගෙන සිටියෙමි
මම
උළුවස්සට හේත්තුවී
දොර පියන් හැර දමා
ඔබ එනතුරා..............

සැඳෑ හිරු බැස ගිහින්
සඳ එළිය වැටෙනතුරුත්
මඟ බලා සිටියෙමි
ඔබ
ළඟ ළඟම එතැයි සිතා
සිරි යහන
උණුසුම් කරන්නට.......

එළැඹෙද්දි මැදියම
සඳ කිරණ අතරින්
වාරු නැති දෙපයකින්
ඇදි ඇදී පැමිණි
ඔබෙ රුව
උණුසුම්ව ඇති බව
දුටිමි
මත් පැන් පොදකින්........

දයාබර හිමියනේ.....

ඔබ ළයෙහි
හිස හොවා
සෙනෙහසින්
උණුසුම් වන්නට
පාරමී දම් පුරන
අවිහිංකාවියක්
හඬාවැටෙන හදවතින්
තනිවී සිටින වග
ඔබ අසල
නොසිතුවෙද මොහොතක්
මා ළය මඩළ
උණුසුම් කරන්නට
කොඳුරමින් සුපෙම් වදනක්
දෙසවනට...........

- කුමාර සෙනෙවිරත්න -

Tuesday, 4 May 2010

එනු මැනවි හෙට අළුත් දිනයක්....

කුරුල්ලන්ගේ මිහිරි නාදය
අද ගෙනෙන්නේ නැතිය මිහිරක්....
සොබා සිසිලස ගතට සැලසූ
නුග සෙවන මට පාළු පිටියක්....
කඳු මතින් නැඟි සොඳුරු
සඳ කැන් දකින්නට නැහැ හදේ පිරියක්......
අනේ මගේ සඳ නුඹය මගේ හද
එනු මැනවි හෙට අළුත් දිනයක්.....
- කුමාර සෙනෙවිරත්න-

Sunday, 2 May 2010

සිපගනු මැන මම.....

පාළුව තනිකම
මටත් හොරෙන් මගේ
හදට වැදී.....
සිත ඉකි බිඳිමින්
හඬන පැයේ...
පලවා හරිනට
හදින් කාංසිය
ගං ඉවුර‍ට
පියවර මැන්නේ.....
නිසසල නිල්දිය
දිය රැලි නැගුවද
මගේ නෙත
දිය මතුයෙහිම තියේ.........
ඈතින් දිස්වුන පුන් සඳ
නුඹේ වත ....
මගේ මතකය
වෙන ලොවක ගියේ.....
ගඟ මතුයෙහි හිඳ
පොපියන දෙනෙතින්
පෙර ආදරමතකය පුබුදා......
මා අමතන නුඹෙ ආදර පහසට
ලොල්වෙමි මම මන දොළ සපුරා
බලා ඉන්න බෑ
බලා ඉන්න බෑ.... මට...
තවත් ඉතින් ගං තෙරට වෙලා....
සිප ගනු මැන මා ළයට තුරුළු කර
ආදරයෙන් මගේ සෙනේ... කියා....