Tuesday 27 April 2010

අම්මා.....(කෙටි කතාව)

“ඒ ගමන නම් කොල්ලට ටිකක් නින්ද ගිහිං වගේ...
කොච්චර වෙලාවකට පස්සෙ ද මෙහෙමවත් නින්දක් ගියේ....
ඔහේ ටිකක් නිදා ගත්තාවේ......
ඇහැරුණාම කොත්තමල්ලි ටිකක් වත් තම්බල දෙන්න ඕනි....”
එසේ සිතමින් කුස්සියට ගිය සිරියාවතී මැටි මුට්ටියක් ගෙන වතුර කළෙන් වතුර ටිකක් මුට්ටියකට දමා හොඳින් සෝදන්නට වූවාය. හනි හනික දුම් මැස්සේ එල්ලා තිබූ පන් මල්ල ඇවිස්සූ ඇය ඒ තුළින් කොත්තමල්ලි දමා තිබූ කවරයක් ගෙන ඉන් කොටසක් කොරහට දමා හොඳින් සේදුවාය. නැවතත් මිදුලට දිව ගිය ඈ මිදුල අයිනේ සිටුවා තිබූ ඉඟුරු පඳුරින් අල කැබලි කිහිපයක් ගලවා ගෙනැවිත් එයද හොඳින් සෝදා මිරිස් ගල උඩින් තබා තැලුවාය. ඒ සමඟම සුදු ලූණු බික් කිහිපයක්ද ඊට එක්කළ ඈ ඒ සියල්ලම සෝදාගත් මැටි මුට්ටියට දමා වතුර කෝප්ප කිහිපයකුත් වත්කර පසෙකින් තැබුවාය.

ලිප ළඟට හිරමණය ඇදගෙන ඒ මත වාඩි වූ ඇය දර කැබලි කිහිපය එහාට මෙහාට කර අළු අවුස්සා ලිපේ ගිණි අඟුරු ඇත්දැයි බැලුවාය. ඒ වන විට ලිපෙහි ගින්දර නිවී ගොසින්ය. වෙනදා ගිණි පෙට්ටිය තබන තැනට අත පෙවූ ඇයට එවෙලේ එය එතැන නැති බව දැනුණාය.

“ම් හු එතන නෑ.....
ආ... බුදු පහණ ළඟට ගෙනිච්චනෙ...”

තමා බුදු පහණ දැල්වීම පිණිස කුස්සියේ තිබූ ගිණි පෙට්ටිය ගෙන ගිය බව මතක්වීමෙන් පසු ඇය එතැනට දිවගොස් ගිණි පෙට්ටිය ආපසු ගෙනාවාය. පුංචි පුතා අසනීප වී නොසිටියා නම් මෙවන් වූ සුළු වැඩක් පලක් ඔහු ලවා කර ගත හැකිව තිබුණු නමුත් දරුවා අසනීපවී නිදා සිටි නිසා ඇයටම ගොස් ගිණි පෙට්ටිය ගෙනැවිත් ලිප දල්වන්නට සිදුවූවාය.

ඇඳ සිටි චීත්තයේ එක් පොටක දෑත පිස දැමූ ඈ තමා සකස් කළ කොත්තමල්ලි මුට්ටිය ගෙන ලිප මතින් තැබුවාය. හොඳින් ගින්දර ඇවිලෙන සේ ලිප මෙලවූ ඇය තම ගතට ගිණි රස්නය වදින හෙයින් මදක් ලිප ළඟින් ඈතට වූවාය.

“විනාඩි පහක් වත් යයි....”

හිරමණය බිත්තිය අයිනට ඇදගෙන වාඩිවන ගමන් ඇය සිතුවාය. විටින් විට හැදෙන අසනීපයන් සඳහා වෙද ගෙදරට ගිය වෙලාවල්වලදී වෙද මහතා ලියාදෙන කසාය වට්ටෝරු කිහිපයක් මතකයේ තිබුණ බැවින් සාමාන්‍ය උණකට හෙමිබිරිස්සාවකට වගේ පුංචි ලෙඩක් වැළඳුනු වෙලාවට ගෙදරදී පුංචි අත් බෙහෙතක් සකසා ගැනීමට සිරියාවතීට හැකියාව තිබුණාය. අත මිටෙහි මුදල් හිඟවීමත් බොහෝ බෙහෙත් පැළෑටි තම ගෙවත්තේ හා වටපිටාවේ වැවී තිබීමත් ඊට එකහේතුවක් වූවේය. කෙසේ වුවද ඒ අත් බෙහෙත් වලින් දරුවාටත් තමාටත් බොහෝ විට සුවය සැලසෙන බව ඇය දැන සිටියාය.

ලිපතුළට තවත් දර කැබලි කිහිපයක් එක් කළ ඇය නැවතත් හරි බරි ගැහී තමා වාඩිවී සිටිතැන බිත්තියට හේත්තු වූයේ රාත්‍රී ආහාරය පිසීමටද තව වෙලාව තිබෙන නිසාය. එළිපත්තහෙි වූ බළලා මිදුලෙහි වූ සතකු පසු පස හඹා යාමට කුරුමානම් අල්ලනු දුටු ඇය වහාම බළලා ඉවතට එලවා දැමුවාය. ඒ බළලාට වඩා ඌට ගොදුරුවන අහිංසක සතා වෙනුවෙන් උපන් කරුණාවෙන්ය. තම ගොදුර වැරදුන පසු පරාජිත ගමණින් මිදුල දෙසට ගිය බළලා මිදුල මැද නැවතී අඩ රවුමක් පෙරැලී සිට තම ඇඟපත ලෙවකන්නට වූයේය.

එසේ බිම හිඳගෙන බළලා තමාගේ ඇඟපත පිරිසිදු කර ගන්නා ආකාරය බලා සිටි සිරියාවතීගේ දෙනෙත් ඉබේටම වගේ කුස්සියේ දොරින් ඈත පේන කඳු මුදුන කරා යොමුවූවාය. කඳු මුදුනින් පෙළින් පෙළට මෝදු වන වැහි වළාකුළු දෙස බලා සිටි ඇයට නත්තල් කුණාටු සමය උදාවීමේ පෙර ලකුණු පෙනුනාය. ඒ ගැන සිතමින් සිටි ඇයට දරුවාගේ කෙඳිරිලි හඩක් ඇසුනු නිසා වහා නැගිට යන්ත්‍රයක් මෙන් දරුවා නිදාහුන් තැනට දිව ගියාය.

තමාගේ චීත්තයක් දෙකණ වැසෙන සේ හිස සිට පෙරවාගෙන වකුටුව නිදා සිටින පුංචි පුතුගේ මුහුණෙහි වූ අහිංසකකම දරාගත නොහැකිවූ නිසා ඇය සෙමෙන් පහත්වී මල් පෙත්තක් බඳු වූ ඒ සිනිදු කම්මුල සෙමෙන් සිප ගත්තාය. ඇයට තම මුව ඉවතට ගත නොහැකිවූවාය. මේ අහිංසක දරුවාගේ ගැලවුම්කාරිය තමාය. තමාට මොනයම් හෝ විපත්තියක් සිදුවුවහොත් දරුවාට අත්වියහැකි ඉරණම පිලිබඳ සිහිවූවාය. එසේ සිහිවනවාත් සමඟ ඇගේ ළයමඩලට ඉහිලුම් නැති සංකාවක් ඇතිවූවාය. ඇය තම ළය සැහැල්ලුකර ගැනීමට මෙන් මහමෙර සැලීයන තරමේ සුසුමක් පිටකළාය.

සිරියාවතියි පුංචි දරුපැටියයි මේ නිවසේ පදිංචියට ඇවිත් දැන් අවුරුද්දකට ආසන්නය. හරියටම මීට වසරකට පෙර තම ජීවිතයේ මුහුණ දුන්නාවූ තමන්ට කිසිමදාක අමතකකළ නොහැකි ඒ භයංකර සිද්ධිදාමය ඇයට සිහිපත්වූවාය. මේ පොඩිත්තා දකින දකින වාරයක් පාසා ඇයට එම සිදුවීම සිහිපත්වන්නීය. හරියටම ඒ සිදුවීම් අද ඊයේ සිදුවූ සිදුවීම් වගේය. තමා සමඟ මේ කිරි කැටියත් මරණයේ බිහිසුණු බව අත් විඳ ඇත්තේය. දැනුදු මේ අහිංසකයා පමණක් නොව තමන්ද වරින් වර සිහිනේන් බිය වන බව ඇය දන්නීය. දරුවාගේ නළලට පිටිඅත්ල තැබූ ඇය උණ ගතිය තරමක් දුරට පහව ගොස් ඇති බව වටහා ගත්තාය.

දරුවා නිදාහුන් ඇඳ කොනෙහි හිමින්සීරුවේ වාඩි වූ සිරියාවතී තම දෙකකුල ඇඳ මත දිගහැර බිත්තියට හේත්තුවී ඒ බිහිසුණු අතීත සිද්ධිදාමය එකින් එක සිහිපත් කරන්නට වූවාය.

දෙසැම්බර් මාසයේ නිසා හරිම සීතලයි. උදේ පාන්දරින් නැගිටින්නත් කම්මැලිය. එහෙත් ඇයට දහවල් වනතුරු නිදා සිටීමේ පුරුද්දක්ද කිසිම විටෙක නොවූවාය. උදෑසන නින්දෙන් අවදිවන ඇය තම ගත වැසෙනසේ පෙරවාගෙන සිටි චීත්තය ගෙන දෙවුර වැසෙන සේ දමාගනිමින් ඇඳෙන් නැගිට්ටාය. ගුවන් විදුලි යන්ත්‍රය ළඟට ගොස් එය ක්‍රියාත්මක කර මීටරය එහාටත් මෙහාටත් කරකැවූයේ උදෑසන පිරිත් ශ්‍රවණය කිරීමේ අටියෙන්ය. තමාගේ නිවසට පමණක් ඇසෙන සේ ගුවන් විදුලියේ හඩ සැකසූ පසු කුස්සියට යන ඇය පළමුව වතුර කෝප්පයක් ගෙන කට සොදා දමා අතට වතුර ටිකක් ගෙන මුහුණද සොදා ගන්නීය. ඉන් පසු වතුර උගුරු කිහිපයක් පානය කර කෝප්පය රාක්කයේ තබා ලිප ලඟට ගොස් ලිපෙහි අළු ඉවත් කරන්නීය.

ලිප ගිණි දල්වා කේතලය ඒ මත තැබූ පසු වතුර උතුරනතුරු උදෑසන ආහාරය සඳහා හාල්ටිකක් ගෙන ගරා සොදා මුට්ටියකට දමාගන්නීය. ඒ වන විට කේතලයේ වතුර පදමට රත්වී තිබෙන්නේය. එබැවින් කේතලය බිමට ගෙන බත ලිපෙහි තබන ඇය බත ඉදෙනතුරු තේ කහට කෝප්පයක් වත්කරගෙන බීමට පුරුදුව සිටින්නීය. නිදහසේ තේ උගුරු කිහිපයක් පානය කරන ඈ තමාට එවෙලෙට සිතුනු එළවළුවක් පිළියෙල කරගන්නීය.

