Tuesday, 24 May 2011

ආයෙත් බිළි‍ෙඳෙක් වන්න

මිදුලට පැනල
ගත දුහුවිලි නාගන්න
අක්කා සමඟ
තර‍ඟෙට දුව පැරදෙන්න
අම්මා කවන විට
බත් කට කට කන්න
ආසයි මටත්
ආයෙත් බිළි‍ෙඳෙක් වන්න

Thursday, 19 May 2011

නුඹ හා පෙමින් ඉන්නටය මට හැකි වේවා........

මගෙ නෙත් කොණින් උණු කඳුළැලි වෑහෙන්න
කළ කරුමය කිමද දෙවියනි වටහල දෙන්න
ඔබ නැති නිසාවෙන් මා ළඟ දැවටෙන්න
පෙරුමන් පුරමි තව තව පින් කර ගන්න

සංසාරේ අපි එකට හිටියා ලකුණු දැනේ
අද මා පමණි ඇයි දෙවියනි එහෙම උනේ
මා යන ගමන දැක තනියට නතරවුනේ
මගේ පැල්පතේ ආලෝකෙට මොකදවුනේ

යළි උපදින භවේ අපි ආයෙත් හමු වේවා
කිරි කැටියාට නුඹෙ ළමැදෙන් කිරිදේවා
එක වහලක් යටදි දුක සැප දෙක ගාවා
නුඹ හා පෙමින් ඉන්නට මට හැකි වේවා


Thursday, 28 April 2011

දිගු කල් දිනේවා දියණියේ............

පායන සඳට
බැහැ නොවැ උපමා දෙන්න....
සුරතල් දියණියේ
මුව හසරැළි ලන්න...........
අරුණළු සමඟ
නව ලෝකය දැක ගන්න‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍...........
දිගු කල් දිනේවා
දිවි මඟ ජය ගන්න............

Monday, 21 March 2011

මට බැන බැන ගිය හැම එකාම බෙල්ලෙන් ඇදගෙන මම යනවා.....

හදතුළ තෙරපෙන දහසක් සිතුවිලි
බැහැ නොවැ පත් ඉරුවට ගන්ට..............

මනාපයට පොරකන විට
මිතුරාවුව බැහැ ඉවසන්ට................

මිතුරා පස මිතුරා කර
ගෙයින් ගෙයට පිය මැන යන්ට..............

වෙන්කළ කාලය අවසන්වී ඇත
ඒක මදැයි මට සැනසෙන්ට...........

කලක් ළඟින් දුකට සැප‍ට
එකට හිටිය මගේ මිතුරා.............

මගේ දුරුවලතැන් හොඳින් දන්නවා
කණින් කණට ඌ යයි කොඳුරා...........

මගේ වටේ තිබු සියළු මනාපත්
ඒකෙන් අරගත්තේ උදුරා............

කරන්න මට කිසිම දෙයක් නෑ
ඌ පර මක්කන් වඳුරා....................

පන්සල පල්ලිය කෝවිල් හැමතැන
වැඳගෙන මම පැතුමන් පැතුවා.............

මොනවා කිව්වද මම නම් දන්නෑ
එනමුත් මම වැඳගෙන හිතුවා..............

මේ එන ඡන්දෙදි මනාප ලැබුනොත්
ඉහලින් මම එය සමරනවා.................

මට බැන බැන ගිය හැම එකාම
බෙල්ලෙන් ඇදගෙන මම යනවා..............

Thursday, 10 March 2011

මම යළි උපදිනවා............

දස වසරක් තුළ
සිත සිරකර නැගි
සෙනෙහස හදතුළ
දළුලනවා.....

මා ගම් පියසට
නුඹ සපැමිණි වග
මගේ මුළු දිවියම
බබලනවා.........

නුඹට දොඩන්නට
දහසක් දේ ඇත
ඒ හැම මා හද
රැව්දෙනවා.........

නුඹෙ දුරකථනයේ
අංකය පැතුවෙමි
එය නොලැබී
මා ලත වෙනවා........

එනමුදු පසුබට
නොවී දිරිය ගමි
මගේ අංකය
නුඹ හට දෙනවා........

නුඹ මගේ අංකය
ගත්තොත් සොදුරියේ
අම්මප මම යළි
උපදිනවා.................

Wednesday, 9 March 2011

මම වෙමි නුඹෙ අප්පච්චී.............

නෙතු කඳුළැලි
ගත දහදිය
රුහිරු සමඟ
එකට අනා
හදෙහි නැගෙන
පිය සෙනහෙස
නුඹ වෙනුවෙන්
වෙන්කෙරුවා..............

සිතිජ ඉමේ
කොතැනක සිට
නුඹ ආවත්
මගෙ උරුමෙට
මම රකිනෙමි
නුඹ පුතුනේ
මගේ නමින්
ලොව නගන්ට.................

නෙතු පියනින්
විවිරවු නෙත
හරවා මාගේ මුහුණට
බලනු මැනවි
බලනු මැනවි
හඳුනනවද
මම පෙර සිට...........

මුව පොඩියෙහි
දෙකෙළවරින්
දත් නැති කට
තොල් විදහා
මදහස පා
සිනහා වෙයන්
මම වෙමි නුඹෙ
අප්පච්චී.....................

Monday, 14 February 2011

සමරමු අපි උතුම් ලෙසින්..........

වසර ගණන් පෙම් කරලා
මුළු ලොවටම හොර රහසේ
නුඹ කැන්දන් ළඟට මගේ
බොහෝ කලක් ගෙවී ගිහින්...........

සැමට හොරෙන් හැංගි හැංගි
බඩ වැටිවල වෙල් එළියේ
නුඹෙ රුව දැක ගත්තෙමි මම
නුඹට ඒව මතක නැද්ද............

දොල පාරෙන් එගොඩ වෙලා
වැව් තාවුල්ලෙන් මතුවී
නුඹ එන විට වැව් බැම්මේ
දුටු අසිරිය මට මතකයි..........

ලිහා දැමු දිගු කෙහෙරැල්
සුළ‍‍‍ඟේසැටි කියා පෑවා
සාරි පොටට සුළඟ හැමුවෙ
නුඹෙ ලස්සන වැඩි වෙන්නයි..........

අපි දෙන්නා එකතුවෙලා
ගොඩ නැගු ලෝකය අරුමැයි
දරු පැටවුන් අපේ ලොවට
ගෙනෙන්නේ සුන්දර දසුනයි.........

එදා වගේ මේ හැම දේ
අද වාගේ මට මතකයි
මට වාගෙම නුඹේ සිතෙත්
මතකද සොඳුරුම සැමරුම්..........

විවාහයට පෙර අය හට
සමරන්නට එක දිනයක්
වෙන්කරලා තියෙන නමුත්
සිතූ ලෙසින් සමරන්නට...............

අවුරුද්දේ අනෙක් දවස්
සියල්ල අපි සමරන්නෙද
විවාහයේ උතුම් බැඳුම
සමරමු අපි උතුම් ලෙසින්.............