Thursday, 30 December 2010

මා සමඟින් නුඹත් වරේ..............

වසරක ගෙවුම වසරක ඇරඹුමට හැරේ
වැසි දිය සමඟ නව සිතුවිලි බිමට පෙරේ
අවසන වසරෙ හැම උවදුරු පලව හැරේ
පියවර නගමු මා සමඟින් නුඹත් වරේ

Tuesday, 28 December 2010

මා අසලින් ඇදෙනව.............

පොද වැස්සට මල් පිපුනට
සැර වැස්සට මල් හැලෙනව
හිරු කිරණත් උදේ දවල්
එක එක විදිහට දැනෙනව
සුසුම සුසුම එකතුවෙලා
කඳුළු ගඟක් නෙත ගලනව
බැල්ම බැල්ම පිටට දිදී
නුඹ මා අසලින් ඇදෙනව

Wednesday, 22 December 2010

බිල්පත් ගොඩ වෙලා

දෙනෙත පියන් ඇඳට උනේ
එළිවෙනකං නිදාගන්න
මුදලාලිල වටේ යනව
බැහැ නොවැ මට නිදාගන්න
චෙක් ලියලා නැහැ නොවැ තව
ඒ අය හට බිල් ගෙවන්න
සංවර්ධනෙ රට නැංවෙයි
බිල්පත් ගොඩ වෙලා මෙන්න

Thursday, 16 December 2010

නුඹේ වදන්..........

වැහි පොද පොද එකතුවෙලා
ගඟක් ගලනවා
වැලි කැට කැට එකතුවෙලා
කන්දක් වෙනවා
පැළ එක දෙක එකට වැඩී
කැළයක් වෙනවා
නුඹේ වදන් මගේ හදට
සතුට ගෙනෙනවා.......

Tuesday, 14 December 2010

මම බය වෙන් නෑ........

පොල් ගෙඩියට හැට උනාට
පොල් තෙල් තව මිළ උනාට
බඩු මිළ කොතරම් නැග්ගත්
මම බය වෙන් නෑ
මම බය වෙන් නෑ

අපේ පඩිය අඩු උනාට
ලොක්කට පඩි වැඩි උනාට
අපි කරනා මේ සේවය
මිළ කරන්න බෑ
මිළ කරන්න බෑ

මගේ ගෙදර පොඩි උනාට
කාමර එහි අඩු උනාට
රෑ තුන් යම සැපට නිදමි
නුඹට එහෙම බෑ
නුඹට එහෙම බෑ

වෙල් එළියේ නියර දිගේ
සරු ගොටු කොළ දඩු නෙලන්ට
ඇළ අයිනේ සැපට වැවෙන
අල ගස්වල ගොබ කපන්ට
මගේ පැටව් හරි දස්සයි
මම බය වෙන් නෑ
මම බය වෙන් නෑ

Sunday, 12 December 2010

දුරින් ඉඳන් පෙම්කරන්ට.........

සඳ පායපු ලස්සන රෑ
ගිය මාසේ පහු උනාට
වළාකුලින් බර අහසේ
බැරිවුණි එය බලාගන්ට
හිත් අසසේ මගේ ලොවේ
මා අසලින් නැතිවුනාට
මං ආසයි ඔබත් එක්ක
දුරින හිඳන් පෙම්කරන්ට

Friday, 10 December 2010

ආදර සිත මගේ තවමත් තරුණයි.........

හමුවෙන්නට
පෙරුම් පුරන්නෙමි
යන එන මාවත්වල
හැසිරෙන්නෙමි
ඔබගේ උදව්වට
නිතර බලන්නෙමි
එනමුදු තවමත්
ඔබව සොයන්නෙමි.........

සසරේ පෙර සිට
‍සෙව්වා මතකයි
කොයි මොහොතේ හෝ
හමුවෙනු නිසැකයි
හමුවෙන මොහොතේ
හඳුනාගන්නට
ආදර සිත මගේ
තවමත් තරුණයි...........