“එළවළුනං හොඳටම ඉවරයි වගේ....
මිරිසුත් නෑ..... යන්තං හොද්දකට සෑහෙයි වගේ....
අදවත් කඩවල් අරියිද දන්නෙනෑ....
බැරිඋනොත් කමල අක්කගෙන්වත් ඉල්ලගන්නෝනැ....
ගෙනාපුවහම දෙන්න බැරියැයි.....“

නත්තල් නිවාඩුවට කඩවල් වැසූ පසු තවම විවෘත කර නැත්තේය. ඒ නිසා ඇය ගෙදරට ගෙනෙන ලද අඩුම කුඩුම අහවරවෙමින් තිබුණේය. කල්පනා සාගරයේ ගිලෙමින් තම එළවළු වට්ටියේ ඉතිරිව තිබුණු එළවළුව සකසා ලිපෙහි තැබූ ඇය බිම් කළුවර පහව ගොස් ඇති බැවින් නිවී ගිය අඟුරු කැබැල්ලක් ගෙන කටෙහි දමාගත්තාය. අඟුරු කැබැල්ල හොඳින් විකූ පසු දකුණතේ දබරැඟිල්ලෙන් දත් මදිමින් වමතින් කළයද රැගෙන නිවස අසල වූ ලිඳට පියමංකළාය.

“සිරියාවතී නංගියේ............
සිරියාවතී නංගියේ........
සිරියෝ උඹ කොහේද බං.......
සිරියාවතී...... සිරියාවතී.......”

තමාගේ නම කියමින් කිසිවෙක් තම ගෙමිදුලේ සිට කථාකරනු ඇසුණු සිරියාවතී මුහුණ සේදීම මදකට නතරකර හිස ඔසොවා තම ගෙමිදුල දෙස බැලුවාය. ඒ සමගම තම නිවසට පැමැණි අමුත්තා වෙන කිසිවකු නොව තම අසල්වැසි කමලාවතී බව හැඳිනගත්තාය.

“කමලක්කේ මම මෙහේ.......
ආ.... නංගියේ උඹ ඔහේ ද?
මං ඒත් බැලුවා දොර ජනෙල් ඔක්කොම ඇරල දාලා
කොහේ ගිහිං ද කියලා...
එළවළුවක් ලිපේ තියෙනවා...
ඒක තැමිබෙනකං මම මුණ හෝදගෙන
වතුර කලයක් ගෙනියන්න ආවා.
ඒක මිසක්...
හා..... යං.....යං.... ගෙදරට ගිහිං කතා කරන්න බැරියෑ.
නෑ..... දැං ගෙට යන්න වෙලාවක් නෑ....
මාත් බත ලිපේ තියලයි ආවේ...
ඇයි අක්කෙ අඩු පාඩුවක් වත් ගෙනියන්නද?
නෑ බං එහෙම එහෙකට නෙවෙයි....
නත්තල් නිවාඩු හිංද මොකුත් ගන්න විදිහක් තිබුණයැ....
ගේ හරියේ උයන්න මෙලෝ දෙයක් නෑ.
ඔව් අක්කෙ මටත් එහෙමයි....
අද වත් කඩවල් අරියි ද දන්නෙනෑ නේද?
ඇයි බං අද පොළ තියනවලු.....
මං මේ ඒක කියන්න ආවේ....
ඇත්තටමද?
මං මොකටද උඹට බොරු කියන්නෙ...
උඹ එනවද නංගියේ...
ඊයේ නත්තල් හිංද හරියටම අද පොළ තියනවද දන්නෙනෑ....
ඊටමත් අද පෝයනේ...
පෝය උනාට මේ දවස් ටිකේම කඩවල් වහලනේ....
ඒ හිංද අද පොළ තියනව කියලා බංඩියයි විමලෙයි දෙන්නත් උදෙන්ම ගියේ පොලට යනව කියල.....
අනේ එහෙනං කොච්චර හොඳද?
අක්කත් පොළේ යනවද?
ඔව් බං.. යමං.... යමං.....
මමත් මේ තකහනියක්ම දුවගෙන ආවේ උඹටත් පණිවිඩේ කියල
මොනවහරි ගේන්න යන්න....
මං එහෙනං බත් ඩිංගක් කාල සුටුස්ගාල එන්නං කමලක්කේ....
හරි හරි මමත් ලෑස්තිවෙලා ඉන්නං..
ටිකක් උදෙන් ගිය තරමට හොඳයි....
ඔව්...ඔව් අවුව සැරවෙන්න කලින් එන්න පුළුවං......”

කියාගෙනම කමලාවති ඇගේ නිවෙස දෙසට ගමන් කරන්නට සැරසුණාය. ඇය යාමට සැරසෙනු දුටු සිරියාවතී,

“අක්කෙ තේ ටිකක් බීල යමුකො........” යි කීවාය.
“අනේ බෑ නංගියේ බත ලිපේ තියල ආවේ.....” යැයි කියමින් වහ වහා තම නිවෙස දෙසට දිව ගියාය. ඇය නොපෙනී ගිය පසු ගෙතුළට ගිය සිරියාවතී මැටි කොප්පය ගෙන සෝදා ඊට බත් ටිකක් බෙදාගෙන ඉක්මණට ඉක්මණට ගිල දැමුවාය. බත් කා අවසන්කළ ඇය කළෙන් වතුර ටිකක් මැටි කෝප්පයටම වත්කරගෙන පානය කරන්නට වූවාය. ඉතිරි බත් සහිත මුට්ටිය ලිප මතින් තබා මැටිකොප්පය ඒ මතින් තැබූ ඇය කුස්සියේ ජනේලය වසා එහි කොක්ක දැමුවාය. ඉන් පසු පෑල දොර වසා ඊට අලවංගුව රිකිල්ලුවාය. වංගෙඩියද අලවංගුවට හේත්තුකර කාමරයට ගොස් පොළට යාම සඳහා සූදානම්වූවාය. තම පන්මල්ලද අතටගත් ඇය තමා සන්තක වූ මුදල් පසුම්බිය තමා හැඳසිටි හැට්ටයතුළට රුවාගත්තාය. ගුවන් විදුලිය ක්‍රියා විරහිත කළ සිරියාවතී ඉදිරිපස දොර වසා අගුළු ලා කිසිවෙකු පෙනෙනතෙක්මානයේ සිටී දැයි වට පිට බලා පහත්වී අසල වූ මල් පෝච්චිය යටින් දොරෙහි යතුර තැබුවාය. ඉන් පසු නැගී සිටි සිරියාවතී කමලාවතීගේ නිවෙස දෙසට ඇති ගුරු පාර දිගේ සුහුසුළුව ගමන් ගත්තාය. කමලාවතීගේ නිවෙස අසලට පැමිණි ඇයට එහි දොර වසා ඇති බව පෙණුනාය.

“කමලක්කේ...... කමලක්කේ......
ආ..... නංගියේ උඹ ආවද?.. මම මේ යතුර තියල එන්න ගියා...
මම පරක්කු උනාද අක්කෙ....
නෑ....නෑ..... මමත් මේ දැනුයි ලෑස්තිවෙලා එළියට බැස්සේ...
කෝ... නංගියේ බෑග් එකක් ගත්තද.....
ඔව්....ඔව්..... අක්කෙ මේ තියෙන්නෙ.
එහෙනං යමු නේද?.
හා...යං එහෙනං....”

දෙදෙනාම පොළ දෙසට ඇවිද යන්නට පිටත් වූවෝය. දෙපස වූ ඉඩම්වල මායිම් වෙන් කරනු පිණිස ඉදිකර ඇති වැට මායිමේ ගස්වලින් සෙවන වූ මාවත දිගේ ඔවුන් ගමන් කලෝය. මොවුන්ගේ ගමන් අසිරිය බලන්නටදෝ හිරු කුමරු වරින් වර ගස් අතරින් එබිකම් කරන්නටවූයේය. ගුරු පාර පසුකරමින් තාර පාරට පිවිසි යෙහෙළියෝ දෙදෙනා නගරය දෙසට ගමන් කළෝය. විනාඩි විස්සක පමණ ගමණකින් පසු මේ දෙදෙනා පොළසීමාවට පිවිසුනෝය.

හම්බන්තොට පොළ පිහිටා තිබුනේ බස් නැවතුම්පලට තරමක් ඈතින්ය. ඒ ලුණු ලේවාය දෙසට දිවෙන මාර්ගයට යාබදවය. මාර්ගයත් මුහුදු වෙරළත් අතර මීටර් දෙසීයක පමණවූ වපසරියක් සහිත බිම්කඩක පොල පිහිටා තිබූ නමුත් මාර්ගය ආසන්නයේ ජනයා බහුලව ගැවසෙන නිසා බොහෝ වෙළෙන්දෝ මාර්ගයට ආසන්නයේ තම වෙළඳාම් කටයුතු කිරීමට වැඩි උනන්දුවක් දක්වන්නටවූවෝය. පොළට අනෙක් පසින් වූ භූමිය තුළ වූයේ මුස්ලිම් ගම්මානයක්ය. මුස්ලිම් පල්ලියකුත් එම ගම්මානය මැද පිහිටා තිබුණේය. ඒ අතරින් පතර සිංහල නිවාසයන්ද තිබුනේය. බෞද්ධ ජනයා වෙනුවෙන් ඉදි වූ බුද්ධ ප්‍රතිමා මෙන්ම විහාරස්ථානද තිබුණේය. එහි වැසි සියළුම ජන වාර්ගිකයෝ සාමයෙන් සමගියෙන් වාසය කළෝය.

“හප්පේ...... සෙනඟ ගොඩ නේද නංගියේ.....
ඇත්තටම අක්කේ.... හරියට සෙනඟනේ.....
ඇයි බං.... මේ දවස් ටිකේම කඩවල් වහලනේ තිබුණේ නේද?.....
ඔව් අක්කෙ අපිට වගේ නැතෑ.... නේද?.....
එළවළු ලාබද දන්නෙනෑ...
අක්කෙ මම මේ හරියෙන් ටිකක් බලන්නං...
හා නංගියේ.... මම ටිකක් අර පැත්තට යනවා...”

සිරියාවති වෙළෙන්දෙක් ළඟ නැවතී එළවළු තෝරන අතර කමලාවතී ද තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිළදීගැනීමට පොළ තුළට ගියාය. සිරියාවතී ආවට ගියාට බඩු මිළ දී ගන්නියක් නොවන්නීය. එළවළුවක් ගත්තද ඒවා එකින් එකට තෝරන්නීය. පොල් ගෙඩියක් ගත්තද එය හොඳින් සොලවා බලන්නීය. වෙළෙන්දාට අවශ්‍යදේ නොව ඇය තමන්ට අවශ්‍යදේ පමණක් තරාදියට දමාගන්නීය. ඇගේ මේ ස්වභාවය දන්නා වෙළෙන්දෝද ඇයට රිසි පරිදි එළවළු තෝරා ගැනීමට ඉඩ හරින්නෝය.අඩු පාඩුවක් තරාදියට දමන්නට සිදුවූ විට එම වෙළෙන්දෝ තම අතට හසුවූ එකක් නොව හොඳම එකක් ඊට එක් කරන්නෝය. සිරියාවතියගේ නම මෙන්ම හදවතද සිරියාවන්තය. ඇය කිසිවකුට කිසි විටෙක සිත රිදෙන අයුරින් කතා නොකළාය. ඒ නිසා ඇගේ මුහුණ බලන ඕනෑම කෙනෙකුට, ඇයට දොස් නැගීමට නොසිතෙන්නේය. ඒ වෙනුවට සියුම් ගෞරවයක් බඳු ළගන්නා බවක් පැහැදීමක් ඇතිවන්නේය. ඇගේ මුවඟ නිබඳවම රැඳී ඇති සුන්දර සිනහවද ඊට හේතුවක් වන්නේය. ඒ් අව්‍යාජ සිනහව දකින කෙනෙකු නිතැතින්ම ඇයට අවනත වන්නේය.

ඊළඟ පොළ දිනය එළැඹෙනතෙක් ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිළ දී ගැනීමෙන් පසු සිරියාවතී තමන්ට මිළදීගැනීමට අමතකවූ යමක් ඇත්දැයි හොඳින් කල්පනා කළාය. එසේ කල්පනාකර තමන්ට ගත යුතු සියළු දේ ගත් බවට ඇය තහවුරුකර ගත්තාය. සිරියාවතීගේ මේ පුරුද්ද නිසා ඇය සතු මුදල් නිකරුනේ නාස්ති නොවුනා සේම ගන්නා ලද ද්‍රව්‍යන් ද නරක් නොවී කල් තබාගත හැකි වූවාය. ඉතා දුක් මහන්සියෙන් හරි හම්බකරනු ලැබූ මුදලින් අවශ්‍යම හොඳම දේ පමණක් මිළට ගැනිමට ඇය ඉගෙන ගෙන තිබුණාය. එය පොතින් පතින් නොව සහජ බුද්ධියෙන් හා අත්දැකීමෙන් ලත් පන්නරයක්වූයේය. ඇගේ මේ පිළිවෙත නිසා අහල පහල උදවියට ණය නොවී රටට ණය නොවී ජීවත්වීමට හැකි වූවාය. තමන්ට වගා කළ හැකි බොහොමයක් එළවළු ඇය ගෙවත්තේ සිටුවාගෙන තිබුණු නිසා පොළෙන් මිළට ගැනිමට අවශ්‍ය වූයේ ඊට අයත් නොවූ දේ පමණක්ය. සිරියාවතී මෙන් කමලාවතී එළවළු තෝරන්නට නොදත්තාය. වෙළෙන්දා තරාදියට දමා කිරා දෙන දේවල් ඒ අයුරින්ම තම බෑගයට රුවා ගැනීම ඇගේ සිරිතයි. ඒ නිසා ගෙනයන ලද එළවළු බොහොමයක් කල් තබාගැනීමට නොහැකිවූයේය. ඒ නිසා ඇය කම මුදල් නිකරුනේ නාස්ති කරගත්තාය.

තමාට අවශ්‍ය බඩු මිළදී ගත් සිරියාවතී ඉතිරි මුදල් තම පසුම්බියේ දමා තමා හැඳසිටි හැට්ටය තුළට නැවතත් දමාගත්තාය. එය ඇය පුරුද්දට මෙන් කරන්නක්වූවාය. ඉන් පසු තමා සමඟ පොළට පැමිණි තම හිතවතිය මෙන්ම අසල්වැසියා වූ කමලාවතී කොහේ ඇත්දැයි සොයන්නට වූවාය. තමාගේ බඩු බෑගයද රැගෙන පොළ වටේ යන ඇයට පොළ පටංගන්නා තැනම කමලාවති සිටිනු දක්නට ලැබුණාය.

“කමලක්කේ... තාම බඩු ගන්නවද?...
අනේ ඔව් නංගියේ තාම ගන්නවා බං.... කෝ උඹ අරං ඉවරද?...
මටනං වෙන ගන්න දෙයක් නෑ...
ඇයි බං නංගියේ අර හැමෝම වෙරළ පැත්තට දුවන්නෙ...
ඇත්තමයි... අර අර අරගොල්ලත් යන්නේ....අපිත් යමුද?....
අනේ සිරියෝ මට තව රෙදි කෑලි දෙකක් ගන්න තියෙනවා....
අර තියෙන්නෙ රෙදි කඩයක්.....
ඒකට ගිහිං ඒකත් අරගෙනම යමු......
පරක්කු වෙන්නෙ නෑ.... අනේ නංගියෙ වරෙන්....කෝ....
හා..... හා....... යං.... යං....”

සිරියාවතීත් කමලාවතීත් කඩයට ගොඩවූවෝය. එම කඩයෙහි එතරම් සෙනඟ නොවූයේ සියල්ලෝම වෙරළට දිවගිය නිසාය.

“ඇයි මුදලාලි කට්ටිය වෙරළට දිව්වේ....” යැයි කමලාවතී මුදලාලිගෙන් අසනු සිරියාවතීට ඇසුනාය. ඊට මුදලාලි දුන් පිළිතුර කුමක්දැයි සිරියාවතීට නොඇසුනේ ඇය බෑග් දෙක කඩ පිලෙහි තබාගෙන කඩයේ දොර අසල නතර වූ නිසාය. පුංචි පූස් පැටියෙක් තම ඔඩොක්කුවෙහි තබාගෙන සුරතල් කරමින් සිටි පුංචි හුරුබුහුටි දරුවා දෙස සිරියාවති බලාහුන්නාය. ඔහුගේ වයස අවුරුදු එකහමාරක් පමණ ඇතියැයි ඇය අනුමාන කළාය. තමාගේ මුහුණ දෙස බලා සිටින සිරියාවතී දුටු දරුවාද බළල් පැටවා සුරතල් කරන අතරම ඇයගේ මුහුණ දෙස බලන්නට වූයේය. සිරියාවතී දරුවා සමඟ සිනාසුනාය. දරුවාගේ මුවඟටද සිනහවක සේයාවක් නැගුණේය. ඔහු මුව සම්පූර්ණයෙන් විවර නොකළද දෙනෙත් පුරවා සිනහවුනේය. මේ අහිංසක දරුපැටියාගේ ලෝකය කෙතරම් අහිංසකද? තමා සිටින අවට සිටි සියල්ලෝම මුහුද දෙසට දිව ගොසින්ය. එකිනෙකාගේ උස් වූ කටහඩ ඒ දෙසින් ඇසේන්නේය. වෙනදා මහත් ඝොෂාවෙන්යුතු රළ හඩ වෙරළ දෙසින් මෙවෙලේ නොඇසුනාය. මුහුදෙන් අමුතු දෙයක් වෙරළට ගසාගෙන ඇවිත් විය හැකියැයි ඇය සිතුවාය. සමහර වෙලාවල්වලට මුහුදේදී අනතුරුවලට පත්වන නැව් වලින් වැටෙන භාණ්ඩ ගොඩබිම්වලට ගසාගෙන ඇවිත් තිබුණුහැටි ඇය සිහිකළාය. ඇයට ද වෙරළ දෙසට යාමට අවැසිවූවාය. කමලාවති රෙදි තේරීමට කඩයට නොගියේ නම් තමා මෙලහකටත් වෙරළට දිවගොසින් සැවොම විඳින අසිරිය විඳිගන්නීය.

“කමලක්කා ආපු හැටියෙම වෙරළට යන්න ඕනි.... ” යි සිතමින් ඇය කමලාවතී රෙදි තෝරමින් සිටි කඩයතුළට කර පොවා බැලුවාය.

“තාම රෙදි තෝරනවා දැන්ම එන එකක් නෑ වගේ...... ”

ඇය තමන්ටම කියා ගනිමින් පොල් ගසින් හෙවනවූ වෙරළ තීරයට නෙත් හෙලුවාය. එහි සිටි සියල්ලෝම වෙරළ අසලටවී මුහුද දෙස බලා සිටිනු ඇය ඈත සිට බලා සිටියාය. වෙරළ දෙසින් නෙත් මෑත්කළ ඇය නැවත දරුවා දෙස නෙත් හෙලුවාය. ඒ වන විටත් දරුවා ඇය දෙසම බලාගෙන සිටියේය. ඒ අහිංසක දෑසේ කාන්තියට ඇය වසඟවූවාය. ඇය මුළු මුහුණින්ම සිනාසෙමින් දරුවා සමඟ දොඩමළුවූවාය. ඇගේ වදන් එකකුදු මේ දරු පැටියාට නොතේරුණේය. එනමුදු දරුවා සිනාසුනේය. ඔහු ඔහුට ආවේණික බසින් වෙන වෙන හුරතල් බස් තෙපලන්නට වූවේය. දරුවාගේ මුවගින් ගිලිහුණු වදන් නොතේරුණද ඇය දරුවාට ළං වූවාය. දරුවා තමන්ට ලෙංගතුබව ඇය වටහාගත්තාය. ඒ සමඟම ඇයට දරුවා වඩා ගැනීමටමද සිතුණාය. ඒහෙත් එකෙනෙහිම ඇගේ සිතේ චකිතයක්ද මතුවූවාය. තමාටත් මෙවන් දරුවෙක් සිටියා නම් කෙතරම් හොඳදැයි ඇය කල්පනා කළාය. තම ආදරණිය ස්වාමිපුරුෂයාත් තම ආදරණීය දෙමාපියනුත් අනපේක්ෂිත රිය අනතුරින් මිය නොයන්නට තමාටද මෙවන් දරුවෙකුගේ සුරතල් බැලීමට හැකියාව තිබුණු බව ඇය තම සිතෙහි නැගි ශෝකය යටපත්කරමින් සිහිපත් කළාය. ඒ අවාසනාවන්ත ඛේදවාචකයෙන් තමා පමණක් මෙලොව තනිකර අනෙක් සියළු දෙනාම, තමාත් මේ ලෝකයත් අතහැර ගියෝය. ඉන් පසු බොහෝ පිරිමින් තමාගේ අත පතා පැමිණියත් ඒ සඳහා ඇගේ සිත කිසිදු අවස්ථාවක නොපෙළඹුණාය. තම ආදරණීය ස්වාමියා වෙනුවෙන් හද සංතානයේ ඉපැදුණු ඒ නිකැළැල් ආදරය ඒ අයුරින් වෙනත් පිරිමියෙකුට පුදකිරීමට ඇයට නොහැකි වූවාය. තම හදවත ළංවූයේ ඔහුට පමණක් බැවින් ඇය මේ වන විටත් තම සිත හදාගෙන ඔහු වෙනුවෙන් තනිව ජීවත්වීමට අදිටන්කරගෙන සිටින්නීය.
පුංචි දරුවා අත සිටි බළල් පැටවා කලබලවී දඟලන්නටවූවේය. ඌ දරුවාගේ අතින් බිමට පැනීමට උත්සාහ කළේය. දරුවාද බළලාව තදින් අල්ලාගැනීමට වෙර දරන්නේ තව මොහොතක් හෝ බළල් පැටවා තමාගේ උකුලේ තබා ගැනීමේ ආශාවෙන්ය. බළලාගේ කලබලය වැඩිවූවේය. ඌ දරුවාගේ අත සපා පහුරු ගා පැන දිව්වේය. බළලාගේ පහුරුගෑම නිසා ඌ අතහැරිය දරුවා ඌ දිවයන අයුරු නොබලාම හඩන්නටවූයේය. මේ දෙස බලාසිටි සිරියාවතියට ඉවසුම් නැතිවූවාය.

“ඒ නපුරු බළලා
මේ පුංචි දරුවාගේ අත පහුරුගාපු හැටි.....
කෝ... පුතේ කෝ බලන්න.....” කියමින් ඇය වහා පැන දරුවාගේ අත ගෙන බැලුවාය. දරුවාගේ අතෙහි සීරීම් තුවාල කිහිපයක් වූවේය. ඉදුණු ගස්ලබු ගෙඩියක පැහැයවූ ඒ බිළිඳු අතෙහි හම රෝස පැහැගැන්වී ඒ මැදින් රතු රුධිරය මතුවෙමින් තිබුණේය. ඇය වටපිට බලා කඩ මිදුලේ කොනක තිබුණු බෙහෙත් පැළෑටියකින් කොළ කිහිපයක් කඩාගෙනැවිත් සිය අත්ලමත තබා පොඩිකර එම දියර දරුවාගේ සීරීම් තුවාල මත වැත්කෙරුවාය. කඳුළු පිරුණු දෙනෙතින්, ඉකිබිඳුම් අතරින් දරුවා සිරියාවතීගේ මුහුණ දෙස බැලුවේය. මොහොතකට සිව්නෙත් එකට පැටලුණේය. වදනින් නොපැවසූ බොහෝ දේ දෙනෙතින් හා ඉරියව්වලින් දෙහදවත්තුළට දැනුණේය. ඒ අසරණ අහිංසක මුහුණ දෙස ඇයට තවත් බලා සිටීමට නොහැකිවූවාය.

දෙවරක් නොසිතූ ඇය එවර දරුවා ඔසොවා තම ළැමට තුරුල්කර ගත්තාය. නොදැනුවත්වම දරුවාගේ මුහුණ සිපගත් ඇය දරුවා සනසන්නට වූවාය. මුස්ලිම් ජාතික දරුවෙක් වූ මේ පුංචි දරුවා තම මෑණියන්ගේ උණුසුමෙහිත් මේ සිංහල කාන්තාවගේ උණුසුමෙහිත් වෙනසක් නොදැක්කේය. ඔහු එක් අතක් ඇගේ ගෙලවටා දමා ගත්තේය. කලක පටන් තමා හා මිතුරුවී තමාව පෙර සිට නැළවූ හුරු පුරුදු සෙනෙහසක් සේ දරුවා කල්පනා කළේය. දරුවාගේ හැඩීම නතර කිරීමට ඇයට හැකි වූවාය. ඒහෙත් මේ පුංචි පැටියා බිම තැබීමට නොහැකි වන පරිදි ඇයට කොහේදෝ නැති ලෝබකමක් ඇතිවුණාය. කමලාවති තවමත් රෙදි තෝරනු පෙනෙන්නීය. ඇය රෙදි තේරීමට බොහෝ වෙලාවක් ගන්නීය. රෙදිවල ඇති ඉතා පුංචි නූල් කැටිගැසීමක් පවා ඇය දකින්නීය. ඒ නිසා ඇය එන තෙක් මේ දරුවා සුරතල්කළ හැකිය. ගෙදර ගොස් තේ බීමට සිතා මිළදීගත් පැණි බූන්දි කවරය අතට ගත් ඇය ඉන් එක එක ගෙන දරුවාට කවන්නට වූවාය. තවම හරියට දත් මතු නොවූ මුව පොඩිය උල් කරමින් එකින් එක රස කර කර ගිල දමන දරු පැටියාගේ මුවපොඩිය දෙස ඇය ආදරයෙන් බලා සිටියාය. තම කුසෙහි නොදැරුවද තමාගේම දරුවෙකු කෙරෙහි මෙන් අපරිමිත සෙනෙහසක් ඇගේ හදවතේ මේ දරු පැටියා කෙරෙහි ඇතිවූවාය. මව් සෙනෙහසට සමානවු මේ කාන්තාවගේ සෙනෙහස හමුවේ ඇගේ අතෙහි හිඳ එකින් එක පැණි බූන්දි රස බැලීමට දරුවාද අකමැති නොවූවේය. ඔහුට ඇගේ අතින් බිමට බැසීමට සිතක් නොවූවේය. පුංචි මල් වැනි සිත් වචනයෙන් නොකීවාට සැබෑ සෙනෙහස ආදරය හඳුනන්නේය. ජාති භේද හෝ කුලභේද හෝ එතැන නොතිබුණේය.

මෙතෙක් වේලා වෙරළ දෙසින් ඇසුණු සාමාන්‍ය හඩ යටපත් කරමින් මහා විලාප හඩක් මතුවුණේය. ඒ විලාප හඩින් ගැස්සුනු ඇය න්ෂණිකවම වෙරළ දෙස බැලුවාය. ඒ මොහොතේ ඇගේ හදවත තත්පරයකට නතරවූවාය. ඉහළට ඇදගත් හුස්ම පහළට හෙලීමට අමතකවූවාය. ඇගේ මුවද විවරවූවාය. දෙනෙත් විසල්වූවාය.

“මෙය නම් සිහිනයකි....”

ඇයට තම දෙනෙත අදහාගැනීමට නොහැකිවූවාය. මහ මුහුද ගොඩට ගලනු පෙනෙන්නේය. තමා පැසල් යන අවදියේදී කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ රාජ්‍ය පාලන කාලයේ මුහුද ගොඩ ගැලූ බව පොත පතෙහි කියවා තිබුණද එය ගොතන ලද කතාවකැයි ද මුහුද ගොඩ ගැලීමක් සිදු නොවන්නක් බවද සිතා සිටියාය. එනමුදු මේ මොහොතේ තම දෑස ඉදිරිපිටට මුහුද ගොඩට ගලාගෙන එනු පෙනෙන්නේය. වෙරළෙහි වුවද ගොඩ බිම දෙසට වන්නට සිටි පිරිස් තමන්ට හැකි වේගයෙන් ආපසු ගොඩ බිම දෙසට මර ළතෝනි දෙමින් දිව එනු පෙනෙන්නේය. ඒ එන පිරිස, ගෙවල් දොරවල් ගස් වැල් හා හසුවන සෑම දෙයම යටකරමින් විනාශ කරමින් මුහුදු රළද නැගී එනු පෙනෙන්නේය. සිත සිතා සිටීමට කාලයක් නැත්තේය. තම පණ නළ රැක ගැනීමට නම් හැකි උපරිම වේගයෙන් උස් ස්ථානයක් සොයා ගමන්කළ යුතුමය. පමාව පසුතැවිල්ලට හේතුවක් බව බුදුරදුන්ද දේශනා කර ඇත්තේය. වෙරළේ සිට දිව එන පිරිස තමා සිටින තැන සිට මීටර් එකසිය පනහක පමණ දුරකින් වන්නේය. තත්පරයෙන් තත්පරය ඒ දුර ප්‍රමාණය අඩුවන්නේය. ඒ එන පිරිස පසුපස මුහුදු රැල්ලද වේගයෙන් හඹා එන්නේය. දිවගත නොහැකි අයගේ විලාපය ඇගේ දෙසවනෙහි ගැටී නැතිවී යන්නේය. රැල්ලෙන් නැගෙන හඩ ගස්වැල් ගොඩනැගිලි කඩා වැටෙන හඩ සමග මිනිසුන්ගේ විලාප හඩ මුසුවූ එකම ගෝෂාවක් මතුවී මුළු පළාතම දෙදරවමින් ගිගුම් දෙන්නේය.

තම දෑස් ඉදිරියේ රැල්ලට යට වූවන්ට කුමක් වන්නේද? තව මොහොතක් පමා වූවහොත් තමාත් තමා අත ඇති මේ දරු පැටියාත් ඒ ගොඩටම වැටෙනු ඇත්තේය. හය හතර නොතේරෙන දරුවා මේ සැඩ පහර ඉදිරියේ බිම තැබීම දිය රකුසාට බිලි දීමක් වන්නේය. හදවතක් ඇති අයෙකුට මෙවන් වූ ජල කඳක් අභියස අතැති දරුපැටියෙක් තනිකරදමා පළායාම කළ හැකි දෙයක් නොවන්නේය. විශාල ගොඩ නැගිලි, ගස්කොළන් බිමට සමතලාවනු පෙනෙන්නේය. දරුවාගේ පියා හෝ මව හෝ භාරකරුවෙක් හෝ සොය සොයා සිටීමට වෙලාවකුත් නැත්තේය. තමා යටකරගෙන රළ පහර ගමන්කරන්නා සේ ඇයට දැනුණාය. මරණයේ ඒ භයංකර වේදනාව ඇයට දැනෙන්නට වූවාය. ඒ තම ජීවිතයේ දෙවන වතාවටය. රැල්ල වේගයෙන් ගසාගෙන එන්නේය. ඊට පෙර උස් තැනකට දිවයා යුතුය. නැත්නම් දළ රළ පහරට යටවී මිය යනු නොඅනුමානය. එසේවුවහොත් දරු පැටියාද මිය යන්නේය. තමාද මිය යන්නේය.

“බුදු අම්මෝ...... අයියෝ......
අපිව බේරගන්නෝ..........”

ඇගේ මුවින් පිටවූ ඒ වේදනාත්මක හඩට බියවූ දරුවාද හඩන්නටවූයේය. ඒ පිළිබඳ සිතීමට පවා ඇයට වේලාවක් නොතිබුණේය. තමා නොදැනිම තම දෙපාවලට මෙතරම් හයියක් ලැබුනේ කෙසේදැයි ඇය නොදත්තාය. පොළ සීමාවෙන් මාර්ගයට පිවිසි ඇයට කච්චේරිය සහිත භූමියට යාගත හැකි නම් ජීවිතය බේරාගැනීමට හැකි බව සිතුණාය. ඊට වඩා උස් භූමියක් ඒ ප්‍රදේශයේ නොතිබෙන බව ඇය දුවන අතරම කල්පනාකළාය. ඇය වහ වහා එදෙසට දිව ගියාය. වෙහෙස මහන්සිය කිසිවක් ඇයට නොදැනුණාය. දිවයන අතරතුරදී දරුවාද වැටෙතැයි බියෙන් තම ගෙල තරයේ බදාගෙන සිටිනු ඇයට දැනුනාය. තව බොහෝ දෙනෙක් ද ඇය මෙන් දිවි ගලවා ගැනීමේ සටනෙහි නිරත වූවෝය. තමා පසු පසින් පැමිණි සමහරු තමා පසුකර දිවයනයුරු ඇයට නෙත් කොණට පෙනුණාය. එසේ දිව යන අතර ඇයට තමා පොළට ආ මාවත දෙසින් ගොස් කච්චේරි භූමියට යාගත හැකි බව සිහිවූවාය. බොහෝ දුරක් දිව ගිය ඇයට ඒ කෙම් බිම පෙනෙන මානයේ වූවේය. ඒ මොහොතේ තරමක් වේගයෙන් ආ රළ පහරකට ඇය හසු වූවාය. තමාගේ දෙපාදය, දෙදණ, ඉන, ළැම දක්වා වතුර පිරෙනු ඇයට දැනුනාය. කර දක්වා වතුරෙහි යටවුණු ඇයට දිවයාමට නොහැකිවූවාය. තමා ඇඳ සිටි ඇඳුම් තෙත බරිත වී ජලයෙහි යටවීම නිසා ජලයේ ගමන් කිරීම අපහසුවූවාය. ටික ටික වතුර මට්ටම වැඩි වනු දැනෙන්නේය. වතුර මට්ටම තම නාසයටම ආසන්නය. දරුවාද වතුරෙන් ඉහළට ඔසොවාගෙන සිටීම අපහසුය. ඇයට මෙවෙලේ කළ හැකි වෙනත් දෙයක් නැත්තේය. ඇය තමා අදහන සියළුම දෙවි දේවතාවුන්ගේ පිහිට පැතුවාය.

“අනේ මේ කොළු පැටියගේ ජීවිතෙත් බේරගෙන
මමත් බේරෙන්න ඕනි.....
අනේ දෙවියනි.....
අසරණ අපි දිහා බලන්න.....
අපිව බේරගන්න.....”

මීට විනාඩි කිහිපයකට පෙර තම අතට දෛවය විසින් භාරකළ දරුවාගේ ජීවිතය වෙනුවෙන්ද තමා ජීවත්විය යුතු බැවින් ඇය තමාට හැකි ලෙස කඳු ගැටය කරා යන්නට වූවාය. ඇයට යාමට හැකි වූයේ අඩි කිහිපයක්ය. ඇය වතුරෙහිම සමබරතාවය ගිලිහී ඇදගෙන වැටුණාය. වතුරේ නිසා වැටීමට වඩා එය පාවී ගිලී යාමකි. ඇයත් දරුවාත් වතුරෙහි යටට ගිලුණාය. හැකි පමණ හුස්ම තදකර ගත් ඇය දරුවා අත නොහැරියාය. දෙකකුල් එහෙට මෙහෙට කළ පසු ඇයට සමබරතාව රැකගෙන යළිත් කෙළින් සිට ගැනීමට හැකිවූවාය. දෑතින් වහා දරුවා ඔසවා ගත් මේ ගැලවුම්කාරිය දරුවාගේ හිස වතුරෙන් ඉහළට එසවූවාය. දරුවා කහින්නට වූවේය. දරුවාට වතුර උගුරක් දෙකක් පෙවෙන්නට ඇත. ඇය දරුවාගේ පිටට පහර කිහිපයක් ගැසූ පසු ඒ කැස්ස ගතිය පහවගියේය. ඒහෙත් වරින් වර සිහන් ලෙස කැස්සගතිය මතුවූවේය. පෙනෙන හැම තැනම වතුරෙන් වැසී ගොසින්ය. කච්චේරි ගොඩනැගිල්ල පමණක් වතුරෙන් මතුව පෙනෙන්නේය. තමාට නිරුපද්‍රිතව එතැනට යාමට ඉඩ සලසාදෙන ලෙසත් මේ දරු පැටියාව බේරා දෙන ලෙසත් ඇය දෙවියන්ගෙන් නොකඩවාම ඉල්ලා සිටියාය. ඇයට මේ වෙලාවේ කළහැක්කේ තමා ඉතසිතින් අදහන දෙවියන්ගේ පිහිට යැදීම පමණක්ය. දිනපතා බුදුන් නැමදීමෙන් පසු තමන් ලබා ගන්නා පින්පෙත් අනුමෝදන් කරවන තිස්තුන් කෝටියක්වූ දෙවි දේවතාවුන්ගෙන් තම ජීවිතය යැද්දාය. තමා මෙන්ම තම අතවූ නොදරුවාගේද ජීවිතය බේරා දෙන ලෙසට ඇය අයැද සිටියාය.

ඇයගේ අසරණ ජීවිතය දෙසට දිව නෙත් යොමුවුණේය. සැම තැනම වසාගෙන පිරුණු ජලය එකෙණෙහිම අඩුවීගෙන යනු ඇයට දැනුණාය. ඒ සමගම ඇයට විශාල ශක්තියක් ඇතිවුණාය. ඇයගේ ඉන දක්වා වතුර අඩු වූ නිසා ඇය ඉදිරියටම යන්නට පටන්ගත්තාය. තවම ඇයට පූර්ණ ආරක්ෂාව නැත්තේය. නැවත රැල්ලක් නැගිය හැක්කේය. තව මීටර් පනහක් විතර ඉදිරියට යාමට ඇත්තේය. වතුරෙන් මතුවන විට ඇඟෙහි රැඳි රෙදි ඇඟටම ඇලෙන බැවින් දරුවාද රැගෙන දිව යාමට නොහැක්කේය. ඒ නිසා ඇගේ දිවි ගැලවුම් ගමන ප්‍රමාද වන්නේය. හෙළ සිරිතට අනුව කාන්තාවන් වශයෙන් දෙපා දක්වා වැසෙන සේ ඇඳුම් ඇඳීමට පුරුදු වී සිටියත් මාරයා සමඟ සටන් වදින මේ මොහොතේ ඒ ගැන සිත සිතා සිටීමට අවස්ථාවක්ද නොවන්නේය. සියල්ලෝම මර බියෙන් තම තමන්ගේ ජීවිත බේරා ගැනීමට තමන්ට සිතුණු සිතුණු දිශාවන්ට දිව යන්නේය. තමාද එවන් එකියක්ය. දකුණතින් දරුවා ගෙන වමතින් තම රෙදිපට කැටිකරගත් ඇය තමාට හැකි වේගයෙන් රැකවරණය ඇතියැයි සිතුණු භූමිය කරා යන්නට වූවාය.

ඇයට මීටර් දහයක් පමණවත් යාගත නොහැකි වූවාය. පිටුපසින් වේගයෙන් පැමිණි දෙවන සැඩ රළ පහරට හසුවූ ඇය ගසාගෙන යන්නට වූවාය. සුරතින් තුරුළු කරගෙන සිටි ඒ කිරි කැටියා ද තමා අතින් ගිලිහිමට යන බව දැනුණු ඈ තව තවත් වැරෙන් තමාට හසු වී ඇති සිඟිති පාදය තද කර අල්ලාගත්තාය. මේ තමන්ගේත් දෛවය විසින් ගැලවීම පතා තමා අතට පත් කිරි කැටියාගේත් අවසානය බව ඇයට සිතෙන්නට වූවාය. තම ප්‍රාණය නිරුද්ධ වුවහොත් හෝ තම සිහිය නොමැති වන යම් අනතුරක් සිදුවුණහොත් හෝ ඇරෙන්නට මේ දරුවා අත නොහරින බවට ඇය තරයේ සිතා ගත්තාය. කෙතරම් වෙලා වතුරෙහි පාවී ගියා දැයි ඇයට සිතාගත නොහැකිවූවාය. තම උරහිසෙන් අදිමින් යමෙක් තමාව ඔසවනු ඇයට දැණුනාය. ඇගේ දෙපා යමක ගැටෙණුද ඇයට දැණුනාය. හිස එසවූ ඇයට තම දෑස් අදහාගත නොහැකි වූවාය. තම හිසෙන් බේරී එන ලුණු මිශ්‍ර වතුර නිසා දෑස රිදෙන මුත් ඒ වේදනාව අතරින් ඇය දෑස් දැල්වුවාය. තමාට යෑමට ඇවසි තැනට තමා පැමිණ ඇත්තේය. තමාට කලින් එතැනට රොක්වූ බොහෝ අය එහි වූයේය. ඒ අතර සිටි එඩිතර පිරිමිත් දියේ ගිලෙමින් අසරණව යාගත නොහැකි අයව බේරා ගැනීමෙහි නිරතව සිටියේය. ඒ අතරින් කෙනෙක් තමාවද මේ උස් භූමියට ඇදගෙන ඇත. තම දෙපාවලට පණ දුන් ඇය එකවරම නැගී සිටියාය. සුරතින් වැරෙන් අල්ලාගෙන සිටි දරුවාගේ හිස කෙළින් කර වඩාගත් ඇයව කච්චේරි ගොඩනැගිල්ල දෙසට එහි සිටි අය විසින් යවනු ලැබුණේය. ඇයට තවමත් මේ සිදුවීම් සිහිනයක කොටස් පරිද්දෙන්ය. තම ජීවිතයේ දෙවන වතාවටද ඇය රුදුරු මාරයාගෙන් බේරී ඇත්තේය. තමා වෙතට තරුණයෙක් පැමිණෙනු ඇය දුටුවාය,

“අක්කේ... දරුවට වතුර පෙවිල නේද?...
ඉක්මණට අර සිමෙන්තියෙන් දරුවා තියන්න....”

දෙවරක් නොසිතා කීකරුවූ ඇය දරුවා බිම දිගා කර වූවාය. තරුණයා වහ වහා දරුවාගේ හිස පසෙකට හරවා බඩ තෙරපන්නට වූවේය. දරුවාගේ කුසෙහි පිරී තිබූ වතුර ටිකෙන් ටික මුවගින් එළියට ගලා යන්නටවූවේය. ඒ දුටු ඇයගේ සිතට පසුතැවිල්ලක් ඇතිවූවාය. තමාට තව ටිකක් දරුවා ගැන සිතන්නට තිබුණු බව ඇය සිතුවාය. ඒත් එවෙලේ ඇයට හරි හැටි සිහියක් නොතිබුණාය. දරුවා අත නොහැර තමා ළඟ රඳවා ගැනීමට ඇය වෙරදැරුවාය. දෙවන රළ පහරට තමාත් දරුවාත් ගසාගෙන යද්දී දරුවාට වතුර පෙවෙතැයි ඇයට මොහොතකට හෝ නොසිතුණාය. දරුවාට පෙවී තිබුණේ මඩ මිශ්‍ර ලුණු වතුරය. සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතා කෙටි වේලාවක් තුළ ඉවත් කළ තරුණයා යන්ත්‍රයක් මෙන් දරුවාගේ හිස කෙළින් අතට හරවා තම මුබය දරුවාගේ මුබයට තබා කෘතිම ස්වශනය දෙන්නට වූවේය. ඒ අතර දරුවාගේ පපුවද එක්තරා රිද්මයකට තෙරපන්නටවූවේය. තමා අත සුරැකියැයි සිතාගෙන මෙතෙක් වෙලා පණ මෙන් රැකගෙන ආ සිඟිති පුතු මිය ගොසින්දැයි ඇයට සිතුණාය. ඇගේ හදවත පැලෙන්නට මෙන් ආවාය. ඇයට නොදැනිම දෙනෙතින් රූරා ආ කඳුළු දෙකොපුල දිගේ විත් මහී කාන්තාව සිපින්නට මෙන් සිමෙන්ති පොළව මතට වැටී විසිරී ගියේය. තරුණයාගේ අප්‍රතිහක දිරිය හා කැපවීම නිසා ඔහුගේ තීක්ෂණ බැල්ම ක්‍රියාවත් සමඟ පුංචි දරුවාගේ පපු පෙදෙස උස් පහත් වනු, සිරියාවතී බලා සිටියාය.
තමා ආ මග දෙස බැලූ ඇයට එහි වතුර පිරී තිබෙන අයුරු පෙනුණාය. පොළ තිබූ පෙදෙස සිතා ගැනීමටවත් නොහැකිය. ඒ සියල්ල ජලයෙන් යට වී ඇත්තේය. සිරියාවතී තම ආදරණීය අසල්වැසියා වූ, තම ස්වාමියාත් දෙමාපියනුත් තමන්ට අහිමි වූ පසු තමන්ට සිටි එකම නෑයා මෙන්ම අසල්වැසියා වූ කමලාවතී කොහේ ඇත්දැයි කල්පනාකර බැලුවාය. රැල්ල එන වෙලාවේ ඇය සිටියේ කඩය ඇතුලේය. ඇයට කමලාවතී සොයා යාමට නොහැකියවූවාය. රැල්ල එන වේලාවේ ඇයට කථාකිරීමටද නොහැකිවීම පිළිබඳ සිරියාවති කඳුළු සලමින් දුක්වූවාය. පෙනෙන තෙක් මානයේ මඩ වතුරෙන් යටවී ඇත්තේය. ඇයට දැන් කළහැකි දෙයක් නැත්තේය. ඒ නිසා තම මිතුරිය වෙනුවෙන්ද ඇගේ දෙනෙතට කඳුළු පිරුණාය. රෙදි කඩයතුළ වූ රාක්ක අතර කමලාවතිගේ නිසල සිරුර සිරවී තිබෙනු ඇගේ මනසට මැවී පෙනුනාය.

“අක්කේ දරුවවනං ගොඩ ගත්තා..... මේ බලන්න....”

ඒ හඩින් දෙනෙත පිස දැමූ සිරියාවතී එදෙස බැලුවාය. තරුණයාගේ මුහුණේ ජයග්‍රාහී පෙනුමක් මතුවී ඇත්තේය. ඒ මේ මළවුන් අතරට ගමන්කරමින් සිටි පුංචි කිරි සප්පයෙකුගේ ජීවිතය ගොඩ ගැනීම හේතුවෙන්ය. මේ අයුරින් ඔහු අතින් තව කීදෙනෙකුගේ ජීවිත සුරැකෙනු ඇත්දැයි ඇය කල්පනා කළාය. ඔහුගේ මේ ප්‍රතිකාරය නොවන්නට තමා නොදැනිම තම අතෙහිදීම මේ පුංචි කිරි සප්පයාද මළවුන් අතරට යනු නොඅනුමානය.

මේ දරු පැටියා වාසනාවන්තයෙක්ය. ඔහුට තම ජීවිතය රැකගැනීමට වාසනා මහිමය තිබුණේය. තමාගේ පියා සමඟ හෝ තම මෑණියන් සමඟ හෝ නොගිය මේ අහිංසකයා මේ අති භයංකර මොහොත උදාවීමට මොහොතකට පෙර තමාගේ අතට පැමිණියේය. එසේ නොපැමිණියේ නම් මේ කිරි කැටියාට අත්වන ඉරණම කෙබඳුවිය හැකිද? ඒ පිළිබඳ සිතීමට පවා ඇය බිය වූවාය. එපමණක්ද ? තමාගේ අතට පැමිණියා පමණක් නොව, හදිසි අවස්ථාවකදී ජීවිත ජීවත්කරවීමට ඉගෙනගත් තරුණයෙක්ගේ පිහිට ලැබීමට ද මේ කිරි කැටියාට පුණ්‍ය ශක්තියක් තිබුණේය. බිම හිඳගෙන දරුවා තම උකුලෙහි හොවා ගත් ඇය නිදා සිටින දරුවා ළයාන්විතව හුස්ම ඉහළ පහළ හෙලන විට ළය උස් පහත් වන ආකාරය දෙස බලා සිටියාය. ඇය සිතා සිටියේ දරුවාට නින්දගොස් කියාය. එහෙත් දරුවාට නින්ද ගොස් නොතිබුණේය. දරුවා සිටියේ සිහිසුන්වය. මේ බව සිරියාවතීට නොතේරුණාය.

පොල් රුප්පාව ඉහළින් කළුම කළු පාටට දළ රළ පෙළ නැගීගෙන එද්දී තමන් ඉගෙනගෙන සිටි තම තමන්ගේ කටට වඩාත් හුරු පුරුදු භාෂාවෙන් තමාට හැකි උපරිම ශබ්ධයෙන් ලොවට හඩ ගා කියා පෑවේ මරණයේ ඒ අති භයංකර වේදනාවේ හඩ නොවේද? තමාගේ මුවගින් ද ජීවිතයේ දෙවන වරට එවන් හඩක් පිටවූ බව සිරියාවතී ආවර්ජනය කළාය. පළමුවරට පිට වූ හඩට වඩා භයංකරත්වයක් මෙවර ඇයට දැනුණාය. ඒ භයංකර හඩ ඇගේ හඩමය. ඒ මාරයා අති භිහිසුණු ලෙස තමා කරා එනු පෙනුණු නිසාය. මරණයේ වේදනාව අභියස තමා ගේ පමණක් නොව සියළු සත්වයන්ගේම ස්වරය කෙතරම් බිහිසුණුදැයි ඇය නිකමට සිතුවාය.

“සිරිය නංගී උඹත් බේරුනා නේද....”

තම උරහිස මතින් අතක් තබා යමෙක් තමන්ට බොහෝ හුරු පුරුදු ලයාන්විත හඩකින් විමසනු ඇසුණු හෙයින් කල්පනා ලොකයෙන් මිදුණු ඇය තම හිස හරවා එදෙස බැලුවාය.

“මේ කව්ද....?”

බොහෝ පීඩනයන් නිසාත්, අවටින් නැගෙන විලාප හඩවල් නිසාත් කල්පනා ලෝකයේ අතරමංව සිටි නිසාත් අහඹු සිදුවීම් මාලාවක් තුළ දෝලනය වෙමින් පැවති ඇගේ සිතට මේ කවුදැයි එකවර නොසිතුනාය. මොහොතක් කමලාවතීගේ මුහුණදෙස බලා සිටි ඇය,

“දෙයියනේ... කමලක්කා....
අනේ කමලක්කේ ඔයා...
ඔයා... ඉන්නවා....
මේ... මේ..... ඔයාමද දෙයියනේ...
අපි දෙන්නම බේරිලා.....
ඔව් නංගියේ.... උඹේ කෑ ගැහිල්ල ඇහිල මම ඉක්මණට කඩෙන් එළියට ආවා. එතකොට තමයි හැමෝම ආපහු දුවනව දැක්කෙ. මමත් පුළුවං හයියෙන් උඹ දුවපු පැත්තම බල බලා දිව්වා උඹට පිහිටවෙන්න මට පුළුවංකමක් තිබුනෙ නෑ නංගියේ.... යාංතං රැල්ලත් එක්කම වගේ මමත් මෙතෙන්ට ආවා. මම උඹ ගැන හිත හිතා හිටියේ. මම හිතුවෙත් උඹ ගහගෙන ගියා කියලා. මම දැක්කා නංගියේ උඹ රැල්ලකට අහුවෙනවා. අඩනවා ඇරෙන්න කෑගහනවා ඇරෙන්න මටත් කරන්න දෙයක් තිබ්බෙ නෑ.... පස්සෙ මට හිතුණ උඹ බේරිල ඇති කියල. ඒ ගමන තමයි මේ ඇවිද ඇවිද හෙව්වෙ. අනේ උඹයි මායි දෙන්නම බේරුණ එක කොච්චර එකක්ද......?
ඔය අර මුදලාලිගෙ පොඩි එකා නේද?....
ඒ ගොල්ලන්ට නං බේරෙන්න බැරි උනා මහිතෙ.....
අර බලාපංකො ඒ පැත්ත.
එක ගොඩ නැගිල්ලක්වත් නෑ.
කොළුපැටියට පණ තියනවද?.....”

සිරියාවතී දරුවා දෙස බැලීමට සැරසුනා පමණි. දරුවාගේ දිවි රැක දුන් තරුණයා කලබලයෙන් ඔවුන්වෙතට දිව එමින් කෑගෑවේය.

“අක්කේ..... අක්කේ දැං වතුර බැහැලා....
අර වාහනය ඉස්පිරිතාලෙකට යන්නේ.
දරුවවත් අරං යන්න...”
“ඉක්මන්කරන්න.. ඉක්මන්කරන්න....
දරුවට තාම සිහිය ආවෙත් නෑනෙ...
බෙහෙත් ටිකක් දුන්නම හරියයි...”

තමා දරුවා තුරුල්කරගෙන කච්චේරිය ඉදිරිපිටවූ වාහනය දෙසට දිවගියේ කෙසේ දැයි සිරියාවතී නොදත්තාය. දරුවා සමඟ සිටි බැවින් ඇයට වාඩිවීමට අසුනක් ලැබුණේය. විනාඩි කිහිපයක් ඇතුළත රෝගීන්ගෙන් පිරීගිය වාහනය ළඟම පිහිටි රෝහලක් වෙත ගෙන යනුලැබුවේය. ඔවුන් පැමිණෙන විට තවත් බොහෝ දෙනා එම රෝහලට ගෙනැවිත් තිබුණේය. විලාපයන්ගෙන් මුළු රෝහලම පිරී ගොසින්ය. රෝහල් බිමේ තැන තැන මළ සිරුරු දමා තිබුණේය. හෙදියක් වහා පැමිණ දරුවාද රැගෙන රෝහල තුළට දිව ගියාය. ඒ පසු පසම තමාද දිව යන බව සිරියාවතීට දැනුනාය. දරුවාද රැගෙන කාමරයකට ගිය හෙදිය එහි වූ ඇඳ මත දරුවා තැබුවාය. එම කාමරයේ සිටි වෛද්‍ය වරයා ඉතාමත් යුහුසුළුව පුංචි දරුවව පරීක්ෂාකර, ඔහුට යම් එන්නතක් ලබා දෙන ලෙසත් ඒ සමඟ සේලයින් දෙන ලෙසත් හෙද නිලධාරණියකට පවසනු සිරියාවතී විසල්කරගත් දෙනෙතින් යුතුව අසා සිටියාය. සිරියාවති දෙසට හැරුණු වෛද්‍ය වරයා,

“දරුවට වතුර ගොඩක් පෙවිලාවගේ
ලුණු මිශ්‍ර බොර වතුරනේ.
මට එච්චර ගානක් නැහැ මහත්තයෝ....
මමයි දරුවයි දෙන්නම වතුරට යට උනා...
ඒ ඩිංගට අපිට මොනවඋනාද දන්නෑ...
අනේ මගේ දරුපැටියා...
බය වෙන්න දෙයක් නැහැ අම්මෙ....
තව ටිකකින් දරුවට සිහිය එයි...
බයනැතුව ඉන්න...”

දරුවා සිටි ඇඳෙහි තවත් දරුවෙක් නිදා සිටියේය. කොපමණ වේලාවක් ගතවූවාදැයි ඇයට මතකයක් නොතිබුණාය. කල්පනා ලෝකයේ තනිවී සිටි ඇයට කිසිවකු පැමිණ පාර්සලයක් දෙනු පෙනුනාය. ඒ බත් පාර්සලය ඇය වෙත ගෙන ආවේ වෙන කිසිවකු නොව සෑම වෙලාවෙම ඇගේ පිහිටට සිටි එකම මිතුරියවූ කමලක්කාය. කමලක්කා නොසිටින්නට මේ මොහොත වන විට තමා ද මුහුදු වැලි අතරය. ඇය කඩයට රෙදි තේරීමට නොගියේ නම් තමාද අනෙක් මිනිසුන් සමඟ වෙරළට යන්නේය. රැල්ල නැගෙන වෙලාවේ තමා වෙරළෙහි සිටියේ නම් ඒ රැල්ලත් සමඟ තමාට ආපසු දිවීමට කිසිසේත්ම හැකියාවක් නැත්තේය. එසේම මේ පුංචි සිඟිත්තා තම රැකවරණයට පත් නොවන්නේය. එනිසා තමාගේත් කිරිකැටියාගේත් දිවි බේරුනේ මේ ආදරණීය කමලක්කාට පිං සිදු වන්නටය. කමලාවතී දෙස කෘතඥතාපූරක බැල්මක් හෙළු සිරියාවතීට මෙතෙක් නොතිබුණු විශාල කුස ගින්නක් දැනුණු බැවින් එතැනම සිට බත් පත දිගහැර ගත්තාය. සිරියාවතී තම මුළු හදින්ම කමලාවතීට පිං දෙමින් දිගහැරගත් බත්පත ගිලගෙන ගිලගෙන යන්නට වූවාය.

“ඉස්මොල්ලෙ යයි.... කෙල්ලෙ....
හෙමිහිට හෙමිහිට ටික ටික කාපං නංගියේ....”

මේ අහිංසකිය තමන්ට ලැබුණු බත්පත කාගෙන කාගෙන යන ආකාරයෙන් ඇයට ඇති කුසගින්නේ තරම කමලාවතීට සිතා ගත හැකිවූවාය. තමන්ට වඩා වයසින් අඩු සිරියාවතී මේ වන විට ජීවිතයේ දෙවන වරටද මරු හා සටන් වැද මාරයාගේ කටටම හසු වී තමන්ගේ සියළුම වස්තු විනාශ වුවත් මේ ලොකයේ තවත් කාලයක් ජීවත්වීමට වරම් ලබා ඇත්තීය. එසේම මේ කාන්තාව තම කුසෙහි නොදරන ලද තම ජාතියේ නොවන කිරිකැටියෙකුගේ ද ජීවිතය ජීවත් කරවන්නට ඉදිරිපත්වී ඇත්තේය. ඇයට මෙලොව සිටි වටිනාම වස්තූන් ඇය මෙලොව තනිකර දමා ගොසින්ය. එදා රිය අනතුර වන විට සිරියාවතී ගැබ්බරව සිටි හැටිත් අනතුරින් පසු එය විනාශ වූ හැටිත් කමලාවතී සිහිකළාය. තම ජීවිතයට අකාලයේ පැමිණි තනිකම පාළුව කාංසිය හුදෙකලාව තනිවම විඳගන්නවා විනා හැඟුම්වලට වහල් වී නැවත වරක් ජීවිතය අවුල් කර ගන්නට වෙනත් සරණක බැඳෙන්නට ඇය නොසිතූ බව කමලාවතී දන්නීය. ඒ ඇය ඇගේ අසල්වැසියා මෙන්ම එකම හිතවතිය වූ බැවින්ය. තමා හා ඇය අතර බොහෝ විට රහස් නොවුණාය. එම ඇසුර නිසා සිරියාවතී යනු කවුරුන්දැයි කමලාවතී හොඳහැටි දැන සිටියාය.

“නංගියේ..
බත් කාල ඉවරනං මේ වතුර බෝතලෙන් අත හෝදගෙන වතුර ටිකක් බීපං.....”

කමලාවතී තමා අත වූ වතුර බෝතලය සිරියාවතී අතට දුන්නාය. නැවතත් කෘතඥතාපූරක මලානික බැල්මක් හෙලූ සිරියාවතී තෙහෙට්ටුව නිසාම අප්‍රාණිකවූ තම වමතින් එය ගත්තාය. ඉන්පසු නැගී සිටි ඇය හොඳටම වෙරිවූවක මෙන් වතුර බෝතලයත් රැගෙන වාට්ටුවෙන් එළියට ගියාය. තමාගේ යෙහෙළිය, අතට වතුර වත් කරගෙන අත සෝදා වතුර උගුරු කිහිපයක් පානය කරනු බලා සිටි කමලාවතී ඇඳ මත සයනය කරන කිරි කැටියා දෙස බැලුවාය.

උඩුකුරුව වැතිර නිදා සිටින දරුවාගේ සිරුර නිසසලසේ ඇයට හැඟුනාය. වඩා සුපරික්ෂාවෙන් බැලූවේ එහෙයින්ය. දරුවාට ප්‍රාණය ඇති බවට ඇය තහවුරුකර ගත්තාය. දරුවාට ප්‍රාණය ඇති බව හැඟෙන්නේ ළයාන්විතව ඉතාමත් හෙමින් ඉහළට පහළට එසැවෙන උදරයෙන්ය. දරුවාගේ එක් අතකට සවිකළ සේලයින් කටුවකින් බින්දුවෙන් බින්දුව බටය දිගේ එන සේලයින් ශරීරගත වන්නේය. අම්මත් අප්පත් නැති මේ අහිංසක දරුවාගේ අනාගත ඉරණම කෙබඳුවිය හැකිද? සිරියාවතී මේ දරුවා කාටහරි දෙයිද? අඩුම තරමේ පරිවාසයටවත් ගෙනියයිද? දරුවාගේ වෙන නෑදැයෙක් ආපසු මේ දරුවා හොයාගෙන එයිද?

“අක්කේ අක්ක දැං කොහෙද යන්නෙ..... ”

සිරියාවතී තමා අසලටම පැමිණ විමසූ විට කල්පනා ලොවින් මිදුණු කමලාවතී තම සිත තුළින් පැන නැගුණු ප්‍රශ්ණාවලිය ඇය ඉදිරියේ දිගහැරියාය. මෙතෙක් සිදුවූ නොපැහැදිලි සිදුවීම් නිසා තම සිතට නොනැගුණු නමුදු එම ගැටළු ඔස්සේ සිරියාවතීද සිතන්නට වූවාය. කොහොම උනත් බොහෝ වේලා කල්පනා නොකොට අවසානයේ මේ අහිංසක අසරණ කිරිසප්පයාගේ අනාගතය තමන්ට හැකි අයුරින් විසඳාලීමට සිරියාවතී අදිටන් කර ගත්තාය.

“නෑ..නෑ.. මේ අසරණයා මම කාටවත් දෙන්නෙ නෑ....
මට පුළුවං විදිහට හදාගන්නවා....
මේ කොළු පැටියව බේරගත්තෙ මමනේ....
මේ දරුවගේ අහිංසක මූණ බලාගෙන කාටවත් ගෙනියන්න දෙන්න පුළුවංද
අනේ.. කියන්න කමලක්කෙ මට එහෙම කරන්න බෑ දෙයියනේ...”

සිරියාවතී කමලාවතීට පමණක් ඇසෙන සේ කීවාය.

සෑම යෞවනියක මෙන්ම සිරියාවතීද තම ජීවිතය පිළිබඳ සුන්දර සිහින දුටුවාය. තමන්ගේ හදවතේ පිබිදුනු ඒ උත්තරීතර ආදරය සෙනෙහස පුද කළ හැකි කලාතුරෙකින් කෙනෙකුට හමුවන සෙනෙහෙවන්තයෙක්ගේ සෙනෙහස විඳිමින් දයාබර බිරිඳක් වන්නට ඇයට හැකි වූවාය. තමන් දෙදෙනාගෙන් සෙනෙහසින් ජීවය ලද දරු පැටවු සුරතල් කරන්නට ඇය දිවා රෑ සිහින මැව්වාය. ඒ සිහින සියල්ල බොඳවෙමින් ඇගේ සැමියා අකල් මරණයකට ගොදුරුවූ ඒ බිහිසුනු මොහොතවන විට තමා ගැබ්බරව සිටි සැටිත් සැමියාට හා දෙමාපියන්ට මරු කැඳවමින් තමන් ගමන්ගත් වාහනය පෙරැළීගිය කම්පනයෙන් තමාගේ දරු ගැබද විනාශවූ බවත් දෙනෙතට කඳුළු පිරෙද්දී ඇය සිහිපත් කළාය.

“ඉතිං.. ඕක අඩන්න දෙයක්යැ....
මං කිව්වෙ වෙන්න පුළුවං දෙයක්නෙ.....
උඹට මේ දරුව ඕනිනං....
උඹ දරුවව ගෙදර අරං පලයං....
මමත් පුළුවං උදව්වක් කරන්නං....
හෙට දිහාට ටිකට් කපයිනෙ....
නෑ අක්කෙ මට සෙනෙවි මතක් උනා...
අඩුම තරමේ මගෙ අම්ම තාත්තවත් මං ළඟ හිටියනං....”

තමාටත් වඩා ලා බාල මේ යුවතිය ජීවිතයේ කොතරම් දුක් ගැහැට විඳ ඇත්දැයි කමලාවතී සිතන්නට වූවාය. ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු අන් විවාහයක් නොපැතූ මේ ගැහැණියට ජීවිතයේ අවසානභාගය වනවිට හෝ පිහිටට කෙනෙක් සිටිය යුතුමය. තව වසර කිහිලයකින් දරුවා වැඩිහිටියෙක් වන්නේය. රෝහල් නිලධාරීන් පිරිසක් පැමිණ අසරණ වූවන්ගේ නම් ලැයිස්තු පිලියෙල කරනු පෙණුනු බැවින් කමලාවතීද සිරියාවතීගේ දරුවා ලෙස පුංචි දරුවාව ඔවුනට හඳුන්වා දෙන ලද්දීය. දින දෙකක් පමණ රෝහලේ රැඳී සිටි සිරියාවතීට දරුවා සමඟ ආපසු තම නිවෙස වෙතට යන්න ලැබුණාය. කමලාවතීගේ ඉඩම ආසන්නයටම රළ පහර පැමිණ ඇති බව එහි එකතුව ඇති රොඩු කැබලි වලින් පෙනී ගියේය.

“අම්මා... අම්මා.....
ආ.... පුතා නැගිට්ටද?...
මගේ පුතාට දැං කොහොමද?....
අම්මා.... දැං එළිවෙලාද?...”

පුංචි දරුවා වට පිට බලන ගමන් ඇසුවේය. අසනීප ගතිය නිසා හවස නිදාගත් පුතු ඇහැරෙන විට හිරු ගිලීයමින් තිබුණේය. හිරු පායන්නට පෙර මෙන් කාමරය තුළට ආලෝකය වැටී ඇත්තේය. ඒ නිසා කාමරය තුළ සිටින කෙනෙකුට මේ උදෑසනදැයි සැන්දෑවදැයි සිතා ගැනීම අපහසුවන්නේය. නින්දෙන් ඇහැරුණු දරු පැටියා වට පිට බලා මේ උදෑසනදැයි අසන්නේ එනිසාය.

“නෑ පුතේ මේ හවස...
පුතා හවසනෙ නිදා ගත්තේ....
මං පුතාට බොන්න කොත්තමල්ලි ටිකක් තැම්බුවා...
කෝ... නැගිටින්න
අපි යමු කුස්සියට...
මම පුතාට කොත්තමල්ලි ටිකක් පොවන්නම්”

ඇය දරුවාගේ කිහිලි අතරින් දෑත යවා දරුවා වඩා ගත්තාය. තම ළයට දරුවා තුරුළුකර ගන්නා ගමන් දරුවාගේ මුහුණ සිප ගැනීම නිසා දරුවාද ඇගේ මුහුණ සිප ගත්තේය. දරුවා වඩාගෙනම කාමරයේ දොර වැසූ ඇය කුස්සියට ගොස් බංකුව මත දරුවා වාඩිකළාය. දරුවාගේ කෝප්පය සෝදා දැමූ සිරියාවතී කොත්තමල්ලි මුට්ටියෙන් ටිකක් ඊට වත්කර ඇල් වතුර දමන ලද කොරහේ නිවෙන්නට තැබුවාය. ඉන් පසු සෝදාගත් තවත් කෝප්පයක් ගෙන කොප්පයෙන් කෝප්පයට කොත්තමල්ලි තැම්බූ වතුරටික මාරු කරමින් හොඳට නිවන්නටවූවාය.

රැල්ල සමඟ පොරබැදූ අයුරු මෑතක් වන තුරුම දරුවාගේ මතකයේ තිබූනේය. මුලදී සමහර අවස්ථාවල දෙමාපියන් බැලීමට යාම සඳහා හැඩූ දරුවා සිරියාවතීගේ අපරිමිත සෙනෙහස හමුවේ නිහඩව සිටින්නේය. දැන් ඔහුට ඒ සියල්ල අමතකව ගොසින්ය. සිරියාවතී සෑම විටම දරුවාට සමීප වූවාය. දරුවා හුරතල් කළාය. දරුවා සමඟ සෙල්ලම් කළාය. තම කුසෙහි නොදැරුවද තම ගත රුහිරු කිරට හරවා දෙතනෙන් බිඳෙන් බිඳ නොපෙව්වද අන් කුසෙක පිළිසිඳ අන් ගතක සෙනෙහස විඳිමින් ඒ දෙතනෙන් කිරි උරා බිව් මේ අහිංසක දරුවා තම ජීවිතය ආලෝකමත් කර ඇත්තේය. අසරණ කිරිකැටියාගෙන් තොර ලෝකයක් දැන් ඇයට නැත්තීය. දරුවාටද එය එසේමවූවේය. උදෑසන දරුවා අවදි වන්නේ අම්මේ කියාගෙනය. අන් බසෙකින් බහතේරූ කිරිකැටියා මේ වන විට තමාට අම්මේ යැයි ඇමතීමට පෙළඹී ඇත්තේය. කාලයේ වැලි තලාවේ ඔහුගේ මතකය වැලලී යන්නේය. බොහෝ අතීත සිදුවීම් දැනටමත් අමතකව ගොසින්ය. මුලදී මතකයේ තිබුණු බොහෝ දමිළ වචන කථා කළ මේ සිඟිත්තා දැන් දැන් හොඳට සිංහල වචන උච්චාරණය කරන්නේය.

කොත්තමල්ලි ටික දරුවාට පෙවියහැකි ගානට නිවී ඇත්තේය. ඇය ඊට සීනි හැඳි කිහිපයක් දමා දියකර ගත්තාය. පසෙකින් වාඩිවී දරුවාව තම උකුලෙහි තබා ගත් ඇය දරුවා තම ළැමට තුරුළු කරගෙන කතාන්දර කියවමින් දරුවා තුළ අළුත් ලොකයක් ගොඩ නගමින් දරුවා සතුටු කරමින් දරුවාට කොත්තමල්ලි උගුර උගුර පොවන්නට වූවාය. රසවත් කතා කියමින් තමනට ආදරය කරන මේ සොඳුරු කාන්තාව තම මෑණියන් යැයි පුංචි දරුවාට සිතෙන්නට ඇත්තේය. ලෝකය දකින වයසේදී තම ඇසුරට ලැබුණු සොඳුරු සෙනෙහෙවන්ත කාන්තාව ඇයම වන්නේය. පුංචිම පුංචි සන්දියේ සිදුවූ සිදුවීම් දරුවාගේ ළමා මනසින් බැහැර ගොසින්ය. දස මාසයක් තම කුසේ හොවා මෙලොවට බිහි කරන කිරිකැටි දරුවන් සිත් පිත් නැත්තවුන් මෙන් මහ මඟ අයිනේ කුණු බක්කි වල, වැසිකිළි වලවල් තුළ දමා යන මෙවන් යුගයක සිරියාවතී තමන්ගේ දරුවෙක්ට වඩා සෙනෙහසකින් මේ අසරණ අහිංසකයා දිවා රෑ නොබලා සුරකින්නට වූවාය. ඒ අව්‍යාජවූ සෙනෙහස දරු පැටියා ඇගේ ඉරියව්වලින් හැඳිනගෙන තිබුණේය. තම පෙම්බර මෑණියන්ගේ ගෙල වටා දෑත යැවූ ඔහු ඇගේ මුහුණ වැරෙන් සිප ගත්තේය. තමා බලාපොරොත්තු නොවූ මොහොතක දරුවා තම මුහුණ සිප ගැනීම නිසා වෙරළේ වූ පොල් රුප්පාව වසාලමින් ගුවන් තලයට නැගී ආ මහා කළු දළ රළ මෙන් ඇගේ හදවතින් ද දරු සෙනෙහස නම් වූ කප්පරක් සෙනෙහස දෙගොඩ තලා ගලා එන්නට වූවාය. හැඟීම්බර වූ ඇගේ හද පතුලෙන්ම මතුවී ආ සෙනෙහසේ දියරය දෙනෙතින් සතුටු කඳුළු වැල් ලෙස දෙකම්මුල් දිගේ රූරා එද්දී..,

“මගෙ රත්තරං පුතා....
මගේ....
මගේ....
ර..ත්..ත..ර..ං පුතා...” යැයි තෙපළමින් නිම් හිම් නැති සෙනෙහසකින් දරුවා තම ළැමට තුරුළු කරගත්තාය. සුසිනිඳු මල් පෙත්තක් බඳුවූ දරුවාගේ දෙකම්මුල තම දෝතට මැදිකරගත් ඇය ඒ සුසිනිඳු මුහුණ සිපගෙන සිපගෙන යන්නටවූයේ මින් පෙර කිසිම දිනෙක ඒ සිඟිති මුහුණ සිප නොගත් ආකාරයටය. කෙදිනෙක හෝ නෙතු නොගැටුණද හමුවූ මුල්ම මොහොතේදී ඇතිවන ලෙංගතුකම සංසාරගත බැඳීමක සලකූණක් විය හැකිය. ඉමක් නැති සසර ගමනේ ඈතම ඈත භවයෙකදී කරනු ලැබූ උත්තරීතර ප්‍රාර්ථනා බල මහිමයෙකින් මෙවන් වූ තවත් එක් නවාතැනෙකදී තම කුසින් මෙලොව දකින්නට වරම් නොලැබූණද, වෙනත් කුසෙකින් හෝ ඒ වරම ලබා තමා ළඟට පැමිණ මව - පුතු ලෙස සසරෙහි ඉතිරි මඟ දිවි ගෙවන්නට මේ ළපටියා පෙරුම්දම් පුරන්නට ඇතිදැයි ඒ අතර වාරයේ ඇය සිතුවාය. ඒ සමඟ දරුවා කෙරෙහි තම හදපත්ලේ විකසිතවී තිබුණු සෙනෙහස නැමති පියුමන් දෙගුණ තෙගුණ වනු ඇයට දැනුනාය.




“ඉපදුණු දා පටන්ම
ආදරයෙන් මා හදා
වැඩු බව ලොව මට කිව්වා.....
දැනගත් දා පටන්ම
අනුන්ගෙ බස් නිසා
ඔබෙන්ම අහන්න හිතුනා...

මා ඔබෙ පුතු නොවේද....?
හැදු වැඩුවා පමණද....?
කියන්න මගෙ සුදු අම්මා......
ලෝකය බොරුයි නේද......?
කොච්චර ඔබ ආදරේද
ඔබමයි මා වැදු අම්මා.....

දෑසේ කඳුළු පෙනේ
වේදනාව මටද දැනේ
ආයෙත් නොඅසමි අම්මේ.......
වෙන අම්මල මොකටද.....?
මට මොන අඩු පාඩුද.......?
අම්ම ඔබයි සංසාරේ.....

වදලා කුණු බක්කියෙ
දමලා යන අම්මලාට
කියලා දෙන්නද අම්මේ.....
වදනා අම්මලා ද.....?
හදනා අම්මලා ද.....?
පැහැදුවෙ අම්මා අරුතේ......

කුසතුළ බිළිඳු මරා
මව් නාමෙට දෙන්නෙ නිගා
හදන්න බය හින්දානේ.....
වදන්න පින් මදි මුත්
හදනා පිනෙන්ම ඔබ
මතු බුදු වෙනවා අම්මේ......”

- කුමාර සෙනෙවිරත්න -




Friday 23 April 2010

සිංහ රජෙකි මම.....

සුදුවැලි විසිරුණු
මල් මල් මාවත
ඔබේ
ගීතවත් කිංකිණි හඬින්
ගීතවත් වෙද්දී
මහමෙර ජයගත්
සිංහ රජෙක් සේ
මම
පියවර ඔසවමි
ඔබේ සුරත ගෙන
නව ලොව
අරුණැල්ල බලා..........

Thursday 22 April 2010

බලා හිඳිමි.....

මේ....
තිරපට මෑත්කර...
තුෂර සඳ සළුව විනිවිද...
දැල් කවුළුවේ හිඩැස් අතරින්....
දෙනයන යොමා මාවතට.....
තුරුලිය ගොමුව පසුකර.....
බලා හිඳින්නෙමි.....
පෙරදා පරිද්දෙන්....
ඔබ...
මා සොයා....
යළි කෙදිනකහෝ
එනතුරා..........

Wednesday 21 April 2010

නැත අයිතියක්

කඳු රැල්ලට එහා මිටියාවත ඈත
පෙම් රජ දහන වේ ගයනා පෙම් ගීත
ඔබ නැති පාළුවේ ඉවසනු බෑ සීත
නැහැ අයිතියක් වෙන කෙනෙකුට ඔය දෑත

Tuesday 20 April 2010

ඔබේ පෙම් වදන්

මේ වැලි තලාවේ
මේ තුරු වදුල යට
එකම කුඩයක් යට
එකිනෙකාට තුරුළුව
මුවට මුව ළං කොට
ලොවටම නොඇසෙන සේ
මටම පමණක් ඇසෙන්නට
කෙඳිරූ සොඳුරු
පෙම් වදන්
යළි කෙදිනක
ඔ‍බේ මුවගින්
මගේ සවනතට
අසන්නට ලැබේවිද......

Monday 19 April 2010

සමුගත් සොයුරිය

තෙමා මිහිකත
පතිතවිය
මගේ දෙනෙතින්
ගිලිහුණු කඳුළු බිඳුවක්......
ඊයේ සවස
මගේ සුරත ගෙන
සුරතල් වදන් තෙපළමින්
ඇවිදගිය නුඹ.....
කෙසේ ඉවසන්නද
මටත් නොකියා
අද මෙසේ නිසසලව
හිඳින වග.....

Monday 5 April 2010

කමාකළ මැන......

පෑවිල්ල...... පෑවිල්ල.....
නැහැ නොවැ ඉවරයක්....
වියලි තෘණ බිම්....
දෙපා රිදවයි......
දාහය පෙරාගෙන...
දෙඇස නිලංකාර කරවන.....
ඉඩෝරය.... ඉඩෝරය.....
මිහි මඩල ඉරි තලා වියලවයි.... වියලවයි....
ශාපවේවා තොපට......ශාප වේවා.....

අනේ වැසි බිඳක්වත්.....
පෙනෙනතෙක් මානයේ....
සිරිපොදක සලකුණක්.....
පා.......වී පා....වී.... එන්න.....

සීතලයි..... සීතලයි.....
පින්නයි .... සිරිපොදයි...
මගට බහින්නට විදිහක් නෑ......
වහිනවා ....තෙමෙනවා.....
කිළිටි රෙදි පිළි....
ගොඩැලි විලසින් ......
ගෙබිම විසිරී.... තැනින් තැන ඇත.......
නාසය පසාරුකරමින් දුගඳ දනවයි.......
කළු වළා පෙළ යටින්.....
අන්ධකාර තිමිරපට ඉරා.......
පායන්න.... හිරු කිරණ.....
පෙඟී මඩවී ගිය මිහිතලය වියලන්න.....